පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

sinhala Nawakathawee Rahas pareekshaka (සිංහල නවකතාවේ ප්‍රථම රහස් පරීක්ෂකයා)

සිංහල නවකතාවේ ප්‍රථම රහස් පරීක්ෂකයා



ඩිකී වීරකෝන්ලා, ෂර්ලොක් හෝම්ස්ලා වැනි රහස් පරීක්ෂකයින් අපේ කාලයේ සිංහල සාහිත්‍ය කෘතීන්ට පිවිසෙන්නට පෙරද සිංහල සාහිත්‍යයේ සිටි ප්‍රථම රහස් පරීක්ෂකවරයා කෝන්ගොඩ වික්‍රමපාල ය.   


ඒ අපේ සීයලාගේ කාලයේය. වසර එකසිය දෙකකට පමණ පෙරය. හරියටම කිව්වොත් 1918 දී ය.   


සිංහල සාහිත්‍යයේ ප්‍රථම රහස් පරීක්ෂකවරයා බිහිවූයේ පියදාස සිරිසේනගේ ඩිංගිරි මැණිකා නොහොත් වික්‍රමපාලගේ පළමු වැනි වික්‍රමය නවකථාව තුළිනි.   
ඩිංගිරි මැණිකා නවකථාව ප්‍රථම වරට ප්‍රකාශයට පත්වූයේ 1918 දී ය. මූලික පිරිවෙන් අවසාන විභාගය සඳහා නියම වී ඒ සඳහා මුද්‍රණය වෙමින් ඩිංගිරි මැණිකා 2020 අදත් මුද්‍රණය වෙයි. අලෙවි වෙයි.   


පියදාස සිරිසේනගේ ඩිංගිරි මැණිකා කියන පරිදි කෝන්ගොඩ වික්‍රමපාල උපන්නේ සත්කෝරලයේ කෝන්ගොඩ නමැති ගමේ ය. ඔහුගේ පියා රාජපක්ෂ මුදලිගේ ඩිංගි අප්පුහාමිය. ඒ දිනවල ඔහුව කෝන්ගොඩ රාලහාමි යනුවෙන්ද හැඳින්විණ. වික්‍රමපාලගේ මව ඔහු කුඩා අවධියේම මියගියාය. පියාද වික්‍රමපාල සත් හැවිරිදි වියේදී මියගිය හෙයින් ඔහු අනාථයකු විය.   


කෝන්ගොඩ වික්‍රමපාල දුම්රියෙන් නානුඔයට යන අතර දුම්රියේදී, ගම්පොළ මීවිටිගල වලව්වේ පුංචි බණ්ඩා මීවිටිගල මුණගැසෙන සිද්ධියෙන් ‘ඩිංගිරි මැණිකා’ නවකථාව ඇරඹෙයි. පුංචි බණ්ඩාගේ ඉල්ලීම අනුව නානුඔය ගමන නවතා ගම්පොළෙන් බැස මීවිටිගල වලව්වට යන වික්‍රමපාලට, පුංචි බණ්ඩා දෙමාල්ලෝ තමන්ගේ එකම දියණිය, ඩිංගිරි මැණිකා මාස ගණනක සිට අතුරුදන්වූ වග පවසති.   


ගමේ දුප්පත් තරුණයකු වූ රන්බණ්ඩා සමග පෙමෙන් පසුවන ඩිංගිරි මැණිකාට, ඇයගේ දෙමාපියන් ඇයට නවරත්න නම් තරුණයකු විවාහ කිරීමට නියම කරති.   
ඩිංගිරි මැණිකා නිවසින් අතුරුදන්වන්නේ එම විවාහයට දින කීපයකට පෙරදීය. ඒ නිවසින් රුපියල් තිස් දහසක්ද රන් රිදී භාණ්ඩ රාශියක් ද සමගය. ඇය අතුරුදන් වූ රාත්‍රියේම නිවසේ මෙහෙකාරකම් කළ මැගී නම් ස්ත්‍රියද, රිදී භාණ්ඩ කීපයක් සොරකම් කරගෙන අතුරුදන් වන්නීය.   

 

ඩිංගිරි මැණිකා නවකථාව ප්‍රථම වරට ප්‍රකාශයට පත්වූයේ 1918 දී ය. මූලික පිරිවෙන් අවසාන විභාගය සඳහා නියම වී ඒ සඳහා මුද්‍රණය වෙමින් ඩිංගිරි මැණිකා 2020 අදත් මුද්‍රණය වෙයි. අලෙවි වෙයි. පියදාස සිරිසේනගේ ඩිංගිරි මැණිකා කියන පරිදි කෝන්ගොඩ වික්‍රමපාල උපන්නේ සත්කෝරලයේ කෝන්ගොඩ නමැති ගමේ ය. ඔහුගේ පියා රාජපක්ෂ මුදලිගේ ඩිංගි අප්පුහාමිය. ඒ දිනවල ඔහුව කෝන්ගොඩ රාළහාමි යනුවෙන්ද හැඳින්විණ. වික්‍රමපාලගේ මව ඔහු කුඩා අවධියේම මියගියාය. පියාද වික්‍රමපාල සත් හැවිරිදි වියේදී මියගිය හෙයින් ඔහු අනාථයකු විය. 


