දැන් කොරෝනාව මුළුමනින්ම තුරන් වී ගියා සේ හැසිරෙන මුත්, ගෙවුණු මාසයක්ම අප ගෙවා දැම්මේ හුදකලාව බිරන්තට්ටු වී ගිය මනසින් යුතුවය. ඒ කාලය තුළ අප විවිධ ඇබ්බැහිවලට හුරු වූ බව ද ඇත්තකි. නින්ද, ආහාර රටා හා විවිධ විනෝදාංශ ඒ අතර විය. එහෙම අතරිනුත් කියවීම පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණි. එහිදී කතා කෙරුණු තවත් කාරණයක් වූයේ මිනිසුන් මෙසේ එකතැනකට කොටුවී (lockdown) සිටීම නිසා පරිසරය යළි පණ ගසා නැගී සිටිමින් තිබෙන බවය.
සැබැවින්ම පරිසරයත් කියවීමත්, සාහිත්‍යයත් අතර බැඳීමක් තිබේ ද ? එයට පැහැදිලි උත්තරය එවන්නේ " ඔව්" යැයි පැවසීම ය.
මේ කාරණය ගැන වැඩිම නව කරුණු හොයන අප නෙත ගැටෙන වැදගත් සංකල්පයක් වන්නේ "පරිසර සාහිත්‍යය" (Eco-literature)යි. අප අවට ලෝකය ගැන විවිධාකාරයෙන් සිතීමට පරිසර සාහිත්‍යය අපට ඉඩක් ලබා දෙයි.
පරිසර සාහිත්‍යය යනු 19 වන සියවසේ ඉංගිරිසි රොමෑන්ටික කවි යුගයේ සිටම ජනප්‍රියත්වයට පත් සාහිත්‍යය අංගයකි. එය ඉනික්බිති ඇමරිකානු ලේඛකයන් ගේ අවධානයට ද පාත්‍ර විය. එනම්, එය දිගු ඉතිහාසයක් ඇති සාහිත්‍ය සම්ප්‍රදායකි. දේශගුණික විපර්යාස පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම ද මේ පාරිසරික සාහිත්‍යයේ එක් එක් අරමුණක් ලෙසින් සඳහන් කළ හැකිය.
මධ්‍යම ලැන්කෂයර විශ්වවිද්‍යාලයේ ආසියා-පැසිෆික් අධ්‍යයන පිළිබඳ කථිකාචාර්යවරයකු වන Ti-Han Chang විසින් සිදුකරන ලද මත විමසුමක ප්‍රතිඵලයක් වශයෙන් මෙසේ පරිසරය හා දේශගුණික අර්බුද පිළිබඳව කතා කෙරෙන හොඳම නවකතා පහක් පිළිබඳව සංවාදයක් මතු වී තිබිණි.
ඉන්ද්‍රා සිංහාගේ "Animal’s People ඉන් එකකි. මේ නවකතාවේ පසුබිම වන්නේ
ඉන්දියාවේ බෝපාල් ගෑස් පිපිරීමයි. එය 20 වන සියවසේ සිදු වූ දරුණුතම පාරිසරික ව්‍යසනයක් ලෙස හඳුන්වන්නට පුළුවන . එක්සත් ජනපදයට අයත් පළිබෝධනාශක කම්හලක සිදු වූ විෂ ගෑස් කාන්දුවක් හේතුවෙන් දහස් ගණනක් මිය ගොස් මිලියන භාගයකට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
මේ නවකතාවේ ප්‍රධාන චරිතය විකෘති වූ ශරීරයකින් යුතු, පිපිරීමෙන් යන්තමින් දිවි ගලවා ගන්නා 19 හැවිරිදි අනාථ පිරිමි ළමයෙකි. Animal යන යෙදුම එහිදී පාවිච්චි වන්නේ ඔහු සත්වයකු මෙන් දෙපයින් හා දෑතින් ඇවිද යා යුතු අවාසනාවන්ත තත්ත්වයක පසු වූ බව පෙන්වන්නටය. එහෙත් සත්වයා (විකෘති සිරුරෙන් යුතු වූ පිරිමි ළමයා) තම ශරීරයට වෛර නොකරයි. ඒ වෙනුවට ඔහුගේ මේ අමුතු, අභාග්‍යසම්පන්න අනන්‍යතාවය වැලඳ ගනිමින්ම මේකේ ඛේදවාචකය දෙස සාම්ප්‍රදායික නොවන ඇසකින් බලන්නට පාඨකයා පොලඹවයි.
මේ තුවාල වූ “මානව-සත්ත්ව” රූපය සමග සිංහා ඉන්දියාවේ පශ්චාත් යටත් විජිත තත්ත්වයන් පිළිබඳව ද සිය විවේචනය ඉදිරිපත් කරයි. එමෙන් ම බටහිර ධනවාදී ආධිපත්‍යය සමකාලීන පශ්චාත් යටත් විජිත සමාජයේ මිනිසුන්ට සහ පරිසරයට අඛණ්ඩව හානි කරන ආකාරය නිරූපණය කරන්ට ද Animal's People සමත් ව තිබේ.
