පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

Marine Drive ( ‘මැරීන් ඩ්‍රයිව්’ කෙටිකතා සංග්‍රහය)

 මැරීන් ඩ්‍රයිව්’ කෙටිකතා සංග්‍රහය

උපුටා  ගැනීම සති අග අරුණ

පාඨකයාගේ අලස නිදි සුවය බිඳීම තමයි මං අපේක්ෂා කරන්නේ

මෙවර රජත පුස්තක සම්මානය දිනු කෙටිකතා සංග්‍රහය ලියු අනුරසිරි හෙට්ටිගේ

කවියෙක්, නවකතාකරුවෙක් වූ අනුරසිරි හෙට්ටිගේ මෙරට නිර්මාණ සාහිත්‍ය තුළ වඩාත් කතාබහට ලක්වනුයේ කෙටිකතාකරුවෙක් ලෙසිනි. ඒ බවට දෙස් දෙනුයේ 2016 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී ඔහුගේ ‘දිමියා’ කෙටිකතා සංග්‍රහය හොඳම කෙටිකතාව සඳහා වූ සම්මානයට හිමිකම් කීමෙනි. එමෙන්ම මෙවර රජත පුස්තක සම්මාන උළෙලේදී හොඳම කෙටිකතාවට හිමිවන්නා වූ සම්මානය හිමිවූයේ ඔහුගේ ‘මැරීන් ඩ්රයිව්’ කෙටිකතා සංග්‍රහට ය. මේ ඒ නිමිත්තෙන් කළ සංවාදයයි.

ඔබගේ මුල් නිර්මාණවලදී ඔබ ජීවත්වූ පරිසරය කෙරෙහි වඩාත් නැඹුරුව සිටි බව පෙනුණා. මේ නිර්මාණ සංග්‍රහයේදි එය බලපෑම් සහගත වුණාද?

ලෝක මට්ටමින් ගත්තත් බොහෝ ලේඛකයන් සිය අතීතය අවලෝකනය කරද්දී, තමාගේ නිර්මාණාත්මය අවදි කෙරුණේ, තමන් බාල කාලයේ සිට අත්විඳි පුද්ගලික අත්දැකීම් ඇසුරෙන් බව, කියා තිබෙනවා.

එහෙම පෙලඹීමක් මටත් නැත්තෙම නැහැ තමයි. එත් මං මගේ ඉතිහාසගත පුද්ගලිකත්වයෙන් ටිකක් දුරස්වයි නිර්මාණකරණයේ යෙදෙන්නෙ. ‘කොළඹ ළමයි’ සහ ‘කළුවරයි පුරහඳ’ හැරුණු කොට අනෙකුත් නිර්මාණ සියල්ල කොළඹින් පිටතයි මං ස්ථාන ගත කළේ. ඒ බව මගේ නිර්මාණ ව්‍යාපාරය ඔබට තහවුරු කරාවි. ඒකට විශේෂ හේතුවක් තියෙනව. මං අත්දැකීම් රචනා කරන්නෙක් නොවෙයි, අත්දැකීම් ප්‍රබන්ධ කරන්නෙක්. එනිසා පුද්ගලික දැනීම් සහ රිදීම් මගේ නිර්මාණ දිවියට කරන බලපෑම අවමයි කියායි මං හිතන්නෙ. විශේෂයෙන්ම කෙටිකතා නිර්මාණයේදී මගේ නිර්මාණ ආතතිය ක්‍රියාත්මක වන්නේ පරිකල්පනය ඔස්සේ. මා ජීවත්වන පරිසරය ඍජුව එහි කාරක භූමිකාවක් දරන්නෙ නැහැ. ‘මැරීන් ඩ්‍රයිව්’ කෙටිකතා සංග්‍රහයේ තියෙන්නෙ පුද්ගලික සංඥානනයන් ඇසුරෙන් උපත ලබා, පරිකල්පිත අවකාශයක බලවත් වූ ප්‍රබන්ධ. මම නැවතත් කියනවා, ඒවා ප්‍රබන්ධ. කතා නෙමෙයි.

