අධර්මය පරාජය වුයේ ද?
ග්‍රන්ථය - යොද්ධ කල්කි විෂ්ණු මුර්තිය
පරිවර්තනය - පාලිත ජයකොඩි
මියුසස් ප්රකාශනයකි
මිල රු. 1250 (පිටු 576)
වර්‍ෂ 2020ක් වූ අගෝස්තු මස 23 වැනි ඉරිදා
“ඔබට ඕනෙම තැනක යන්න පුළුවන් කල්කි. ඒත් අමතක කරන්න එපා ඔබ කොහෙන්ද ආවෙ. කොහොමද ඉන්න තැනට ආවේ කියන එක. මොකද අපි පුරුදු වෙලා ඉන්නවා තැනකට ආවට පස්සෙ හිටියෙ කවුරු එක්කද, හිටියෙ කොතන ද කියන එක අමතක කරල දාන්න.” තවද “විපත්තියක් සිද්ද වෙන්නම ඕනෙ අපගේ හොඳ දේවල් කොපමණක් නම් අප අතින් මඟ ඇරිල ගිහින් තියෙනවද කියල දැනගන්න.”
ධර්මයොද්ධ කල්කි විෂ්ණු මුර්තිය මැයෙන් පාලිත ජයකොඩි අතින් පරිවර්තනය කෙරෙන ප්‍රබන්ධයේ මුල් ලේඛකයා වන්නේ කෙවින් මිස්සල් ය.
කල්කි යනු විෂ්ණුගේ දස අවතාරවලින් එකකි. පුරාණයේ සිටම ඉන්දියානු සාහිත්‍යයේ පවතින ප්‍රකට චරිතයකි.
කෙසේ වුව උක්ත ප්‍රබන්ධය ලියැවෙන්නේ ඊට එකතු කළ සමකාලීන දේශපාලන අරුත් ගැන්වීමක් සමඟ ය. එසේ ගත් කල්හි කල්කි සිටින්නේ නව සමාජ දේශපාලන කියවීමක් තුළ ය.
පොදුවේ ගත් කල ඉන්දියානු වීර කාව්‍යයන්හි එන අන්දමට දෙවියාව පිහිටුවන්නේත් මිනිසා විසින්ම ය. එවැනි දේව ප්රබන්ධයන් සැමවිටම මිනිසුන්ගේ පීඩනය, අසරණකම විසින් තහවුරු කරනු ලබන්නේය. එහෙත් යථොක්ත කෘතියේ එන අන්දමට නම් කල්කි ස්ථානගත වන්නේ එවන් දේව ආස්ථානයක නොවේ. ගොවි දරුවකු හැටියට සාමාන්‍ය පවුලක ඔහු උපත ලැබුවත්, මෙය සාමාන්‍ය කතාවක් නොවන නිසා දෛවයෙන් ඔහුට පැවරුණ වගකීමක් ඇති බව කෘතියෙන් ගම්‍ය වේ. ඒ අධර්මයට එරෙහිව සටන් වැද ලෝකය ධර්මයේ පිහිටුවීමේ කාර්යභාරයයි. ඉදින් ඒ අනුව යමින් “හැම තිස්සෙම ආදරයයි කරුණාවන්තකමයි පතුරුවන්න උත්සාහ කරන්න. මොකද දේවල් තමයි ලෝකයේ අඩුවෙන්ම තියෙන්නෙ.” යි මෙහි එයි.
මේ ආකාරයට ධර්ම යොද්ධයක අවශ්‍යතාව සකලවිධ අපරාධ හා දූෂණයන්ට එරෙහිව නිර්මාණය වෙයි.
නමුත් මෙතනදී අපට පැහැදිලි වන්නේ සාම්ප්‍රදායික දේව කතාවල මෙන් කල්කි උපත ලබන්නේ ඒ පිළිබඳව සංසාරගත අවබෝධයකින් ලද පූර්ව සුදානමකින් නොවේය යන්නය. ඔහුව ඒ වෙනුවෙන් සුදානම් කරන්නේ එකී අධර්මවාදී සමාජ දේශපාලනයයි.
කෘතියට අනුව ඉන්දියාවේ ඉලවර්ති නම් දේශයක් වෙයි. එහි වෙසෙන්නෝ මානවර් නමින් හැඳින්වෙති. එහි තේරුම මිනිස් වර්ගයා යන්න ය. මේ මානවර් සමාජය කාලිගේ ප්‍රහාරයට ලක්වන අතර මානවර් නායකයාව අත් අඩංගුවට ගෙන සිරගත කිරීම ද සිදු වේ.
මේ අතර නළලේ කැළැලක් ඇති මිනිසෙකු ද හැසිරෙනු දැකිය හැක. සංහාරය මුල් කොටගත් ගැටුම්හි පසුබිමේ නිර්මාතෘ ඔහු යැයි සිතෙන තත්වයක් ද දැකිය හැකි වේ.
