පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

සාහිත්‍ය මාසයේ උපන්න සාහිත්‍යකාරයෝ

සාහිත්‍ය මාසයේ  උපන්න සාහිත්‍යකාරයෝ

Sep 27, 2020  උපුටා  ගැනීම සති අග අරුණ 

සුරේඛා සමරසේන

සාහිත්‍ය මාසයේ
පරාක්‍රම කොඩිතුවක්කු

සාහිත්‍යය සහ සැප්තැම්බර් යනු දෙකක් නොව එකකි. ඒ සාහිත්‍ය සම්මන්ත්‍රණ, සාහිත්‍ය සම්මාන, සාහිත්‍ය සල්පිල්, සාහිත්‍ය වැඩමුළු ආදී නොවක් සාහිත්‍ය උත්සවවලින් සමන්විත වූ මාසය සැප්තැම්බර් වන නිසාය. මේ අතර සාහිත්‍ය සඳහා වූ ‘යුනෙස්කෝ දිනය‘ වන්නේ ද සැප්තැම්බර් 8 වැනිදා ය. මේ අතර සාහිත්‍යය සිය ජීවිතය ම කොටගත්, දෙස් විදෙස් සාහිත්‍යකරුවන් කිහිප දෙනකු සිය උපන්දිනය සමරන්නේ ද ‘සාහිත්‍ය මාසයේ‘ ම වීම විශේෂත්වයකි. එය ඔවුන්ට මෙන් ම ඔවුන්ගේ පාඨකයින්ට ද ‘ආහ්ලාදය‘ දනවනවාට කිසිම සැකයක් නැත.

චැටර්ලි භාර්යාවගේ පෙම්වතා ලියු ‘ඩී.එච්.ලෝරන්ස්’

ඊ.එම්. ෆෝස්ටර්ට අනුව, 19 වැනි ශතවර්ෂයේ ජීවත් වූ නවකතාකරුවන්ගේ පරම්පරාවේ ‘පරිකල්පන විශිෂ්ටයා‘ වන්නේ, ඩී.එච්.ලෝරන්ස් ය. ජීවිතයේ වැඩි කාලයක් ඉතාලියේ සහ ප්‍රංශයේ ජීවත් වූ ඔහු එංගලන්තයේදී උපත ලබන්නේ, 1885 සැප්තැම්බර් 11 වැනිදාවක ය..

කුලවත් කාන්තාවක සහ උයන්පල්ලෙකු අතර ඇති වන ලිංගික සම්බන්ධය අරබයා , ඩී.එච්.ලෝරන්ස් විසින් 1928 දී ප්‍රකාශයට පත්කරන ලද ‘චැටර්ලි ආර්යාවගේ පෙම්වතා‘ නමැති කෘතිය, ඔහු විසින් සම්පාදනය කරන ලද ‘ආන්දෝලනාත්මක ම‘ කෘතිය යි. මෙය එකල ප්‍රංශයේ සහ ඉතාලියේ ‘උණු කැවුම්‘ මෙන් විකිණෙන්නට පටන්ගෙන ඇති අතර භාෂා ගණනාවකට පරිවර්තනය වෙමින් ලොව පුරා ප්‍රචලිත වන්නට ද පටන්ගත්තේ ය. එහෙත් ලෝරන්ස් උපන් රටේ, එනම් එංගලන්තයේ දී ද, ජපානයේ දී සහ ඉන්දියාවේ දී ද මෙම කෘතියට එරෙහිව නඩු පැවරිණි.

