උපුටා ගැනීම සිළුමිණ දීපානි අතිරේකය
දෙවැනි ලෝක යුද්ධයේ ශෝකාන්තය ගැන කියන රෝහණ වෙත්තසිංහ
‘ජීවිතය යළි ලදිමි’ ප්‍රවීණ පුවත්පත් කලාවේදී රෝහණ වෙත්තසිංහ විසින් රචිත අලුත් ම පරිවර්තන කෘතිය යි. “බෙනයක් ගුහාවක් වැනි තැනකට රිංගා ගෙන මිනිසුන්ට ජීවත් විය හැකිද? එහෙත් දෙවැනි ලෝක යුද සමය යුදෙව්වන්ට මෙන්ම අනෙක් මිනිසුන්ටද දිවි බේරා ගැනීමට එලෙස සතුන් මෙන් සැඟවී සිටීමට සිදු විය. නට්සි හමුදාව විසින් යුදෙව්වන් සොයා ගම්බිම් පීරමින් සිටි එකල ලියෝකාඩියා ස්මිට් ජීවත් වූයේ ගෙටෝ නිවාසවලය. සිය සැමියා සහ පස් මසැති දරුවා සමඟ ඇය ගෙටෝ නිවාසවල සිරවී සිටින අතරතුර නට්සීන්ගේ ග්‍රහණයට හසුවේ.
තරුණ මව සිය දරුවා සමඟ ඉරණම්කාරි ජීවිතයක් කරා තල්ලු වේ. එයද දවසකට දෙකකට මාසෙකට හමාරකට නොව යුද්ධය පවතින තුරාවට ය. අනෙක් මවුවරුන් ජීවිත ලාලාසාවෙන් තම දරුවන් අත්හැර දමා ස්වයං විමුක්තිය පැතුව ද මේ මව තම දරුවා මත්තේම නැහෙයි. සමාජ ඉතිහාසය ඉතා අඳුරුම යුගයකදී මානව බැඳීම් සුනුවිසුනු වූ මොහොතක, ඊට මඟ වළකමින් නැවත සත්තාව තුළ සිය ජීවිතය සාක්ෂාත් කරගන්නා අයුරු මෙම අනුවේදනීය සත්‍ය කථාව ඇසුරින් ලියෝකඩියා ස්මිට් ලෝකයට හෙළි කරයි. එම කෘතිය පාඨකයාට කෙතරම් සමීප වූවාද කිවහොත් 2019 වසරේදී වැඩියෙන් ම අලෙවි වූ අනුවේදනීය චරිතාපදාන කෘතිය මෙය වේ.
මෙකී අනුවේදනීය කතාව සිංහල පාඨකයා වෙත සමීප කරවන්නට ගත් සාර්ථක උත්සාහයක් ලෙස ‘ජීවිතය යළි ලදිමි’කෘතිය හැඳින්විය හැකිය.
මහරගම ඇරැව්වල ගුරුපවුලක උපත ලද රෝහණ වෙත්තසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත්ව 1968 දී කලා විෂයන් හදාරමින් උසස් පෙළ විභාගයට මුහුණ දුන්නේය. සරසවි වරම් ලබා උසස් අධ්‍යාපනයට යොමු වීමට කිසිදු බලාපොරොත්තුවක් වෙත්තසිංහට නොතිබුණි. ඒ වෙනුවට ඔහුගේ සිතේ රජ කළේ සිනමාකරුවකු වීමේ ආශාවයි. 1969 දී සුගතපාල සෙනරත් යාපා හැදූ ‘මිනිසා සහ කපුටා’නවදිල්ලි සිනමා රජත මයුර සම්මානය හිමිකර ගැනීමත් සමඟ 70 දශකයේ ඇති වූ සිනමා රැල්ලට සමඟාමීව චිත්‍රපටි විචාරක හා ලේඛක සංගමය විසින් චිත්‍රපට සම්මාන උලෙළක් සංවිධානය කළේය. සිනමාව කෙරෙහි ආසාවෙන් සිටි හෙතෙම‘විප්පයෝගෝ’නමින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළේය. ඊට ටයිටස් තොටවත්ත (ගිලිහුණු මල්, පිච්චර් පිස්‌ස, අහල පහල), ධර්මසේන පතිරාජ (සතුරෝ), අයි.එන්. හේවාවසම් (කලල රූ, මිනිසෙක් සහ පිරිසක්), සුනිල් ආරියරත්න (සරාගී, දුෂ්කරක්‍රියා), අමරනාත් ජයතිලක (තවත් උදැසනක්), රංජිත් ලාල් (කම්හලක ගීතය), පරාක්‍රම සිල්වා (භග්න ආශා, එළිය), පී.යූ.ඩී. පෙරේරා (මනස් පුතෙක්, සින්ඩරෙල්ලාගේ සෙරෙප්පුව) ආදී කෙටි සිනමා නිර්මාණ ඉදිරිපත් කර තිබුණි.
