පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

Too Much and Never Enough: How My Family Created the World's Most Dangerous Man (ට්‍රම්ප් බාප්පා ගැන ලියූ පොත)

 එක රැයකින් පිටපත් නවලක්ෂ පනස් දහසක් විකිණූට්‍රම්ප් බාප්පා ගැන ලියූ පොත



උපුටා  ගැනීම සති අග අරුණ පාලිත ජයකොඩි

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කරමින් ඔහුගේ ඥාති දියණියක වන මේරි ට්‍රම්ප් විසින් ලියන්නට යෙදුණු Too Much and Never Enough: How My Family Created the World's Most Dangerous Man." කෘතිය පිළිබඳව අද දවසේ ලොව පුරා ලොව පුරා බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ පිළිබඳව තමා ගේ බලවත් විරෝධය හා අප්‍රසාදය පළ කර තිබුණද පොතේ අලෙවිය පහත දමන්නට හෝ එය පාඨකයා ගෙන් ඈත් කරන්න ට ඒ විරෝධය ප්‍රමාණවත් නොවුණු බවක් පෙනේ. ද ලොස් ඇන්ජලීස් ටයිම්ස් කියා තිබෙන අන්දමට මේ කෘතිය මුද්‍රණද්වාරයෙන් නිකුත් වූ පළමු දවසේ ම පිටපත් 950000 විකිණී තිබේ. ඇමෙසන් ටොප් ටෙන් ලයිස්තුවේ ද අංක එකට පැමිණ තිබෙන එය Simon and Schuster සමාගමේ අලෙවි වාර්තාවකි.

ජනාධිපති ඥාති දියණිය මේරි ට්‍රම්ප් විසින් එය සම්පාදනය කර ඇත්තේ මතක සටහන් පෙළගැස්මක් වශයෙනි. මේ සියල්ල සාරාංශයක් කොට සැලකුවහොත් ඇය එයින් උත්සාහ දරා ඇත්තේ තම පියාගේ සහෝදරයා නම් වත්මන් ඇමරිකානු ජනාධිපතිවරයා සෑම ඇමරිකානු ජාතිකයකුගේම ජීවිතයට තර්ජනය කරන උන්මත්තකයකු බවට පත්ව තිබෙන බව පෙන්වන්නට ය. නොඑසේව අනුන්ට හිරිහැර කරන්න කරන්නෙකු හා වංචාකාරයකු බවට පත්ව තිබෙන බව පෙන්වන්නට ය.

සැබවින් ම ඇය එය "Too Much and Never Enough: How My Family Created the World's Most Dangerous Man" නමින් හැඳින්වූයේ ඇයි? එයට් නිසි පිළිතුරක් ඇය ඒබීසී පුවත් සේවය සමග සිදුකළ සාකච්ඡාවේ දී ලබා දී තිබුණි.

" අපේ පවුල ගැන හිතලමයි. ඔවුන් හා මුදල් අතර තිබුණු පයුරුපාසානම ගැන කල්පනා කරලයි. විශේෂයෙන් ම මගේ සීයා, ඔහුට ඇතිපදම් මුදල් රැස් කර ගැනිල්ල හැර වෙනත් කිසිවක්, අරමුණක් තිබුණේ නැහැ. ඒ වාගේම එහෙම වෙන්න හේතුව මොකක් ද කියලා හොයන අරමුණත් ඔහු දරුවන් ගැන කල්පනා කළේ කොයි ආකාරයෙන් ද කියන එකත් එක මූලික හේතුවක්. ඒ වගේම ඩොනල්ඩ් සහ ඔහු ගේ සහෝදරයො මොන විදිහේ ගැටලුවලට මුහුණ දෙන්න ඇති ද කියලා හොයා බලන්නත් මට කුතුහලයක් තිබුණා."