කැනඩාවේ දී සහ ඇමරිකා එක්සත් ජනපදයේ දී මෙම කෘතිය මුද්‍රණය, අලෙවිය සහ ළඟ තබාගැනීම මුළුමනින් ම තහනම් කිරීමට එම රාජ්‍යයයන් විසින් පියවර ගෙන තිබිණි. එමෙන් ම ඔස්ට්‍රේලියාවේ ‘මෙම කෘතියට‘ එරෙහි දීර්ඝ නඩු විභාගයක් පැවතුණු අතර එහි අවසානයේදී ‘චැටර්ලි ආර්යාවගේ පෙම්වතා‘ ඔස්ට්‍රේලියාවේ ද ‘තහනම් කෘතියක්‘ බවට පත් විය. මේ ආකාරයට සදාචාර සීමා පැනවෙද්දීත් ඔහු දිගින් දිගට ම එවැනි තේමාවන් ම, විශේෂයෙන් ‘ස්ත්‍රියගේ චිත්ත සන්තානය සහ ඇගේ ලිංගිකත්වය‘ ම තේමා කරගනිමින් කෘති ගණනාවක් සම්පාදනය කළේ ය. ඔහුගේ ග්‍රන්ථාවලියෙහි එන The Rainbow, The Lost Girl, Women in Love වැනි කෘති ඊට නිදසුන් ය. මේ කෘතීන් ද ඇතුළත්ව ප්‍රබන්ධ කතා 10 ක් පමණ ලියා පළ කළ ලෝරන්ස්ගේ ඇතැම් කෘතිවලින්, ඔහු පෙරදිග ගූඪවාදය කෙරෙහිද ඉමහත් අභිරුචියක් තිබු අයකු බව හෙළිවන බව මාර්ටින් වික්‍රමසිංහ පවසයි. ‘චැටර්ලි ආර්යාව‘ යනු, ලෝරන්ස් සමග සම්බන්ධයක් තිබුණු, එවකට London School of Economics හි අධ්‍යයන කවයක සිටි දීප්තිමත් කාන්තාවකි.

නව කවියට පෙරමුණ ගත් ‘ටී.එස්. එලියට්’

ටී.එස්. එලියට් බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත ඇමරිකානු කවියෙකි. 20 වැනි සියවසේ අග්‍රගණ්‍යම කවියකු වශයෙන් ලෝක පූජිත වූ ඔහු උපන්නේ ද සාහිත්‍ය වෙනුවෙන් ම වෙන් වූ සැප්තැම්බර් මාසයේ ය. නිශ්චිතව ම කියන්නේ නම්, 1888 සැප්තැම්බර් 26 වැනිදා ය.

වෘත්තීයෙන් බැංකුකරුවකු වූ ඔහු ඇමරිකාවේ ධනවත් පවුලක උපන්නෙකි. සමකාලීන ඇමරිකාවේ ජනාධිපති ධුරය දැරූ ජනාධිපතිවරුන් තිදෙනකු ම ඔහුගේ නෑයින් වූ නමුත්, පසුකාලයේ, ලෝකයේ තැන් තැන්වල යමින් සංචාරක ජීවිතයක් ගතකිරීම වෙනුවෙන් ඔහු ඇමරිකානු පුරවැසිභාවය මෙන් ම ‘බැංකු රැකියාව‘ ද අත්හැරියේ ය.

එලියට්, එතෙක් ‘රෝමාන්තිකභාවයෙහි‘ සිරවී තිබුණු ‘කවිය‘ ඉන් මුදාගෙන ‘නව කවිය‘ වෙනුවෙන් පෙරමුණ ගත් පුරෝගාමියා හැටියට ද සැලකෙයි. විශේෂයෙන් ම ‘කවිය‘ සඳහා දාර්ශනික සංකල්පනා තේමාකොට ගැනීම, රෝමාන්තික කාව්‍ය තේමාවන් වෙනුවට යථාර්ථයේ රළු තේමාවන් තෝරාගැනීම ඔහුගේ විශේෂ ලක්ෂණයක් විය.

‘එලියට් සහ නව කවිය‘ නමින් කෘතියක් සම්පාදනය කරන ආරියවංශ රණවීරට අනුව, එලියට් ගේ ‘නව කවිය‘ට බෝදලෙයා, මැලාර්මේ, ලැෆෝර්ජි, කෝබියරේ ආදී ප්‍රංශ කවීන් ද ඩාන්ටේ ගේ දාර්ශනික ඉගැන්වීම් ද බලපා ඇත.

1948 වර්ෂයේ දී සාහිත්‍ය සඳහා වූ නොබෙල් සම්මානයෙන් ද පුද ලද එලියට් ‘නව කවිය‘ සම්ප්‍රදායක් බවට පත් කිරීමේ අරමුණින්, The Scared Wood : Essays on Poetry and Criticism, The Use of Poetry and The Use of Criticism, The Three Voices of Poetry, On Poetry and Poets වැනි කෘතීන් ද ලියා පළ කළේය. මේවා පසුකාලීනව කාව්‍යකරණයේ එළඹුණු බොහෝ කවීන් ට වටිනා මාර්ගෝපදේශ විය. එහෙයින් එලියට් ‘කාව්‍ය සාහිත්‍යය‘ විෂයෙහි ‘නව දැනුමක්‘ නිෂ්පාදනය කළ ප්‍රාමාණික විශිෂ්ටයකු ලෙස ද සැලකිය හැකිය.

