මිහිතලය උරුමයට ගත් මානවයාගේ වංශ කතාව
ග්‍රන්ථය - සේපියන්්ලා
පරිවර්තනය - උපාලි රත්නායක
සරසවි ප්රකශකයෝ
මිල රු. 900 (පිටු 546)
විමසීම් - 071 6686325
අප කුමන විශ්වාසයක සිටිය ද මානව පරිණාමයේ හෝමෝ සේපියන්ස් නම් හඳුනා ගැනීම තුළ අප ලබා ඇති ශිෂ්ටාචාරයේ අභිවර්ධනය මුළුමනින්ම මානවීය පරිකල්පනය නම් වු ඒ අසීමිත තත්ත්වය මත පදනම් වන්නේ ය. ඒ බව මෙම විස්තරය අවසානයේ දී ඔබට තවදුරටත් පැහැදිලි වෙනු ඇත.
“සේපියන්ලා - මිහිතලය උරුමයට ගත් මානවයාගේ වංශ කතාව” මැයෙන් සිංහල බසට නැඟෙන්නේ යුවාල් නොආ හරාරිගේ “සේපියන්ස් අ බ්රීෆ් හිස්ටරි ඔෆ් හියුමන් කයින්ඩ්” නම් ඵෙතිහාසික වූත්, විද්‍යාත්මක වුත් මානව පරිණාමයේ පර්යේෂණාත්මක නව සංස්කරණයක් බුඳු හුදු ප්‍රබන්ධයක් නොවන ආඛ්යායනයයි. පරිවර්තක උපාලි රත්නායක ඒ පිළිබඳව සිය නිරීක්ෂණය ඉදිරිපත් කරන්නේ මෙසේ ය.
ඒ අනුව මානව වංශ කතාවේ සමාජ දේශපාලන මුහුණුවර ගත් කළ අද දක්වාත්, අදින් පසු ඉදිරියටත් ගමන් කරන මේ ආඛ්‍යායනය මාක්ස්වාදී විග්රහයේ එන මුලික ප්‍රවාදය වන ඵෙතිහාසික භෞතිකවාදය හා මුළුමනින්ම එකඟ නොවුවත්, හෝමෝ සේපියන්ස් නම් මානවයාගේ මෙම ගමන තුළ ද පැහැදිලිවම විප්ලවීය ස්වභාවයක් දැකගත හැකි වේ. තව ද යුවාල් නොආ හරාරි මෙය ලියන්නේ විද්‍යාත්මක කරුණු පාදක කරගත් විශ්ලේෂණයක් හැටියට වුණත්, කෘතියක් හැටියට ගත් කළ මෙය දෘෂ්ටාන්ත සහිත ආඛ්‍යායනයක් හැටියට හඳුනාගත හැකි ය.
මාක්ස්වාදී විග්‍රහය තුළ එන රදළ සහ වහල් සමාජ වෙනස් කරන්නා වු පැහැදිලි මායිම් රේඛාවක් හඳුනා ගැනීමට අසීරු ය. මන්ද යත් වැඩවසම් ක්‍රමය තුළම වහල් ශ්‍රමය පවතින තත්වයක් දැකිය හැකි හෙයිනි. තවද ධනවාදී සමාජය යනු ද වැඩවසම් සමාජයීය ලක්ෂණ මුළුමනින්ම අතු ගා දැමු තත්වයක් නොවේ. ඒ ආකාරයට එම සමාජ පරිණාමය ඒ අයුරින් විභේදනය කෙරුණත් ඒ වනාහි ශුද්ධ වු ලාක්ෂණික බෙදීම් වශයෙන් ගත හැකි තත්ත්වයක් නොවේ. ඒ ආකාරයටම මානව පරිණාමය තුළ අප උගත් සාම්ප්‍රදායික විභේදනය තවදුරක් ඉරි ගසා වෙන් කළ හැකි ශුද්ධ වු ලාක්ෂණික තත්වයක් නොවේය යන්න මෙම කෘතිය මැනවින් පෙන්වා දෙයි. සේපියන්ලා නම් කෘතියේ පර්යේෂණාත්මක වටිනාකම පවතින්නේ ද එකී විශ්ලේෂණය තුළ ය.