මේ පොත එළි දැකීම වැළකීම සඳහා ධවල මන්දිරය සහ ට්‍රම්ප්ගේ ඥාතීන් බලවත් වෑයමක් දැරුවද, අසාර්ථක නඩු පැවරීමක් කළ ද ප්‍රකාශකයාගේ පාර්ශ්වය පැත්තෙන් සලකා බැලූ අධිකරණය පසුගිය ජූලි 14 වැනි දා එය නිකුත් කරන්නට අවසර ලබා දී තිබුණි.

පනස් පස් හැවිරිදි ට්‍රම්ප් මෙනවිය පවසන්නේ ඇගේ බාප්පා, ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කිසි දෙයකින් නොසෑහෙන මිනිසකු බව ය. අනෙක් අතට ඔහු තමා පිළිබඳවම වූ වර්ණනා උන්මාදයකින් පසුවන බවද ඇය පවසන්නීය.

සායනික මනෝ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ද ලබා තිබෙන ට්‍රම්ප් මෙනෙවිය තව දුරටත් සඳහන් කරන්නේ මේ උන්මාදය garden-variety narcissism තත්ත්වය ද ඉක්මවා ගොස් ඇති බව ය. garden-variety narcissism යනුවෙන් හැඳින්වෙන්නේ යම් පුද්ගලයකු සමාජය වෙතින් ඉහළ රෙකමදාරුවක්, ඉහළ අවධානයක්, සහායක් හා අනුකම්පාවක් ආදී වශයෙන් වූ දේ අපේක්ෂා කිරීම ය. එහි ඇති භයානකකම නම් මේ අපේක්ෂා ඉටු නොවූ කළ එකී පුද්ගලයා පත් වන අධික කෝප සහගත වියරු සහගත හා විනාශකාරී ස්වභාවය ය.) "ඩොනල්ඩ් දුර්වලයෙක් පමණක් නෙවෙයි, හැම විටම හදවතින් කඩා වැටෙන්නෙක්. ඔහුට සිද්ධ වෙනවා මොහොතින් මොහොතම ඔහුගේ මමංකාරය නඩත්තු කරන්න. මොකද ඔහු ම දන්නවා ඔහු කියන කිසි දෙයක් ඔහු ළඟ නැති බව. හුදෙක් ඔහු නඩත්තු කරන්නේ බොරුවක් බව." මේරි ට්‍රම්ප් පවසන්නී ය.

ඇය පවසන්නේ වයස අවුරුදු 16 දී මත්පැන් ආශ්‍රිත රෝගයකින් මියගිය තම පියා වන කනිටු ෆ්‍රෙඩ් ට්‍රම්ප් ඔහුගේ පියා අතින් වෙනස්කම්වලට ලක් වූ බවත් , ඩොනල්ඩ් එයින් ප්‍රයෝජන ගත් බවත් ය.

" ඔහුට අනෙකෙකු ගැන හැඟීමක් තිබුණේ නැහැ. ඔහුගේ දරුවන්, බිරිඳ ඇතුළු අනෙක් සියලු දෙනා ඔහුගේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා යොදා ගත් ඉත්තන් බවට පත් වන අයුරටම ඔහු ඒ අන්තයට ගියා. ඔහුගේ ආශ්‍රයට වැටුණෙ යම් කෙනෙක් ද ඔහුගෙන් උපරිම ප්‍රයෝජනය ගන්නට ඔහු කල්පනා කළා. තවත් පලක් ප්‍රයෝජනයක් නැත්තම් වහාම ඔවුන් අතහැර දැම්මා.

මගේ පියාට අත්විඳින්නට සිදු වුණු ඛේදය එයයි. ඔහුට මගේ පියාගෙන් ප්‍රයෝජනයක් වුණේ නැහැ. මගේ මුත්තණුවන් මගේ පියා දුටුවේ වැරදි පුද්ගලයා ලෙසයි; වැරදිකාර පුත්‍රයා ලෙසයි. ඒ හැඟීමෙන් මේ දෙන්නට මගේ පියාට කිසි දිනෙක පුළුවන් වුණේ නැහැ. මගේ සීයාට අවශ්‍ය වුණා කොහොම කොහොම හරි ඔහු ඈත් කරල දමන්න.