අබිරහස් කතා ලොවේ අග රැජිනිය

‘ඇගතා ක්‍රිස්ටි’

‘අබිරහස් කතා ලොවේ අග රැජිනිය‘ වශයෙන් සැලකෙන ‘ඇගතා ක්‍රිස්ටි‘ ද සාහිත්‍ය - සැප්තැම්බරයේ උපන්නියකි. ඒ අනුව ඇගේ උපන්දිනය වන්නේ 1890 සැප්තැම්බර් 15 වැනිදා ය.

Murder on the Orient Express, The ABC Murders, The Murder of Roger Ackroyd වැනි ජනකාන්ත ‘මාරක කතා‘ වල අයිතිකාරිය උපන්නේ එංගලන්තයේ ය. කිසි දිනෙක පාසල් නොගිය ඇය පසුකලෙක භාෂා 103 කට පමණ පරිවර්තනය වූ කෘතීන් කිහිපයක් ම සම්පාදනය කළ අතර ලොව පුරා ම විකිණුණු ඇගේ කෘතිවල පිටපත් ගණන ගණන් කළ යුත්තේ ‘බිලියන‘ වලිනි. ඇය කියන හැටියට, ඇය ලිවීමට සහ කියවීමට ඉගෙනගෙන ඇත්තේ, ඇගේ පියා විසින් නිවසට ගෙන්වා දෙන ලද ‘ගුරුවරියක‘ගෙනි.

මේ ආකාරයට ලිවීම සහ කියවීම හුරුවූ ඇගතා කුඩා කල සිටම ‘කතා‘ කියවූවා ය. නව යොවුන් වියේ දී සිය ඥාති නිවසක සිදු වූ මිනීමැරුමක් පිළිබඳ ‘ප්‍රබන්ධයක්‘ ගෙතූ ඇය පසුව ඒ හුරුවෙන් දිගින් දිගට ම ‘මිනීමැරුම් තේමාවේ‘ පොත් ම ලිව්වාය.

ලොව පුරා බිලියන ගණනින් අලෙවි වූ ‘කුතුහලයෙන් අනූන‘ මෙම කෘති ලිවීමේ දී ඇය අනුගමනය කළ ‘අපූරු පුරුද්දක්‘ ගැන ද ඇය වරක් ‘සම්මුඛ සාකච්ඡාවකදී‘ හෙළිදරව් කර තිබුණාය.

‘‘මට ලියන්න ඕන වුණාම, මම කරන්නෙ ඇපල් තීරු කිහිපයක් කපාගෙන ඒවා කමින්, උණුවතුර නාන එක... එතකොට මගේ ඔළුව ඇතුළෙ කතාව ගෙතෙනවා... ඒවා ජවනිකාවෙන් ජවනිකාව, පරිච්ඡේදයෙන් පරිච්ඡේදය මගේ ඔළුවේ සටහන් වෙනවා... ඊට පස්සේ තෙත තුවාය පිටින් ම මම ඒවා ‘ලියන කොළ‘ වලට ගන්නවා...‘‘ ඇගතා කියන්නී ය.

මේ ආකාරයට උණුවතුර නාමින්, ඇපල් කමින්, සිය ජීවිතය ‘අබිරහස් කතා‘ ලිවීමට ම කැප කළ ඇගේ මරණය ද ‘අබිරහසක් ‘ම වීම පුදුමාකාරය. ජීවිතයේ අවසාන කාලයේ එනම් වයස අවුරුදු 80 ත් 85 ත් අතර කාලයේ ඇය සිටියේ ‘කල්පනා විරහිත‘ තත්ත්වයක ය. දින 11 ක් තිස්සේ අතුරුදන් ව සිටි ඇය පසුව සොයාගනු ලැබුවේ, ‘මියගොස් සිටියදී‘ ය.

කතන්දර ගෙදර රෝල් ඩාල්

ළමා ලෝකයේ කතන්දර රජු වශයෙන් සැලකෙන ‘රෝල් ඩාල්‘ ද සැප්තැම්බරයේ උපන්නෙකි. ඒ 1916 දී ය. සාහිත්‍යකරණයට පිවිසීමට කලින්, හමුදා නිලධාරියකු වූ ඔහු ‘ළමා කතා‘ ලිවීමට පෙලඹෙන්නේ ඔහුගේ ම දුවා දරුවන් සඳහා ‘අලුත් කතා ගෙතීම‘ට ඇබ්බැහි වීමත් සමග ය.