පුංචිබණ්ඩා මීවිටිගල දෙමහල්ලන්, කෝන්ගොඩ වික්‍රමපාලගෙන් ඉල්ලා සිටින්නේ, තම නැතිවූ ඩිංගිරි මැණිකා සොයාදෙන ලෙසය. එලෙස සොයාදුනහොත් ඔහුට රුපියල් දහදාහක මුදලක් ත්‍යාග කිරීමට ද පොරොන්දු වෙති.   


ඉන්පසු සිංහල නවකතාවේ ප්‍රථම රහස් පරීක්ෂකවරයා වූ කෝන්ගොඩ වික්‍රමපාලගේ ඩිංගිරි මැණිකා සොයා යෑමේ මෙහෙයුම ඩිංගිරි මැණිකා නවකතාවෙන් විස්තර වෙයි.   
පියදාස සිරිසේනගේ වෙනත් නවකථා මෙන්ම ඩිංගිරි මැණිකා නවකතාවේද, කවි පංති, නාට්‍යාකාර දෙබස්, පැරණි ගද්‍ය පාඨ ඇතුළත් නිර්මාණයන් ඇතුළත් වෙයි. ඩිංගිරි මැණිකා නවකතාවෙන් අැරඹුණ රහස් පරීක්ෂක කෝන්ගොඩ වික්‍රමපාලගේ වික්‍රම පියදාස සිරිසේනගේ විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය, වලව්වක පළහිලව්ව, ඉෂ්ට දෙවියා, මහේෂ්වරී, ඩෙබෙර කෙල්ල යන නවකථාවලද ඇතුළත්ව තිබුණි.   


ඩිංගිරි මැණිකා නවකතාවේ ඇතුළත් වන රන්බණ්ඩා සහ ඩිංගිරි මැණිකා අතර හුවමාරු වූ කවි පංති එකල තරුණ තරුණියන් අතර ඉතාමත් ජනප්‍රිය විය.   


වැනේ සුනෙර සසලන තරිඳුගෙන් මැ කේ   
පෙනේ දවල් තරු එද නොසිතමි නොහැ කේ   
සෙනේ අපේ කැඩෙනු බැරිමය නැතිය සැ කේ   
වුණේ මේ කිමද ඩිංගිරි මැණි කේ   
සිහිලැල් දිය සේ තෙපලන බස රසා වන   
ගුණදුල් මගේ මැණිකේ දිගු ඇසා වන   
කළු ගල් දැවෙන ගිනි හද තුළ වසා ගෙන   
කළු ගල් තළමි දැන් මම නුඹ නිසා වන   


ඩිංගිරි මැණිකේ කැලේ ගල් ගුහාවේ සිටිය දී රන්බණ්ඩා වෙනුවෙන් මෙම කවිය ලිව්වාය.   


ලොව සෙට සතර දත් යුතු ගුණයෙන් සාර   
සහතුට කළ මහද කොඳ පති පුන් සාර   
සැබෑවට සහතොසින් දිවිකර දුන් බාර   
කිම මට වුණේ මැතිඳුනි රන් බණ්ඩාර   
සුපසන් මිනිබිරිය මැතිඳුගෙ දිසාවේ   
විලසින් පිපි තඹර ගම්පල දිසාවේ   
සැපතින් විසුව ඔබ රණහස මුවාවේ   
මම දැන් වැලහින්නියකි මේගල් ගුහාවේ   


ඩිංගිරි මැණිකා නවකථාව පදනම් කරගෙන නිර්මාණය කළ ඩිංගිරි මැණිකා චිත්‍රපටය 1956 දී ප්‍රදර්ශනය වූ අතර එහි ඇතුළත් වූ ගීත නිසා එවකට චිත්‍රපටය ඉතාමත් 
ජනප්‍රිය විය.   


පියදාස සිරිසේන අපේ සීයා මුල්ම කාලයේ ඔවදන් මුතුවැල් සහ දම්පල් පුවත කියල පුංචි පොත් දෙකක් ලිව්වා. 1904 දී සීයා සරසවි සඳරැසට ලියපු ලිපි එකතු කරල ජයතිස්ස සහ රොසලින් නැතහොත් වාසනාවන්ත විවාහය කියල පොතක් නිකුත් කළා. මුල් කාලෙම ඒකෙ පිටපත් විසිපන්දාහක් විකිණිලා තිබුණා. පියදාස සිරිසේනගේ තොරතුරු විස්තර කරමින්, ඔහුගේ දෙවෙනි පුත්‍රයා වූ ආරියචන්ද්‍ර සිරිසේනගේ වැඩිමල් පුත්‍රයා වන උපාලි සිරිසේන අපට පැවසීය. 