වර්තමාන සමාජයේ ප්‍රශ්න කතා කරන්න කෙටිකතාව ප්‍රමාණවත්ද?

මං හිතන්නෙ අප ජීවත් වන මේ සමාජයිය මොහොත කෙටිකතා නිර්මාණයට මනා දිරියක්. මිනිසුන් තමන් අවට සිදුවන සංකිර්ණ සමාජ, ආර්ථික, දේශපාලන මොහොත තුළ වික්ෂිප්තව හැසිරෙනවා විනා, ස්වීය චින්තනයක් ප්‍රකාරව, සමාජය තියුණු නිරීක්ෂණයකට ලක් කරන බවක් පේන්නෙ නැහැ. ඔවුන් වඩ වඩාත් සිය කුටුම්භය තුළ සිරවෙමින් තමතමන්ගේ කුඩා ලෝක ගොඩනගාගෙන ඉන්නෙ. එහෙම සිටිමින්ම ඔවුන් තමන්ගේ ආධ්‍යාත්මය, බාහිර සමාජ බලවේගයන්ට ගොදුරු වනු ඉවසනවා.

ඔවුන් අන් යුගවල සිටි මිනිසුන්ට වඩා වර්ණවත්, ප්‍රභාවත්, සශ්‍රීකවත්. එහෙත් ආත්මීය වශයෙන් ඔවුන් අන්ධකාර දෝනාවක සිරකාරයන්ව සිටින්නෙ. ඔවුන් තමන් විසින්ම උත්කර්ෂයට නැංවීම නිසා ආයතනික තත්ත්වයකට පත්වූ ආගමික අධිකාරීත්වයට බයයි. තමන්ම ඉහළට එසැවූ දේශපාලනයට බයයි. තමන්ගේ පරිභෝජනය නිසා වැජඹෙන මාධ්‍යට යටත්. පාරේ යන එන හැසිරෙන විටදි අනෙකා ගැන කිසිදු තැකීමක් නැහැ.

අපි අතිතකාමීන්ව හැසිරෙනු වෙනුවට මේ සමාජයීය මොහොත පාඨකයාගේ හෘදය අභ්‍යන්තරයේ පුපුරුවා හැරීමටයි උත්සාහ ගත යුත්තෙ. ඒ සඳහා ඕනතරම් නිර්මාණ ඉංගිති මේ සමාජයේ තියෙනව. ටිකක් උනන්දුවෙන් තමන් අවට කෙරෙහි අවධානයක් යොමු කිරීම පමණයි ලේඛකයා විසින් කළ යුත්තෙ.

කෙටිකතාව තුළ කතාවක් තිබිය යුතුයි යන මතය ඔබ මේ නිර්මාණ සංග්‍රහයේදී බිඳ දමා ඇති බවක් පෙනෙනවා. ඇයි ඔබ එවැනි පෙලඹීමකට යොමු වුණේ?

කෙටිකතාව කියන සාහිත්‍ය ප්‍රවර්ගය ලංකාවේ ස්ථාන ගතවෙන්නෙ, ‘කතන්දරය’ කියන ආස්වාදනීය අත්දැකීමට සමීපව. ලෝක මට්ටමින් ගත්තත් කෙටිකතාව, මහා සාහිත්‍යය ලෙස සැලකූ නවකතාවෙන් සාකල්‍යයෙන්ම වෙනස් බව පෙන්වමින්, එහෙත් එහි පරිච්ඡේදයක් ලෙස වැඩුණක්. එනිසා ‘කතාව’ කෙටිකතාවේ දෘශ්‍ය රූපය විදිහට තමයි නිරූපණය වුණේ. පසුකාලීනව එය පත්තර පිටුවලින් පිටතට පැනල, ස්වාධීන නිර්මාණ අනන්‍යතාවක් ගොඩනගාගනිද්දී, නව සමාජය විසින් උත්පාද කළ, නව මිනිසා වටා කේන්ද්‍රගත උණා. එමගින් කෙටිකතාවේ ආරම්භක ස්වරූපයේ පැහැදිලි වෙනස්කම් ඇති වුණා. දීර්ඝ කෙටි කතන්දර වෙනුවට, වඩාත් කෙටි, සංක්ෂිප්ත වූ නිර්මාණ බිහිවෙන්න ගත්තා. හෙමින්ග්වේ, බෙෂාවික් සිංගර්, ඕ. හෙන්රි වගේ ලේඛකයන් කෙටිකතාවට නව ජවයක් එන්නත් කළා.