අවාසනාවට වාගේ ඩොනල්ඩ් තමාට ඕනෑ ආකාරයෙන් ප්‍රයෝජනයට ගත හැකි යැයි මගේ සීයා කල්පනා කළා. ඒ නිසා වැඩේ වෙන අතකට හැරුණා. ඒක කියන තරම් ම ලේසියෙන් සිද්ධවුණු කාරියක් කියන්න බැහැ.මගේ පියා වැරදි පුද්ගලයා බවට පත් වන තෙක් ඔහු අවුරුදු ගාණක් සුනංගු වෙවී කල් මැරුවා. ඒ වෙස් මුහුණ යට හැංගිලා ඒ සා වෙනස් විදිහට හැසිරුණා." ඇය ඒබීසී ප්‍රවෘත්ති ජාලයට පවසා තිබුණි.

දේපළ වෙළඳාම් කරුවෙකු වූ මේරිගෙ මුත්තණුවන් තම වැඩිමහල් පුත්‍රයා අත හැර දෙවැන්නා වූ ඩොනල්ඩ් වෙත හැරුණු බව පැවසෙයි. එහෙත් එය සුබදායී තෝරාගැනීමක් නොවුණු බව මේරි ට්‍රම්ප් පවසන්නී ය. කෙමෙන් ඔහු ඉගැන්වූ කුරිරු රටාවටම ඩොනල්ඩ් අනුගත වී සිටි අතර අන්තයේ දී ඔහු ගැසූ පදයට නටන්නටද ෆ්‍රෙඩ් ට්‍රම්ප්ට සිදු විය. බාගවිට දේපළ බෙදී යාම වූ ආකාරය පවා ඩොනල්ඩ් ගේ වුවමනා එපාකම් අනුව වූයේ යැයි සිතිය හැකි විය.

" ඔව්, ඒක ඇත්තක්; ඩොනල්ඩ් හැර. ඔව්. මගේ තාත්තාත් සහ මේරියනුත් දෙදෙනාම, විශේෂයෙන් 1970 න් පසු, බොහොම අමාරු අඩියකට වැටිල හිටියා. එක්කෝ මෝඩ කමක් කියා සැලකුනු නිසා හෝ පුහු ආඩම්බරයක් නිසා හෝ ඔවුන් ආපහු දෙමාපියන්ගෙ උදව් ඉල්ලන්න ගියේ නැහැ.

ඩොනල්ඩ් ලිමොසින් වාහනවල එහි මෙහි යද්දි, දේපළ වෙළඳාම්වල යෙදෙදී, ක්ලබ් වැනි තැන්වල කරක් ගසමින් වෙනස් ජීවිතයක් ගත කරමින් සිටිද්දී - මගේ තාත්තා ජීවත් වූයේ ක්වීන්ස්වල සනීසයිඩ් බිම් මහලක. මේරියන් කන්න බොන්න දෙයක් හොයා ගත්තෙත් බොහොම අමාරුවෙන්. "

ට්‍රම්ප්ට අයිති බදු ලියකියවිලි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතක හොර රහසේ සපයා දුන් ආකාරය ගැන ද ඇය මෙහි සටහන් කොට තිබේ. දෙගිඩියාවෙන් පසුවෙමින් , අන්තයේදී මාධ්‍යවේදීන් මුණ ගැසෙන්නට තීරණය කළ ඇය ඒ සියලු සාක්ෂි හෙළිදරව් කළ දවසේ පවසා තිබුණේ එය තමා ගත කළ ප්‍රීතිමත්ම දවස්වලින් එකක් වූ බවය.