අමරිකා - කැනේඩියානු ලේඛිකා රූත් ඔසේකිගේ My Year of Meats මේ කුලකයේ ඉහළම තැනක් අත්කර ගන්නා නවකතාවක් ලෙස සැලකේ. රූත් ඔසෙකීගේ මේ නවකතාව මාතෘත්වය, පාරිසරික යුක්තිය සහ පාරිසරික භාවිතාව වැනි තේමාවන් එකට එක් කරමින් ඇදී යන්නකි . එක්සත් ජනපද මස් කර්මාන්තය තුළ වර්ධක හෝමෝන භයානක ආකාරයෙන් භාවිත වන අයුර ස්ත්‍රීවාදී පාරිසරික දෘෂ්ටිකෝණයකින් ගවේෂණය කරන්නට ඇය උත්සාහ කර තිබේ
නවකතාව “වාර්තාමය” ආඛ්‍යාන මාදිලියක් භාවිත කරන අතර මස් සමාගමක් විසින් අනුග්‍රහය දක්වන එය ආරම්භ වන්නේ රූපවාහිනී ඉවුම් පිහුම් වැඩසටහනකිනි. ප්‍රදර්ශනය රූගත කරන අතරතුර, අධ්‍යක්ෂක ජේන් ටකාගි-ලිට්ල්ට, පශු සම්පත් කර්මාන්තය තුළ වර්ධක හෝමෝන භාවිතය පිළිබඳ අවලස්සන සත්‍යය හෙළි කරන නිර්මාංශ සමලිංගික යුවළක් මුණගැසෙයි. වර්ධන හෝමෝන කාන්තාවන්ගේ ශරීරයට අයහපත් ලෙස බලපාන්නා වූ ආකාරය අනාවරණය කර ගැනීම සඳහා වාර්තාමය ව්‍යාපෘතියක් කිරීමට මෙහිදී ඔවුහු ජේන් පොළඹවා ගනිති.
සිය ප්‍රධාන චරිත සියල්ල සඳහා ම හිතාමතාම ගැහැනුන් තෝරා ගැනීම හරහා, ඔසෙකී තම පාඨකයන්ගේ අවධානය යොමු කරන්නේ, පුරුෂාධිපත්‍ය ආවේණික වූ ධනවාදී රටාවේ සමාජ හෝ සංස්කෘතික සම්මතයන්ට එරෙහිව කැරලි ගසන අසාමාන්‍ය කාන්තා චරිත වෙත ය.
2003 නොබෙල් සම්මානලාභී ජේ.එම්. කෝට්සි විසින් ලියන ලද Disgrace ද මේ පාරිසරික නවකතා පහෙන් එකකි.
එහිදී, සත්ත්ව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ද ප්‍රසිද්ධියක් උසුලන ජේ. එම්. කෝට්සි, මේ කතාව ගොතා ගැනීමට ආරම්භය ගන්නේ කළු දකුණු අප්‍රිකානු මිනිසුන් තිදෙනකු විසින් සුදු දකුණු අප්‍රිකානු කාන්තාවක් සමූහ දූෂණයට ලක් වීමත් කුරිරු සුනඛ ඝාතන දර්ශනයක් එකට ඈඳා ගනිමිනි.
ඉතා ඉහළ ගණයේ දකුණු අප්‍රිකානු පශ්චාත් යටත් විජිත සාහිත්‍ය නිර්මාණයක් ලෙස ප්‍රශංසා ලද මෙම නවකතාව සුදු ආධිපත්‍යය සහ ප්‍රති-යටත් විජිත ප්‍රතිරෝධය මෙන්ම වාර්ගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංකීර්ණ කරුණු ගණනාවක් ගැන කතා බහ කරයි. එය මිනිසුන්ගේ ආධිපත්‍යය සහ සතුන් සූරාකෑම සමග ද සම්බන්ධ වන අතර මිනිසාගේ සදාචාරාත්මක ස්ථාවරයට තවදුරටත් අභියෝග කරයි.
මෙම ක්‍රියාවන් දෙකේ සංයෝජනය - එනම් සුනඛයන් ඝාතනය කිරීම සහ කාන්තාවක් දූෂණය කිරීම - නොහික්මුණු ජීවීන්ට සහ ස්වාභාවික පරිසරයට එරෙහි යටත් විජිත ප්‍රචණ්ඩත්වය පිළිබඳ කෝට්සිගේ පරිසර කියැවීම බව බොහෝ විචාරකයන් ගේ මතයයි.
පරිසර ක්‍රියාකාරිකයෙක් එමෙන්ම චීන සාහිත්‍ය පිළිබඳව මහාචාර්ය වරයෙක් වන තායිවාන ජාතික වු මින්ග්-යී විසින් ලියන ලද The Man with the Compound Eyes නවකතාව ද මෙසේ ප්‍රශස්තම පාරිසරික නවකතා පහට ඇතුළත්ය.