අන්න ඒ මොහොතෙදි ‘කතාව’ කියන ප්‍රපංචය වඩාත් ලිහිල් වී සිදුවීම්, නිර්මාණ තුළ බලවත් වෙන්න පටන් ගත්තා. ලංකාවේ කෙටිකතා මාර්ගය ආරම්භ වෙන්නෙ, කතාව පාදක ලෝක ආදර්ශයන් එක්ක. කතාවක් ලෙස පවතිද්දි, කෙටිකතාවේ ප්‍රධාන අංගය වුණේ චරිත විභාගය. අපේ ආරම්භක යුග කෙටිකතා, චරිත ඇසුරු කොට මතකයේ රැඳී තියෙන්නෙ ඒ නිසයි. නමුත් සිදුවීම් තුළ චරිත හැසිරෙන නූතන කෙටිකතාවේදී, චරිත දැරුවේ ද්විතීයික භූමිකාවක්. මං වඩාත් ආශාක්ත වුණේ මෙන්න මේ සිදුවීම් පාදක ප්‍රබන්ධ ක්‍රියාවලියට. මගේ කෙටිකතාවල සිදුවීම් තමා ප්‍රධාන. චරිත, සිදුවීමේ ප්‍රබලත්වය පිණිස උපකාරවන, අනුශාංගික උපකරණයක්. එනිසා, මා අතින් කතා කීමේ කලාවට අයිති බොහෝ උපක්‍රම වෙනස්කම්වලට භාජන වුණා.

එතැනදී ඔබ පාඨකයාට යම් කොටසක් ඉතිරි කර තිබෙනවා!

ඔව්. ලේඛකයාට වගේම පාඨකයාටත්, වඩවා ගත් නුවණක් තිබිය යුතුයි කියායි මං විශ්වාස කරන්නෙ. මගේ සාහිත්‍යය, ඊට යටත්වයි බිහි වෙන්නෙ. සාහිත්‍යය, උනන්දු සහගත පඨනය කිරීමක් මිස, අලසකම දුරු කරගැනීමේ කියවීමක් නෙමෙයි. ලේඛකයා පාඨකයා කෙරෙහි විශ්වාසක් තබා, සිය ප්‍රබන්ධ කාර්යයේ නිරත විය යුතුයි. පාඨකයාට සියල්ල අවබෝධ කරවමින් ‘එකල්හි මත්ස්‍ය සමූහයා නම් මෙකල්හි බුදුපිරිසය.’ කියා කතාවේ මුල මැද අග සමෝධානයකට යාම ප්‍රබන්ධවේදයට අයිති නැහැ. වර්තමාන සාහිත්‍යය, පාඨකයාගේ සාහිත්යික අවබෝධය කෙරෙහි විශ්වාසයකින් යුතු ප්‍රබන්ධානන්දයක් ලෙස ගොඩනැංවීමයි කළ යුත්තෙ. පාඨකයාගේ උනන්දු සහගත පඨනයට බාධාවන, අනවශ්‍ය මැදිහත් වීම්වලින් කතුවරයා ඈත්ව සිටිය යුතුයි.

Share:

0 Comments:

Post a Comment

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235

Blog Archive