මේ කෘතියේ එළිදරව් කර ඇති තවත් ආන්දෝලනාත්මක කාරණයක් වන්නේ ට්‍රම්ප්ගේ වංචාකාරී ස්වභාවය විශ්වවිද්‍යාල ජීවිතයේදීත් පැවති ආකාරයයි. විශ්වවිද්‍යාල සිසුන් ප්‍රමාණ කිරීම තීරණය කරන විභාගයක් වන SAT පරීක්ෂණය සඳහා ඔහු මුදලට තම යහළුවකු යෙද වූ ආකාරය ගැන ද ඇය හෙළිදරව් කරන්නීය. ‘‘ඔහු බය වුණා අසමත් වේවි කියලා. තමන්ට තිබුණු පිළිගැනීම නැති වෙයි කියලා. ඒ නිසා ඔහු කළේ දක්ෂ ශිෂ්‍යයකු කුලියට ගැනීමයි. මුදල් හදල්වලින් අඩුපාඩුවක් නොතිබුණු ඩොනල්ඩ්ට ඒ වෙනුවෙන් ගෙවන එක ඒ හැටි ප්‍රශ්නයක් වුණේ නැහැ." ධවල මන්දිරය ප්‍රකාශ කරන්නේ ජනාධිපති වරයා විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට වංචා කළ බව කියැවෙන කාරණය ප්‍රතික්ෂේප කරන බවයි.

අනෙක් අතට මේරී ට්‍රම්ප් පවසන්නේ තම මුත්තණුවන් මේ සා බිහිසුණු පුද්ගලයෙක් නිර්මාණය කිරීමේ මූල බීජය වූ බව ය. තම පියාගේ හැසිරීම් රටාව මුත්තණුවන් අපෙන් ප්‍රතික්ෂේප වෙද්දී ඊට ගැලපෙන රළු පරළු ආකාරයෙන් ඩොනල්ඩ් තම රටාව ගොඩ නගා ගත් බව ඇය චෝදනා කරයි.

" අවාසනාවට වාගෙ ඩොනල්ඩ් තමාට ඕනෑ ආකාරයෙන් ප්‍රයෝජනයට ගත හැකි යැයි මගේ සීයා කල්පනා කළා. ඒ නිසා වැඩේ වෙන අතකට හැරුණා. ඒක කියන තරම් ම ලේසියෙන් සිද්ධවුණු කාරියක් කියන්න බැහැ.මගේ පියා වැරදි පුද්ගලයා බවට පත් වන තෙක් ඔහු අවුරුදු ගාණක් සුනංගු වෙවී කල් මැරුවා. ඒ වෙස් මුහුණ යට හැංගිලා ඒ සා වෙනස් විදිහට හැසිරුණා.

මේ විවිධ තත්ත්ව යටතේ,දෙමාපියන්ගෙ වෙනස් කම් යටතේ ඩොනල්ඩ් කවදා හරි කෙබඳු මිනිහෙක් වේ දැයි අනුමාන කරන්නට බැරි වුණා. ඒත් පැහැදිලිවම , තමාට වඩා අවුරුදු අටකින් වැඩිමල් සහෝදරයා කරුණාවන්ත, ත්‍යාගශීල, සංවේදී ඒ වාගේම බාහිර ලෝකය එක්ක එකතු පහත චරිතයක් වීම නිසා දඬුවමට, පිළිකෙව් කෙරුමට ලක් වුණු හැටි ඔහු ඇස් පනා පිට දුටුවා."

ඩොනල්ඩ් ට්‍රම්ප් ස්ත්‍රී ලෝලියකු බව කියන්නට ද මේ කෘතිය තුළින් ඇය අමතක කොට තිබුණේ නැත. සිය දෙවැනි බිරිය මාර්ලා මේපල්ස් සමග විවාහ වී සිටියදී, විසිනම හැවිරිදි වූ තමා ඔහුගේ ඥාති දියණිය බව පවා නොසලකා ඩොනල්ඩ් ට්‍රම්ප් ඇයට යම් යම් යෝජනා කළ බව මේරි ට්‍රම්ප් පසවන්නී ය.