දේශගුණික ප්‍රබන්ධ එනම් ඊනියා “ක්ලි-ෆයි” මෙන්ම අව්‍යාජ විද්‍යාත්මක සොයාගැනීම් හෝ සංසිද්ධි අතර ද දෝලනය වන සිද්ධි ගණනාවක් මේ නිර්මාණය සඳහා ඔහු යොදා ගෙන තිබේ. එබඳු ප්‍රවේශයක් තුළින් මිනිසුන් නොවන, පරිසර අංග, එනම් ගස්, සාගර හෝ සුනාමියක් වැනි සංසිද්ධි පවා ඔහු තම නවකතාව නිර්මාණය කිරීම සඳහා යොදා ගෙන ඇති බව පෙනේ.
වු මින්ග්-යීගේ නවකතාව විවිධ ආඛ්‍යාන හතරකින් සමන්විතය. තායිවානයේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්, වයෝ වයෝ නම් කල්පිත දූපතේ පිරිමි ළමයෙක් සහ තවත් නගරයක වාසය කරන ස්වදේශික චරිත දෙකක් මේ චරිත අතර වෙයි. ඔවුන්ගේ චරිත දිගහැරුම “ The Man with the Compound Eyes ” කෘතියේ බහුවිධ කෝණවලින් දැකගත හැකිය. එහි පසුබිම වන්නේ සුනාමියකි. එය මහා පැසිෆික් කුණු කන්ද තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයට හා ඔවුන්ගේ සියලු කතාන්දරවල මූලය වන ප්‍රබන්ධිත පැසිෆික් දූපතක් වන වයෝ වයෝ වෙත දමා ගසන්නට හේතු වෙයි.
මෙම සිදු වීම යථාර්ථවාදී නොවන නමුදු එය සැබෑ ජීවිත කුණු කසළ ප්‍රශ්නය සමග මුසු කරමින්, අපද්‍රව්‍ය බැහැර කිරීමේ දැඩි පාරිසරික ගැටලුව හා මිනිසාගේ තිරසාර නොවන ජීවන රටාව කෙරේ ද අවධානය යොමු කරවන්නට සමත් වී තිබේ.
මේ ලැයිස්තුවේ පස්වැන්න වන්නේ ඇමරිකානු නවකතාකරු රිචඩ් පවර්ස් විසින් ලියන ලද The Over story නවකතාවයි.
මේ නවකතාව ප්‍රශංසාවට ලක් වන්නේ ශාකවල ජීවන රටාව පිළිබඳව , එනම් ඒවා දෙස පරිසර කේන්ද්‍රිය ඇසකින් බලන්නට පාඨකයා යොමු කිරීම ගැනය. පවර්ස්ගේ මේ නවකතාව සුවිශේෂී අක්ෂර නවයකින් සමන්විතය. ඒවා ගස්වල “මුල්” නියෝජනය කරන බව පැවසෙයි. ක්‍රමයෙන් ඔවුන්ගේ කතන්දර හා ජීවිත එකිනෙකට බැඳී “කඳ”, “තුරු හිස ” සහ “බීජ” නිර්මාණය වේ .
මෙහි එන එක් චරිතයක් වන ආචාර්ය පැට්‍රීෂියා වෙස්ටර්ෆර්ඩ්, ගස් සමාජ ජීවීන් බව පෙන්වන පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කරන්නේ විදේශීය ආක්‍රමණයක් සිදු වූ විට එකිනෙකාට සන්නිවේදනය කිරීමට හා අනතුරු ඇඟවීමට ශාකවලට හැකි බැව් පැහැදිලි කරමිනි . නවකතාව ඇතුළේ ඇගේ අදහස මතභේදාත්මක කරුණක් ලෙස ඉදිරිපත් කර තිබුණ ද ඇත්ත වශයෙන්ම වර්තමාන විද්‍යාත්මක අධ්‍යයනයන්ගෙන් ද මේ කාරණාව යම්තාක් දුරකට ඔප්පු වී තිබෙන්නකි.
ආචාර්ය වෙස්ටර්ෆර්ඩ් තම අප්‍රතිහත කාර්යභාරය අවසන් කරන්නේ සමුළුවකදී විෂ සහිත ශාක නිස්සාරණය පානය කිරීමෙන් සිය දිවි නසා ගනිමිනි. ඇය මිනිසුන්ට පැහැදිලි කරන්නේ ශාක වර්ගයා හා ග්‍රහලෝකය බේරා ගත හැක්කේ තම පැවැත්ම නතර කිරීමෙන් පමණක් බවය.
බොහෝ දෙනා පවසන්නේ හරිත අනාගතයක් වෙනුවෙන් කියවීම මෙන් ම සාහිත්‍යය ද ඉතා ඉහළ කාර්යභාරයක් ඉටු කරන බවය. පරිසරය, දේශගුණක අර්බුද මෙන්ම ව්‍යසන පිළිබඳ ලිවීම හා කියවීම ඒ අනුව අද දවසේ ලේඛකයන් ගේ මෙන්ම පාඨකයන් ගේ ද යුතුකම වශයෙන් සැලකිය හැකිය.
පාලිත ජයකොඩි
0 Comments:
Post a Comment