පසුව චිත්‍රපටි හැදිල්ල වෙනුවට පෑන අතට ගත් හෙතෙම වෘත්තීය පුවත්පත් කලාවේදියකු ලෙස 1978 ලංකාදීප පුවත්පතට බැඳුණි. උප කතුවරයකු දක්වා සිය වෘත්තීය ජීවිතය ජයගත් ඔහු අනතුරුව දිවයින හා සිළුමිණ පුවත්පත් උප කර්තෘ හා ජ්‍යෙෂ්ඨ සම කර්තෘ ධූර දැරීය. ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී නිමල් හොරණ මහතා (1994-1999) සිළුමිණ කතුවරයාව සිටි සමයේ ‘රසඳුන’ කතුවරයා වූයේ රෝහණ වෙත්තසිංහයන්ය. දශක හතරකට අධික කාලයක් ප්‍රවීණ පුවත්පත් කලාවේදීයකු ලෙස සිය කුසලතාවයන් මොනවට පෑ රෝහණ වෙත්තසිංහයන් පසුව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා වශයෙන් වසර 6 ක කාලයක් සේවය කළේය. මුල් කාලයේ සිට සිනමා ලේඛකයකු වශයෙන් නමක් දිනා සිටි හෙතෙම ‘අප්පච්චිගේ සිනමාව’නමින් විචාර පොත් පිංචක් ලියා පළ කළේය. ‘සතර දිගන්තේ’ චිත්‍රපටිය වෙනුවෙන් ඔහු ලියූ තිර නාටකය පසුව පොතක් වශයෙන් නිකුත් විය. මේවන විට සරසවි ප්‍රකාශන ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකුවන රෝහණ වෙත්තසිංහයන් 2018 වසරේ පරිවර්තන සාහිත්‍ය ක්ෂේත්රයට යොමු විය. ඔහුගේ පළමු පරිවර්තන සාහිත්‍ය කෘතිය වන්නේ ‘ඒරන්ගේ ලෝකය (The Book of Aron - Jim Shepard)’ නම් යුදෙව් සාහිත්යිය කෘතිය යි. දෙවන පරිවර්තන කෘතිය 2019 වසරේ දී නාදියා මුරාත් ගේ The Last Girl ‘ගිනිගත් සඳ’නමින් පළ කළේය. මෙම කෘතිය පාඨක සමාජයෙහි නොමඳ ගෞරවයට පාත්‍ර වූ අතර එය මේවන විට තෙවන මුද්‍රණය අවසන් ව සිවුවන මුද්‍රණයට පැමිණ තිබේ. යුදෙව් සාහිත්‍යය කෙරෙහි හෙතෙම ආසක්ත කළේ ද මෙම කෘතියයි. එහි ප්‍රතිඵලය වූයේ පෝලන්ත ජාතික ලියෝකාඩියා ස්මිට් ගේ ‘ජීවිතය යළි ලදිමි’(Rescued From The Ashes - Leokadia Schmidt)) නම් අනුවේදනීය චරිතාපදානය අප අතට පත් වීමය.
0 Comments:
Post a Comment