මේ අහු අස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප් ද දරදඬු ලෙස ප්‍රතිචාර දක්වා ඇති බව දැන ගන්නට ලැබේ.‘ ෆොක්ස් නිවුස්’ සමග සම්මුඛ සාකච්ඡාවට එකතුවෙමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ඇය කිසි ලෙසකින් හෝ පවුලේ වැදගැම්මකට ඇති තැනැත්තියක් ලෙස නොසලකන බව ය. මේ කෘතිය තුළින් ඇය තම නෑදෑ සනුහරයට අපහාස කර ඇති බව ඔහු පවසයි.

" ඇය අපේ පවුලේ ඒ තරම් වැදගත් තැනක් හිමි කර ගත් තැනැත්තියක් නෙවෙයි. ඇය ගැන අපේ ඒ හැටි ඇඟෑලුම්කමක් හෝ කැමැත්තක් හෝ ඇත්තෙත් නැහැ. මේ කාරියෙන් ඇයට නින්දාවක් ලැබෙනවා විතරයි. මෙයින් වෙන්නේ මගේ දෙමාපියන්ටයි මගේ මිය ගිය සහෝදරයාටයි නින්දාවක් ඇති වෙන එක විතරයි. ඇය බලාපොරොත්තු වුණේ මෙහෙම පොතක් ලියල කියක් හරි හොයා ගන්නයි." ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබිණ. එමෙන්ම ඔහු තම දෙමව්පියන් ගැන සහ සහෝදරයන් පිළිබඳ මෙහි අඩංගු වන කාරණා සාවද්‍ය බව පෙන්වන්නට ද ප්‍රකාශ කිහිපයක් මේ සම්මුඛ සාකච්ඡාවේ දී සිදු කර තිබුණි. ඔහු හැම විටම තමා හා ඇය අතර ඒ හැටි සම්බන්ධයක් නොමැති බව පෙන්වන්නට උත්සාහ කර තිබුණේ ඇය හා ඒ හැටි ආශ්‍රයක් නො තිබූ බව පවසමිනි.

කෙසේ හෝ වේවා ඇය පසුගිය සතියේ ඒබීසී ප්‍රවෘත්ති ජාලය සමග කළ සාකච්ඡාවේ දී කළ මේ ප්‍රකාශය ඉතා බැරෑරුම් ලෙස සැලකිය යුතු බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. ‘‘ඔහුට කොහොමවත් පුළුවන් කමක් නෑ මේ රටට නායකත්වයක් දෙන්න, අනෙක් අතට ඔහුට එහෙම කරන්නට ඉඩ හැරීම බොහෝ අනතුරු දායක කාරියක් ...... මගේ ජීවිතයේදී ඔහු ගැන දැක තිබෙන අන්දම සලකා බලන විට’’ යනුවෙන් ඇය එහිදී පවසා තිබුණි.

දැන් බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ මේ මේරී ට්‍රම්ප් කවුරුන්දැයි සොයා බලන්නට ය.

55 හැවිරිදි මේරි ට්‍රම්ප් 1981 වසරේ දී මියගිය, ජනාධිපතිගේ වැඩිමහල් සහෝදරයා වන ෆ්‍රෙඩ් ට්‍රම්ප්ගේ දියණියයි. ෆ්‍රෙඩ් තම ජීවිතයේ වැඩි කාලයක් මත්පැනට වැටී සිටි අතර ඔහුගේ අකල් මරණයට හේතු වූයේ ද බීමත්කම හා සම්බන්ධ හෘදයාබාධයකි.

මේරි ට්‍රම්ප් ඇගේ බාප්පා එනම් ඩොනල්ඩ්ට එරෙහි ප්‍රකාශ කරන්නට පටන් ගත්තේ හිටි හැටියේ නො වේ. ඔහු ජනාධිපති ධුරයට පත්වූ දා සිට ඇය මේ ආකාරයෙන් ඔහු පිළිකෙව් කළා ය.

ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු ඇය වොෂින්ටන් පෝස්ට් පුවත්පතට පවසා තිබුණේ එය ඇගේ ජීවිතයේ නරකම රාත්‍රිය බව ය.

පාලිත ජයකොඩි

Share:

0 Comments:

Post a Comment

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235

Blog Archive