පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

Adisi Nadiya ( අදිසි නදිය)

 මැක්ස්, ඔබ ඔහුව පසුව හඳු­නා­ගනු ඇත


ග්‍රන්ථය - අදිසි නදිය

කර්තෘ - කපිල කුමාර කාලිංග

සුරස ප්‍රකා­ශ­කයෝ

මිල -රු. 500 (පිටු 328)

“මෙම නග­රය පෘථි­වියේ කොතැ­නක පිහි­ටියේ දැයි දැන­ගැ­නී­මට ඔබ වෙහෙ­සිය යුතු නැත. මේ කතාව අව­සා­නයේ දී ඔබ ඒ පිළි­බ­ඳව කිසි­යම් නිග­ම­න­ය­කට එනු ඇත. බොහෝ විට ඔබට එය දැන­ගැ­නී­මට අවශ්‍ය නොවනු ඇත. ලෝකයේ හෝ විශ්වයේ ඇතැම් දෑ සංකල්ප රූප වශ­යෙන් මිස භෞතික වශ­යෙන් නොප­ව­තින බව සත්‍ය­යකි.”

ඒ අනුව එම නග­රය කල්පි­ත­යක් යැයි සිතිය හැකි ය. නමුත් එහිලා පැනෙන යථා­ර්ථය එය වනාහි කොහෙත්ම කල්පි­ත­යක් නොවේ. එකල්හි එහි මනුෂ්‍ය පැවැත්ම කෙසේ වී ද?

“කුමන දුෂ්කර තත්ත්ව­යක් යටතේ හෝ ජීවි­තය සාර්ථක ලෙස පව­ත්වා­ගෙන යාම වීර ක්‍රියා­වක් වන කාල­යන්හී ද, ජීව­ත්වීම වටා බැඳුණු වෙනත් අතුරු කාරණා නොවැ­ද­ගත් දේ සේ අම­තක කර දැමීම ද මනුෂ්‍ය ස්වභා­ව­යේම ගති ස්වභා­ව­යකි.”

නග­රය තුළ විටින් විට දේශ­පා­ල­නීය අත්‍යා­ලං­කාර උත්සව පැවැත්වේ. නමුත් මැක්ස් (ඔබ ඔහුව පසුව හඳු­නා­ගනු ඇත.) පව­සන්නේ ව්‍යස­නයේ අදිසි නදිය නග­රය යටින් ගලා යන බව ය. ගැල­වීම යනු තමන් වෙත පැව­රුණු වග­කී­මක් බවට පත්ව තිබේ. මක්නි­සාද යත් සමාජ සංවි­ධා­නයේ ප්‍රධා­නම මෙහෙ­යුම් ගාම­ක­ත්වය වන දේශ­පා­ල­නය මේ සම්බ­න්ධ­යෙන් හැසි­රෙන්නේ වෙනම න්‍යාය පත්‍ර­යක් මත බැවිනි. එවැනි පසු­බි­මක ඒ සමාජ දේශ­පා­ලන තත්ව නිරූ­ප­ණය සම්බ­න්ධ­යත් පාඨ­ක­යාට හැඟී­මක් ලබා දෙමින් මැක්ස් ලිලී ට මෙසේ පව­සයි.

“ලිලී මේ පොළව යට සිර­ගෙ­යක ඔයාව දකින්න ආශා­වෙන් ඉන්නා කෙනෙක් ගැන ඔයා මට කියල තියෙ­නවා. ඒ විත­රක් ද, ඔයාගෙ ගුරු­ව­රයා, නෑදෑයො.....ඒ නිසා ඔයා පපා වෙනු­වෙන් හරි අව­දා­නම බාර ගන්න ලෑස්ති වෙන්න එපා.”

ඒ අත­ර­වා­රයේ දී යට කිය­වුණ තත්ව නිරූ­ප­ණය තව­දු­ර­ටත් පුළුල් කර­මින් නග­රයේ එක් අඳුරු ඉස­ව්වක රහස් සැම­රුම් උත්ස­ව­යක් ද පැවැත් වේ.

“මීයන් මේ රැයේ සම­රන්නේ කලින් කලට ඝාත­නය කෙරුණු හෝ අතු­රු­ද­හන් කෙරුණු තම සග­යින් ය. ඔවුන් මෙවර ඒ සඳහා උප­ක්‍ර­මි­කව තෝරා­ගෙන ඇත්තේ සමුහ මිනී වළක් ඇතැයි සැල­කෙන වන­ගත බිම් පෙදෙ­සකි. රාත්‍රි­යට යොදා ගැනුණේ දිවා කාල­යෙහි ඒ සඳහා කිසිදා ඉඩක් නැති බැවිනි.” කල්පිත නග­රය පුරා වැටී තිබුණේ එවැනි කොයි ආකා­ර­යෙන් වත් අතා­ත්වික කල්පි­ත­යක් නොවන යථා­ර්ථයේ අඳුරු සෙව­ණැලි ය.

ඒ අනුව එතැන කතා­වක් තිබේ. ඒ අඳුරු සෙව­ණැලි මේ යැයි පෙන්වා දෙන වීර­යෙක් ද සිටී. ඔහුගේ නම මැක්ස් ය. ඔහු ව්‍යස­නය දකී. එයට එරෙ­හිව නැගී සිටීම සිය වග­කීම යැයි සිතයි. එසේ හෙයින් ම මෙසේ පව­සයි.