 
1875 අගෝස්තු 31 දින ඉඳුරුව, අඟුරුවැල්ලේ දී උපන් පියදාස සිරිසේන මුලින්ම භාවිතා කළ නම වැරනියගොඩ ගමගේ පේද්‍රික් සිල්වාය.   
පියදාස සිරිසේන වයස අවුරුදු දහතුනේදී පමණ අනගාරික ධර්මපාලතුමා ඉඳුරුව පන්සලේ කථාවක් පැවැත්වීමට පැමිණියේය.   


‘ඔබතුමා ගැන කවි පංතියක් කියන්න මට ඉඩ දෙනවද? අනගාරික ධර්මපාලතුමාගේ කථාව අවසානයේ නැඟී සිටි පේද්‍රික් යෞවනයා ඇසීය.   


ඔහුගේ කවි පංතියෙන් සතුටට පත් ධර්මපාලතුමා මොකක් ද නම යැයි විමසීය.   


වැරණියගොඩ ගමගේ පේද්‍රික් සිල්වා පිළිතුරු ලැබුණි.   


ඒ නම විසිකරපන් අද ඉඳල උඹ පියදාස සිරිසේන ධර්මපාලතුමා පැවසීය.   


පේද්‍රික් සිල්වා පියදාස සිරිසේන වූයේ එසේය.   


මුල්ම කාලයේ සිතුමිණ සඟරාවේ උපකතුවරයකු ලෙස සේවය කළ පියදාස සිරිසේන, ලී බඩු සාප්පුවක ලියන මහත්මයකු ලෙසද සේවය කළ බව උපාලි සිරිසේන පවසයි. එම කාලයේම ඔහු අනගාරික ධර්මපාලතුමාගේ සරසවි සඳරැස පුවත්පතේ කටයුතුවලට ද සහාය විය. පසුව ඔහු ටික කාලයක් සිංහල ජාතිය යනුවෙන් තමන්ගේම පුවත්පතක් පළකළේය.   


මුස්ලිම් කෝලහල කාලෙ අමද්‍යප ව්‍යාපාරය සම්බන්ධ අනික් ජාතික නායකයින් එක්ක සීයවත් සිරභාරයට ගන්නවය කියල ආරංචියක් ආවා. ඉස්සර සීයා කොණ්ඩය බඳිනවා. හිර ගෙදරදී සුද්දො ලව්වා කොණ්ඩය කපාගන්න ඕන නැහැය කියල, සීය හිරගෙදරට යන්ඩ ඉස්සර කොණ්ඩය කපාගත්ත කියල ආච්චි කියනවා. උපාලි සිරිසේන තමන් ලද තොරතුරු විස්තර කරන්නට විය.   


ඔහු පවසන ලෙස පියදාස සිරිසේන අෂ්ඨලෝක ධර්මය කෘතිය ලියන ලද්දේ සිරගෙදර සිටිය දී ය. ඒ එහිදී ඔහුට කියවීමට දුන් එකම පොතවූ බයිබලයේ හිස් තීරුවල සහ හිස් කොළවලය.   


අද පියදාස සිරිසේන මාවත යනුවෙන් හැඳින්වෙන එදා ස්ටැන්ලි පාරේ නිවසක විසූ පියදාස සිරිසේන කලක් කුප්පියාවත්ත පන්සල සමීපයෙහි නිවසක ද සිය බිරිඳ සහ දරුවන් සමග ජීවත්විය. ජීවිතයේ අවසාන කාලය ජීවත්වූයේ මහරගම, නාවින්න, නාගහකනත්ත පාරේ නිවසකය.   


සීයට අවසාන කාලෙ දියවැඩියා රෝග තත්ත්වය තිබුණ. සීයගෙ කකුලෙ නිදිකුම්බා කටුවක් ඇනිලා, ඒක ඔඩුදුවලා තමයි මැරුණෙ. අන්තිමට සීයා ජීවිතය බේරගන්න ඒ කකුල දණහිසට උඩින් කපලා තිබුණා. උපාලි සිරිසේන පවසන්​නේ එවකට යෞවනයකුව සිටි තමන් තම පියා සමඟ සීයාගේ සිරුර දැකබලා ගැනීමට ගියවිට මෘත දේහය සකස්කරමින් සිටි අවමංගල ශාලාවේ සේවකයින් තමන්ට කකුල කපා තිබෙන අයුරු පෙන්වූ බව ය.  

 

පීටර් කැනියුට් පෙරේරා

Share:

0 Comments:

Post a Comment

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235

Blog Archive