ඒ අනුව කෘතියේ කතුවරයා මානව පරිණාමය තුළ සංජානන විප්ලවය, කෘෂිකාර්මික විප්ලවය, කාර්මික විප්ලවය මෙන්ම අධි තාක්ෂණ විප්ලවය වශයෙන් අවධි කිහිපයක් මානව පරිණාමයට අදාළව දකී. එය ඵෙතිහාසික බෙදීමක් බව පැහැදිලි ය. අවසානයට කියවුණ අධිතාක්ෂණ විප්ලවය යනු අප වසන මෙම කාලයෙන් එහාට නිර්මාණය වෙමින් පවතින කාල වකවානුව වේ. විශේෂයෙන්ම සංජානන විප්ලවයේ දී මානවයන් එකිනෙකා අතර ඇති කරගත්තා වු සංජානනය (සන්නිවේදනය) මානව ශිෂ්ටාචාරයේ පැවැත්ම සම්බන්ධයෙන් වැදගත් බලපෑමක් සිදු කළ බව ඇත්තක් වේ. තවද මානව පරිණාමයේ සාම්ප්‍රදායික බෙදීම තුළ එන නියැන්ඩර්තාල් මානවයා හෝමෝ සේපියන්ස්ට පෙර සිට ඉවත්ව ගොස් ඇතැයි යන ඒ සාම්ප්‍රදායික පරිණාමීය ඉගැන්වීම කතුවරයා වඩාත් තත්වානුකූල විශ්ලේෂණයකින් ඉදිරිපත් කෙරෙන්නේ පහත දැක්වෙන ආකාරයට ය.
ඒ අනුව යමින් කතුවරයා පෙන්වා දෙන්නේ නියැන්ඩර්තාල් හා හෝමෝ සේපියන්ස් යන මානවයන් එකම කාලයක විසූවන් වන නමුත් පරිසර කලාප දෙකක විසු අය බව ය. නියැන්ඩර්තාල් විසුවේ හිම ප්‍රදේශ වල ය. විශේෂයෙන්ම හිම කලාපයට ඔරොත්තු දෙන අයුරින් ශක්තිමත් දේහ ශක්තියක් ඇතිව සිටි නියැන්ඩර්තාල්ගේ මස්තීෂ්කය, හිස් කබල පවා හෝමෝ සේපියන්ස්ට සාපේක්ෂව විශාල මට්ටමකින් පැවතී තිබේ. ඊට අමතරව රුසියාව හා ඕස්ට්‍රේලියාව ඇසුරේ හෝමෝ ඩෙගිසෝවා සහ හෝමෝ ප්ලෝරෙමියාස් යනුවෙන් තවත් මානව විශේෂ දෙකක් ද ඊට සමකාලීනව වාසය කොට ඇත. කෙසේ වුව දේහ ශක්තියෙන් වැඩි නියැන්ඩර්තාල් මානව පරිණාමය තුළ අතුරුදහන් වෙද්දී හෝමෝ සේපියන්ස් සිය පැවැත්ම දිගටම රඳවා ගත්තේ සෙසු සියලු විශේෂයන්ට වඩා සියුම් වූත් ප්‍රබල වුත් හැකියාවක් ඔහුට තිබු නිසා ය.
කතුවරයා ඒ වෙසෙස් හැකියාව “පරිකල්පනය” නමින් හඳුන්වා දෙයි. පොදුවේ ගත් කල සෑම සත්ව විශේෂයකටම සිය පැවැත්ම වෙනුයෙන් ස්වභායෙන්ම ලද හැකියාවක් තිබේ. එම හැකියාව මෙන්ම පරිසර සාධක ද මත උහු සිය පැවැත්ම තහවුරු කර ගනිති. එමෙන්ම ඒ සාධක අහෝසි වන පසුබිමක ඔවුන්ගේ පැවැත්ම ද අවදානමකට ලක් වේ. නියැන්ඩර්තාල්ගේ ඉරණම ද ඊට වෙනස් නොවී ය. එහෙත් හෝමෝ සේපියන්ස්ට ඒ සියල්ලන්ටම නැති වෙසෙස් හැකියාවක් වු නිසා ඔහු මානව පරිණාමය තුළ සියල්ලන් අබිබවා පැහැදිලි ජයග්‍රාහණයක් අත් කර ගැනීමට සමත් විය. ඒ හැකියාව අර කීව පරිකල්පනයයි. ඒ අනුව සාම්ප්‍රදායික මානව යුග පසු කරමින් පැමිණ සිටින ඔහු අනාගත අධිතාක්ෂණ යුගයේ හිමිකාරත්වය ද ඉල්ලමින් සුපිරි මිනිසකු බිහි කිරීමේ සංකල්පයක් ද ඉදිරිපත් කරමින් සිටී.
උපාලි රත්නායකගේ පරිවර්තන කර්තව්‍යයේ පවත්නා විශ්වසනීයත්වය හා සුගම බව ඔහුගේ සාහිත්‍ය නිර්මාණශීලිත්වයේ මුහුකුරා යෑම මත සිද්ධ වුවක්ය යන්න පැහැදිලි ය.
0 Comments:
Post a Comment