“මේ වගේ වෙලා­ව­ලට අපි කඩා වැටිලා හරි යන්නෙ නෑ. හිස කෙළින් තියා­ගන්න. එත­කොට තමයි විස­ඳුම් පෙනෙන්න ගන්නෙ.”

නමුත් වීරයා යනු කව­රෙක් ද? ඉති­හා­සය විසින් වීර­යින් බිහි කරනු ලබ­යිද? එසේ නැත්නම් වීර­යින් විසින් ඉති­හා­සය නිර්මා­ණය කරනු ලබයි ද? එය අපූරු ද්වන්ද­යක් බව ඇත්ත ය. එහෙත් සත්‍යය බිහි වන්නේ එවැනි ද්වන්ද­යන් තුළින්ම ද? එවැනි පසු­බි­මක මැක්ස්ගේ ඉර­ණම කුමක් ද?

කතු­ව­රයා මෙසේ අසයි.

ඉන්දි­යානු නිද­හස් සටන් ඉති­හා­සයේ මහා වීර මහත්මා ගාන්ධි....කුමක් වී ද ඔහුගේ අව­සාන ඉර­ණම? තවද කාලය විසින් වීර­ත්වය වෙනස් නොක­රන්නේ ද? ජර්ම­නිය යැයි මහ හඬ නගා ජර්මා­නු­වන් උන්මා­ද­යට පත් කළ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ඉර­ණම....එය එසේ අව­සන් වෙතැයි ඔහු­වත් සිතු­වාද? සෝවි­යට් ශක්ති­යත් සමඟ උඩට එස­වුණ ස්ටාලින්ගේ හිස කාලය විසින් අව­සා­නයේ දී බිමට නොම හැර­වු­යේද? ඉනුත් නොනැ­වතී ඇම­රි­කානු ගොපලු චිත්‍ර­පට ඔබ නරඹා ඇත්නම් ඒ සිනමා සංස්කෘ­තිය තුළ වීර ක්ලීන් ඊස්ට්වුඩ්ගේ වීර­ත්ව­යට කාලය විසින් කුමක් සිදු කරන ලද්දේ ද? අදිසි නදිය හි මැක්ස් නම් වීර­යාට සිදු වූයේ කුමක් දැයි සොයා යන මඟ දෙපස එවැනි ඵෙති­හා­සික සංසි­ද්ධීන් ද තිබේ.

ව්‍යස­නය හඳුනා ගන්න. මැක්ස් ජන­තාව හමුවේ පව­සයි. ජන­තාව මඳක් නිහ­ඬව සිට ඒ හඬ අම­තක කොට දැමුවේ ද? ව්‍යස­න­යක ලකු­ණක් හෝ නැති සංද­ර්ශ­නා­ත්මක විලා­සිතා හමුවේ මැක්ස්ගේ හඬ කුමක් ද? ජන­තාව එසේ සිතු­වාද? ව්‍යස­නය නම් මේය. ඔහු දේශ­පා­ල­න­ඥ­යන් හමුවේ පව­සයි. එහෙත් ජන­තා­ව­ගෙන් ප්‍රති­ක්ෂේප වූ මිනි­සෙකු වීර­යෙක් වන්නේ කෙසේද? ව්‍යස­නය පෙන්වා දෙන්න. මැක්ස් විපක්ෂ බල­වේග හමුවේ පව­සයි. එහෙත් ඔවුන්ට අනුව නම් තමන් බල­යට ආ කල්හි ව්‍යස­න­යට විස­ඳුම් දෙනු ඇත. සැවොම පසු­වන්නේ කාල­යත් සමඟ සූදු කෙළි­මිනි. ඔවුන්ට මේ පැවැත්ම එකම සූදූ­වක් වී ඇති සෙයකි.

කතු­ව­ර­යගේ පෙන්වා දීමට අනුව අදිසි නදිය තුන් ඈඳුතු දැක්මක් ඔබ හමුවේ තබයි. මුලින්ම ෆැන්ට­සි­යක් හෝ විකා­ර­රූපි ප්‍රකා­ශ­න­යක් හැටි­යට දකි­න්නට ඉඩ අව­ස­ර­යක් ඔබ එහි දකිනු ඇත. ඒ කතු­ව­ර­යාගේ දැක්ම ය. දෙව­නුව කතාවේ වීරයා වන මැක්ස්ගේ දැක්ම ඔබට හමු­වනු ඇත. ඒ අනුව ඔහුගේ ගනු­දෙ­නුවේ සාර්ථක අසා­ර්ථක බව ඔබ විසින් විම­ස­න්නට යෙදෙ­නවා ඇත. තෙව­නුව ඔබට හමු වන්නේ එහි දේශ­පා­ලන විග්‍ර­හය යි. එය ඔබ විසින් ම විම­සනු ලබ­නවා ඇත.

හුවාන් රුල්ෆො මෙසේ පව­සයි.

“යම් කෘති­යක් වාර ගණ­නක් කිය­වී­මට නොහැකි නම් එය එක් වරක් කිය­වී­මෙන් පලක් නැත.”

Share:

0 Comments:

Post a Comment

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235

Blog Archive