වර්‍ෂ 2020ක් වූ ජූලි මස 26 වැනි ඉරිදා
කෘතිය- පියාපතක සැහැල්ලුවෙන්
කර්තෘ- යමුනා තුෂාරි රාජරත්නගේ
මෙවර සතියේ කවි පොත ලෙස අප තෝරා ගත්තේ යමුනා තුෂාරි රාජරත්නගේ “පියාපතක සැහැල්ලුවෙන් කාව්‍ය සංග්‍රහයයි.
බාලවියේ සිටම කවියට ඇලුම් කළ යමුනා තුෂාරි මින් පෙරද කාව්‍ය සංග්‍රහයක් පළකර ඇත. ඒ කොළඹ අහස හඬයි කාව්‍ය සංග්‍රහයයි. එය නිකුත් කර ඇත්තේ 2017 වසරේදීය.
නිසඳැස් කවියට වැඩි ඉඩක් ලබාදී ඇති කිවිඳිය සමාජය තුළ ලැබු අත්දැකිම් ඔස්සේ විවිධ තේමාවන් ඔස්සේ කවි නිර්මාණය කර ඇත.
පියාපතක සැහැල්ලුවෙන් කියවීමේදි එහි සිත් ගත් කවි කිහිපයකි.
මේ සමාජයේ අපි දකින මිනිසුන් බෙහෙවින්ම විවිධාකරය. මිනිසුන් එක සමාන නැත හැඩයෙන් ද රුවින් ද මිනිසුන් වෙනස්ය. ඒ වෙනස් මිනිසුන් ජීවිතයේ විඳින්නේ සතුටක් නොව දුකකි. ජීවිතය ගෙන යන්නට අපමණ වෙහෙසක් දරනු ලබයි. මේ අතර පෙර දුකින් තොර ජීවිත ගෙවන්නෝ ද වේ. කිවිදිය ඒ මිනිසුන් දකින්නේ පෙර පින් කර ඇත්තන් ලෙසය. සමායේ ඇති උස් පහත්, ධනපති පන්ති භේදය ගැන තරහින් නොව ඇය උපේක්ෂාවෙන් බලමින් තම සිතුවිලි පෙළගස්වයි. මාතෘකාව මිනිස්සු.
හීන්දෑරි උස මිනිස්සු
මහත දෙහෙත මිටි මිනිස්සු
ලේ කඳුළක් මුහුණෙ නොරැදි
ඇවිදින රූකඩ මිනිස්සු...
අතට පයට මෙහෙවර ඇති
අතකර දිදුලන රන් ඇති
දුක්ගිනි කුසගිනි නුපුරුදු
පෙර පින් බල ඇති මිනිස්සු...්
උදේම බර ගෙන හිස මත
තෙරපී හිරවී බසයක
ඉහින් කනින් පෙර ඩා බිඳු
අනේ විඳින දුක මිනිස්සු...
අප වැනි රටවල හැම විටම පරම්පරා බේදය ඇත. මේ පරම්පරා ගැටුම අපට මුලින්ම දැකිය හැක්කේ පවුල තුළය. අත්තම්ලා සීයලා සමඟ මුනුපුරු මිනිබිරියන් අතර ඇත්තේ සීතල යුද්ධයකි. “අපේ කාලේ ඔහොම නෑ..“ යොවුන් මිනිබිරියක අද කාලෙ මෝස්තර කරන විට එය දකින අත්තම්මා පවසන්නේ තම යොවුන් විය ගැන සිහි කරමිනි. “අත්තම්මේ“ එවැනි කවි පෙළකි.
කැඩපත ළඟ හැඩ බල බල
කාලය අපතේ යවනවා
අත්තම්මා හැම තිස්සෙම
මගෙ පස්සෙන් හිඳ රවනවා
තරහ සිතින් මුනූ මුනු ගා
අපේ කාලේ තිබුණෙ නෑ ලු
මේ වාගේ විච්චුරණ...
ආදි වශයෙන් කිවිය අත්තම්මා යෞවනියක හා ගැටෙන අයුරු පවසයි. ඇය ප්‍රශ්න කරන්නේ අත්තම්මාගේ යොවුන් වියේ සේයාරුව දැක ඇයට ද යොවුන් වියක් තිබුනේ නැති ද කියාය.
එකම කවියක නොවුණද යමුනා තුෂාරි කිවිදිය තවත් කවියකින් අත්තම්මාගේ අදහස පාඨකයාට කියන්නට උත්සාහ දරයි. මාතෘකාව “මිනිපිරියේ..“.
ඇය පවසන්නේ තමන්ට ද සොඳුරු යව්වනයක් තිබුණ බවය. එහෙත් ඇය මිනිපිරියට දැන් මැසිවිලි නඟන්නේ මේ සමාජය කුරිරු බැවිනි.
“... දෑස් අගින් කතා කළා
කැඩපත හා හිනාවුණා
හරිම සොඳුරු යොවුන් වියක්
මං අමතක කරනු කොහොම
ඒත් මගේ මිනිපිරියේ
නුඹ දකිනා ලොව කුරිරුයි....“
කිවිඳිය පවසන්නේ එලෙසිනින.
අද දරුවකු ඉපදුණ පසු පාසලකට ඇතුළත් කර ගැනිමට ඇත්තේ පුදුමාකාර දුෂ්කර බවකි. නගරයේ පාසල් සොයා ගිය , අදත් හොඳ පාසල් සොයා යන ක්‍රමවේදය වෙනස් කිරිමට ගෙනා සංකල්පය. ළඟම පාසල හොඳම පාසල යන්නයි. නමුත් ළඟම පාසල හොඳම පාසල නොවූ ඒ අතීතයේ ගුරුවරු දහසක් අපහසුතා මධ්‍යයේ දරුවන්ට අකුරු කර වූහ. එකල හොඳම පාසල වුයේ ගමේ පාසලයි. නමුත් අද පාසල යටවී ටියුෂන් කඩ මතු වී ඇත. මේ වෙනස ගැන කිවිඳිය මෙසේ කියයි. මාතෘකාව ගමේ පාසල.
ශිල්ප දෙන්නට එදා රුසිරු
සැඳි පැහැඳි සිටී දෙවිවරු
හොයා ගන්න නැත පඬිවරු
ටියුෂන් කඩ අද විසිතුරු
හුණු කුඩට පෙණහැල්ල දැවුනට
වැස්ස දවසට වහල තෙමුණට
පහසුකම් නැති වුණත් සිසුනට
ශිල්ප අඩුවක් නොකළෙ කිසිවිට..
කිවිඳියට සමාජයේ අත්දැකිම් ඇසුරෙන් කියන්නට බොහෝ දේ ඇත. මේ බොහෝ දේ කියන්න ඇගේ කාව්‍යමය භාෂාව තවත් මුවහත් වූයේ නම් ඉතා අගේය.
යමුනා තුෂාරි රාජරත්නගේ පියාපතක සැහැල්ලුවෙන් කාව්‍ය සංග්‍රහය කර්තෘ ප්රකාශනයකි.
0 Comments:
Post a Comment