‘‘මම හැමවෙලේම මගේ දරුවන්ට කියලා දුන්නේ, මං ම ගොතපු කතන්දර... මට හිතුණා, ඒ කතන්දර ලෝකෙ ඉන්න අනෙක් ළමයින්ටත් අහන්න සලස්වන්න... ඒකෙ ප්‍රතිඵලයක් හැටියට මම රස්සාවෙනුත් අයින් වෙලා, පූර්ණ කාලීන කතන්දරකාරයෙක් වුණා... මගේ ගෙවත්තෙම කොනක ‘වෙනම ගෙයක්‘ හදාගෙන ලියන්න පටන්ගත්තා... මගේ ළමයින්ටවත් ඒ ගෙදරට ඇතුළුවෙන්න දුන්නේ නෑ... මොකද මට ඕන වුණේ, නිස්කාන්සුවේ ලියන්න... පස්සෙ කාලෙක මගේ ළමයිනුත් තේරුම්ගත්තා, මම එයාලත්, ලොව පුරා විසිරී ඉන්න අනෙක් ළමයිනුත් වෙනුවෙන් ‘දිගටම‘ ලියමින් ඉන්න බව... හැබැයි මම හැම හවසකම, මගේ ළමයින් එක්ක ‘මගේ අලුත්ම කතන්දර‘ බෙදාගත්තා... කතාව ලියාගෙන ලියාගෙන ඉදිරියටම යද්දි, මට මගේ දරුවන්ගේ ප්‍රතිචාර ගොඩක් වැදගත් වුණා... ‘‘ රෝල් ඩාල් කියයි.

රෝල් ඩාල් කියන ‘කතන්දර ගෙදර‘ ගැන ද ‘කතන්දර‘ බොහෝය. විටෙක ඔහු එය ‘කහපාටින්‘ පාට කරන අතර තවත් විටෙක එය ‘නිල්පාට‘ කරයි. ඉන්පසුව ‘සුදුපාට‘ ගා ටික දවසක් තිබෙන්නට හැර නැවත ‘තැඹිලි පාට‘ ගායි. මේ ආකාරයට ඔහු මේ හැම වෙනසක් ම කළේ, ‘අලුත් යමක්‘ ලියන ‘උනන්දුව‘ ඇතිවයි. මේ ආකාරයට රෝල් ඩාල්ගේ ‘කතන්දර ගෙදර‘ පාට නිතර නිතර වෙනස් වුවත්, ඔහුගේ ලියන මේසය නම් කිසි විටෙක වෙනස් නොවූ බව කියැවෙයි. එය ‘කොළපාට බිලියඩ් මේස කෑල්ලකින්‘ සාදාගන්නා ලද්දකි. එමෙන් ම ඒ ‘කතන්දර ගෙදර‘ දොරේ ‘හැඬලය‘ සකස් කර ඇත්තේ, සැත්කමකදී ඉවත් කරගත් රෝල් ඩාල්ගේ ම ‘උකුළු ඇටයක‘ කොටසකිනි.

මේ කියන කතන්දර ගෙදර සිට රෝල් ඩාල් විසින් ලියන ලද James and the Giant Peach, Charlie and the Chocolate Factory, Fantastic Mr. Fox Danny වැනි කෘතීන්, ඔහු බලාපොරොත්තු වූ පරිදිම ලොව පුරා වෙසෙන දරු දැරියන් විසින් ඉමහත් ආදරයෙන් වැලඳගත්තේ ය.

සැප්තැම්බරයේ උපන්

දේශීය සාහිත්‍යකරුවන්

සාහිත්‍ය සැප්තැම්බරයේ උපන් විදේශීය සාහිත්‍යකරුවන් මෙන්ම සැප්තැම්බරයේ උපන් අපේ රටේ සාහිත්‍යකරු​ෙව​ා්ද වෙති. සිංහල නවකතාව, විෂය පථයෙන් ද, දර්ශනයෙන් ද, ආකෘතියෙන් ද නවමු මානයකට කැඳවාගෙන යාමට විශාල මෙහෙවරක් කළ සයිමන් නවගත්තේගම එහි ලා ප්‍රමුඛයෙකි.

සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා, සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා, සංසාරාරණ්‍යය අසබඩ, සුද්දිලාගේ කතාව, සාපේක්ෂණී, ක්ෂීර සාගරය කැලැඹිණ, ස්වර්ණ වන්නියේ වල්ලි අම්මලා, බාවනාව වැනි නවකතා - කෙටිකතා කෘතීන් ද, ඒවා අනුව ම ගිය ‘චිත්‍රපට තිර පිටපත්‘ ද, ඊට අමතර ව සුබ සහ යස, පුස්ලෝඩං වැනි නාට්‍ය පිටපත් ද රැසකට ද හිමිකම් කියන සයිමන්, සිංහල සාහිත්‍යයේ දැවැන්තයෙකි.

ඔහු ඉපදී ඇත්තේ, 1940 සැප්තැම්බර් 15 වැනිදා ය.

මේ අතර නූතන සිංහල කවියේ දැවැන්තයකු වන, පරාක්‍රම කොඩිතුවක්කු ද ඉපදී ඇත්තේ සාහිත්‍ය මාසයේ, එනම් සැප්තැම්බරයේ ය.

පොඩි මල්ලියේ, රශ්මි, ලොවිකහට, දිවමන් ගජමන්, දෙවියන්ගේ මිනිසුන්, ජෝති රශ්මි රාත්‍රි වැනි කාව්‍ය කෘතීන් ගණනාවක හිමිකරුවා වන ඔහු සිංහල කාව්‍යාවලියේ සුවිශේෂී කඩඉමක් වශයෙන් ද සැලකිය හැකි ය. ඔහුගේ උපන්දිනය යෙදී ඇත්තේ, සැප්තැම්බර් 12 වැනිදා ට ය.

සිංහල කවියේ මෙන් ම ගීතයේ ද සුවිශේෂී වන ‘කිවිඳියන් දෙපලක්‘ ද ‘සාහිත්‍ය- සැප්තැම්බරයේ‘ උපන්දිනය සමරන බව දැනගන්නට ලැබිණි. ඒ යමුනා මාලිනී පෙරේරා සහ දයා ද අල්විස් ය. යමුනා මාලිනීගේ උපන්දිනය සැප්තැම්බර් 5 වැනිදා ය. දයා ද අල්විස් ගේ උපන්දිනය යෙදී ඇත්තේ, සැප්තැම්බර් 30 වැනිදා ට ය.

මේ අතර සිංහල කවිය වෙනුවෙන්, නිර්මාණාත්මක පාර්ශ්වයෙන් පමණක් නොව, අධ්‍යයන - විචාරක පාර්ශ්වයෙන් ද විශාල කාර්යභාරයක් කරමින් සිටින මහාචාර්ය විමල් දිසානායකගේ උපන්දිනය යෙදී ඇත්තේ, සැප්තැම්බර් 6 වැනිදාට ය.

විශ්ව සාහිත්‍යය මේ කොදෙව්වට කැඳවීම අරබයා මහා කාර්යයභාරයක් කළ සහ කරන අපේ පරිවර්තකයන් දෙපළක් ද සැප්තැම්බරයේ උපන්දින සමරති. ඉන් එක් අයකු වන්නේ, ඩබ්. ඒ. අබේසිංහ ය. අනෙක් කෙනා වන්නේ චූලානන්ද සමරනායක ය. පිළිවෙළින් ඔවුන් දෙදෙනාගේ උපන්දින යෙදෙන්නේ, සැප්තැම්බර් 13 වැනිදාට, සහ 14 වැනිදාට ය.

මේ අතර සිංහල නවකතා සම්ප්‍රදායේ නුතන අවධිය තුළ කැපීපෙනෙන ‘වැඩ කොටසක්‘ කරන කපිල කුමාර කාලිංග උපන්දිනය සමරන්නේ සැප්තැම්බර් 30 වැනිදා ය. පසුගිය අවුරුදු කිහිපයක් තිස්සේ, ‘ජනප්‍රිය සිංහල නවකතා‘ ලියන මොහාන් රාජ් මඩවල උපන්දිනය සමරන්නේ සැප්තැම්බර් 28 වැනිදා ය.

සුරේඛා සමරසේන

Share:

0 Comments:

Post a Comment

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235

Blog Archive