එක් වනගත පෙදෙසක ගල් ගුහාවක හැංගී තිබෙන සෝම පානය නම් අමරණීය පානයක් ගැන ද අසන්නට ලැබෙන අතර උක්ත කෘතියේ දැක්වෙන අන්දමට එය ධර්මයේ හෝ අධර්මයේ පැවැත්ම තීරණය කරන්නා වූ පානයක් ද වේ. ඊට අනුව සෝම පානය වෛද්‍යමය පානයක් ද වන අතර එය පානය කරන්නා අධර්මවාදියෙකු නම් අධර්මය ද ධර්මවාදියෙකු නම් ධර්මය ද ලොවට ලබා දෙනු ඇත්තේ ය. එවන් පසුබිමක අධිරාජ්‍යවාදී ආක්‍රමණයට එරෙහිව දේශ විමුක්ති සටන මෙහෙවීමේ වගකීම කල්කි මත පැටවෙන්නේ කාලයේ නියමයක් අනුව ය. මක් නිසාද, කාලි සෝම පානය කොට ඇත්තේ ය.
පරිවර්තක පාලිත ජයකොඩි පවසන අන්දමට මෙහි මුල් කතුවරයා සිය ළමා කාලයේ දී ස්ටාර් වෝස්, ගෝඩ් ඔෆ් ද රිංග් හි එන ඒ වීර ආඛ්‍යායන වලට ඇලුම් කොට තිබේ. ඒ අනුව එහි ව්‍යංගාර්ථය වන්නේ මෙම නිර්මාණයේ ලා එවැනි ආස්වාදනීය හෙවණැලි ඔහු තුළ නොවුණේම නොවේ යැයි සිතමි.
අධර්මයට එරෙහිව මෙහෙයවුණ ඒ සටනේ ත්‍රාසය, ආදරය, පාවා දීම් වලින් යුතුව උන්මාදනීය මායාවන් තුළ ජීවිතය දර්ශනය වන ආකාරයක් ද දැකිය හැකි වේ. කෙසේ වුව අධර්මයට එරෙහිව සිදු කරනු ලබන්නා වු මෙම අරගලය තුළ කල්කි අනාගත දෙවියෙකු වීමේ ඒ ප්‍රතිලාබය ද අත් කරගන්නා පසුබිමක් ද දිස් වේ. සිය කාර්යභාරය හමුවේ මහසෙන් රජු සිය මරණින් පසු දේවත්වයට පත් වන්නේ ද මෙවන් තත්වයක් නිරූපණය කරමින් නොවේ දැයි ඉහත තත්වයට අදාළව සිතා බලනු වටී.
පාලිත ජයකොඩි ගේ හඳුනා ගැනීමට අනුව සාම්ප්‍රදායික දේව කතා මැදින් මැවෙන ඉන්දියානු ආඛයායන කියවීම මේ වන විට විශේෂයෙන්ම විදේශයන්හි වෙසෙන ඉන්දියානු පාඨකයන් අතර රැල්ලක් මෙන් පැතිර යන තත්වයක් දැකිය හැකි ය.
ඉංග්‍රීසියෙන් කියවන පාඨකයන් (සංඛ්‍යාත්මකව එතරම් නොවුණත්) අතර මේ තත්වයේ වැඩි දියුණුවක් දැකිය හැකි වේ. පොදුවේ ගත් කල මේ කියන සාහිත්‍යයික හැසිරීම තුළ විනෝද රසයක් දැකිය හැකි වුණත් කල්කි නම් චරිතය මෙහිදී ගොඩ නැගෙන්නේ පොදුවේ සමාජගතව හැදී වැඩෙන සාමාන්‍ය ජන පාන්තිකයෙකු හැටියට ය. නමුත් පසුව කාලි මුල් කොටගත් යක්ෂ, රාක්ෂ මෙන්ම නාග ආක්‍රමණයන් හමුවේ ඔහු අරගලකාරී චරිතයක් බවට පත් වන්නේ දෙවියන්ගේ කැමැත්ත එය වු හෙයින් යැයි නොසිතිය යුතුය. එය ද අර සමාජගත අවශ්‍යතාවයේ ප්‍රතිඵලයක් ම වේ.
එහි තේරුම විෂ්ණුගේ දස අවතාරයන්ගෙන් එකක් වන කල්කි ව එහි කතුවර කෙවින් මිස්සල් විසින් යොදාගෙන ඇත්තේ ඉන්දියානු සමාජයේ කාලීන සමාජ දේශපාලන අවශ්‍යතාවක් ලෙසින්ය යන්න ය. ධර්ම යොද්ධ කල්කි විෂ්ණු මුර්තියහි කියවීම තියෙන්නේ එතැන ය.
0 Comments:
Post a Comment