කාංචනා අමිලානි ගේ ‘ගුහා සටන’මායා යථාර්ථවාදයේ ශ්‍රී ලාංකේය පිවිසුමක්
මායා යථාර්ථවාදය නැතහොත් ‘මැජික් රියලිසම්’ ආසියාවට එන්නේ ලතින් ඇමරිකානු සාහිත්‍යය ලෝකය ආක්‍රමණය කිරීමත් සමඟ බව මෑතකාලීන මතයයි. එහෙත් මායා යථාර්ථවාදය අපට හමුවන මුල් ම අවස්ථාව අප සතු මහා සාහිත්‍යමය නිධානයක් වන ජාතක පොත බව බොහෝ දෙනා අමතක කරති. එහෙත් ජාතක කතා වයස් බේදයකින් තොරව රස විඳිති. පුදුම වෙති. එහි සැඟව ඇති සාහිත්‍යමය රසය, ව්‍යංගාර්ථ, රසෝද්දීපන උපක්‍රම යළි යළිත් විඳිති. එහෙත් මායා යථාර්ථවාදය මෑතකාලීනව ස්වකීය නිර්මාණවලට දායක කර ගැනීමට සමත් වූ හෝ කටයුතු කළ නවකතාකරුවන් අපට හමුවන්නේ නැති තරම්ය. අප ගීත සාහිත්‍යය මෙන්ම නවකතා සාහිත්‍යයද යථාර්ථවාදයම පදනම් කර ගනිමින් ගොඩනැඟෙමින්, ඒ මතම යැපෙමින් තිබේ. එහිලා පැවසිය යුතු තරමේ දෝෂයක්ද නැත. යථාර්ථවාදී නිර්මාණ මනැස පෑදීමට සමත්ය. එහෙත් මායා යාථාර්තවාදය භාවිත කරමින් අති දක්ෂ නිර්මාණකරුවකුට යථාර්ථවාදයද ඉන් එපිටද ජය ගත හැකිය. මායා යථාර්ථවාදයේ විශේෂත්වය වන්නේ එහි ඇති අසීමිත බවයි.
කාංචනා අමිලානිගේ කුලුඳුල් නවකතාව වන ‘ගුහා සටන’ කියවන පාඨකයකු එහි අභ්‍යන්තරයේ ලේඛකයා ඉතා සියුම්ව වියා ඇති දැලෙහි පැටලෙන්නේ නොදැනුවත්වමය. ගුහා සටන සිදුවන්නේ දිමියන් දෙපිරිසක් අතර බව ලේඛිකාව තම වියමන ආරම්භයේදීම පවසන්නීය. එහෙත් මේ දිමියන් මවන්නේ මිනිස් චරිත ය. ක්‍රියාකාරකම් මිනිස් ය. ඇගවුම් මිනිස් ය. ප්‍රතිචාර මිනිස් ය. එහෙත් චරිත දිමියන් ය. ඊට අමතරව කාංචනා මේ ගුහා සටන වටා මුළු ලෝකය ම පටලවන්නීය. ඇය පවසන අන්දමට මේ සටන සිදුවන්නේ ඉන්දියාවේ චීන දේශසීමා මායිමේ පිහිටා ඇති ‘ලඩක්‘ ප්‍රදේශයේ ය. එහෙත් මලර් මනු සං අසලට ඇද වැටුණු අවස්ථාවේ ‘උඹ කොයි පැත්තෙද?‘ ඇයි ඇසූ විට මලර් පිළිතුරු දෙන්නේ ‘සබරගමු පැත්තේ‘ යනුවෙනි. ඒ අනුව ලේඛිකාව තම වියමන ඉන්දියාවේ ලඩක්හි සිට අපේ සබරගමුව දක්වා ගොතන්නීය. ඉතින් මේ මායා යථාර්ථවාදයේ උපරිමය නොවේද?
මලර් සටන් බිමට ඇද වැටෙන්නේ ජපං පුටුවද සමඟිනි. මීනාක්ෂි එහි ඇද වැටෙන්නේ තමා හිස පීරමින් සිටි පනාවද සමඟිනි. අතුරුදන් වූවන් වෙනුවෙන් සටන් වදින ආච්චී බොහෝ පැතිකඩ ඔස්සේ පාඨකයා ගෙන යන්නීය. සටන් බිමේ සිටින සෙබළුන්, ජෙනරාල්වරුන් බොහෝ යථාර්ථවාදී චරිත අප වෙත ගෙන එන්නේ මායා දවටනයේ එතූ අමතර රසයක්ද සමඟිනි. පොත අතට ගත්විට බිම තබන්නට නොසිතෙන්නේ ඒ නිසාය.
ලේඛිකාවගේ අනෙක් සුවිශේෂය වන්නේ ඇය භාවිත කර ඇති චරිතවලට ඇය විසින් ලබා දී ඇති නම්ය. ඒ නම් අතර සිංහල, දෙමළ, හින්දු, මැලේ, කන්නඩ මෙන්ම චීන සම්භවයන් හඳුනා ගත හැකිය. ඒ කිසිවකදී අප ලේඛකයා ප්‍රශ්න නොකරන්නේ මායා යථාර්ථවාදය සමඟ ආරම්භයේ සිටම පාඨකයා පැටලෙන බැවිනි.
කාංචනා චරිත මවන අන්දම අපූරුය. ඒ චරිත බෙහෙවින් සජීවීය. ඒවායේ කතාබහ අපට සමීපය. ඒ චරිතවල හැසිරීම් සහ අපගේ ඇති ඇතැම් සමානකම් අප මුවට සිනා නැංවීමට සමත්ය. ඒ අනුව ඇතැම්විට කාංචනාගේ පොත කියවන අපි අපිට ම සිනාසෙන්නෙමු. එය මේ සියල්ල ලියා ඇත්තේ කිසිදු ආයාසයකින් තොරව බව පොත කියවන පාඨකයාට වැටහෙන්නේ එය කියවීමටද ආයාසයක් නොදැරිය යුතු නිසාය. අමතරව පොතේ තැනින්තැන නිරූපණය කර ඇති ‘දිමි‘ චරිතවල චිත්‍ර යථාර්ථය මත සිටි පාඨකයා යළිත් මායාව වෙත ගෙන යන්නේය. එහෙත් යළි කතාවට ප්‍රවිෂ්ට වන පාඨකයා කතාව තුළින් යළි මායාවෙන් යථාර්ථය වෙත යන්නේය. ලේඛිකාව මේ සියල්ල පාඨකයා මතම තබන්නේ ඇය ඒ කිසිවකට මැදිහත් නොවෙමිනි. රසවින්දනය තම තම නැණ පමණින්ය. කෙනෙක්ට මෙය විකාරයක් විය හැකිය. තවත් අයකුට සමාජ අභ්‍යන්තරයේ සැඟවුණු ඛේදවාචකයන් ප්‍රකාශ කරන ව්‍යංගාර්ථ සමුච්චයක් විය හැකිය. තවත් අයෙකුට දිමියන් මිනිස් චරිතවලට ආරූඪ කළ සරල රසවින්දනයක් ලබා දෙන පොතක් විය හැකිය. ඒ ඕනෑම තර්කයකට ඉඩ දෙමින් ලේඛිකාව මායා යථාර්ථවාදයෙන් හොඳ හැටි ප්‍රයෝජන ගන්නීය.
සැබවින්ම සිංහල නවකතා සාහිත්‍යයේ ‘ගුහා සටන‘ වැනි පොත් දුර්ලභය. එකම රාමුවක් වටා කැරකැවෙන නිර්මාණ අතර මෙවැනි නිර්මාණ පාඨකයා පහසුවෙන් ඇද බැඳගැනීමට සමත්ය. මායා යථාර්තවාදය මත ලියැවුණු ජාතක කතා පන්සිය පනහකි. ඒ මතම පදනම් වූ අරාබි නිසොල්ලාසය හෙවත් එක් දහස් එක රැය ගැන අමුතුවෙන් කිව යුතු නැත. එබැවින් තම නවකතා කලාවේ පළමු පියවර මායා යථාර්ථවාදය මත තැබූ කාංචානා තවත් ශෙහෙර්සාද් කෙනෙකු නොවන්නේද?
0 Comments:
Post a Comment