ග්‍රන්ථය - විනිවිදිමි තල් වැට
කර්තෘ - එස්. කේ. ඒ. එස්. සේනානායක
මිල - රු. 400
වෘත්තියෙන් රේගු නිලධාරියෙකු වන එස්. කේ. ඒ. එස්. සේනානායක විසින් උතුරු දේශයේ සේවයට යොමු වූ සිය වෘත්තීය ජීවිතය තුළ දී කළ කලාපීය නිරීක්ෂණයේ ප්‍රතිඵලයක් හැටියට ලියන්නට යෙදුණකි “විනිවිදිමි තල් වැට” කෘතිය. උතුරු පළාත පුරාම මෙරට ජාතික උරුමයට අදාළ පුරා විද්‍යා සිහිවටන බොහොමයක් අද පවතින්නේ අනාරක්ෂිත අවදානමක ය. මූලධර්මවාදී ජාතිවාදයත්, ප්රාදේශීයවාදී දේශපාලනයත් නිසා එය අදටත් නොනැවතී සිදුවන සිද්ධීන් සමඟ බැඳි පවතී යැයි කීමෙන් කිසිදු වරදක් සිදු නොවේ.
“යුද්ධයට පෙර උතුරු ධීවර කටයුතු සහ රේගු සමුද්‍ර කටයුතු සම්බන්ධීකරණය කර තිබු සන්නිවේදන පද්ධතිය සඳහා අවශ්‍ය ගෑස් ලාම්පු හැමන්හිල් දුපතේ සවිකර තිබී ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් මෙම ලාම්පු සඳහා ගෑස් ලබා දීම ශ්‍රී ලංකා රේගුව වෙත පවරා දී තිබූ බව වාර්තා වේ. ඒ වෙනුවෙන් මසකට රු. 5 ක මුදලක් රේගුව වෙත ගෙවීමට වරාය අධිකාරිය කටයුතු කොට ඇති බවත් විශ්‍රාමික රේගු අධ්‍යක්ෂ පී. එච්. ලියනගේ මහතා පවසයි.”
“සියවසකට පමණ පෙර මෙය ලාදුරු රෝගීන් නවතා තැබීම සඳහා වෙන්කර තිබූ බව ජනප්රවාදයේ සඳහන්ව ඇත. එසේම 1970 වර්ෂයේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත තාවකාලිකව පවරා ඇති හැමන්හිල් ෆෝර්ට් බළකොටුව ජනතා විමුක්ති පෙරමුණේ නායකයාව සිටි රෝහණ විජේවීර මහතාව සිරකර තැබීමට ද යොදාගෙන තිබේ. මෙම අලංකාර බළකොටුව පෞද්ගලික අංශයට බාර නොදී රජය විසින් පවත්වාගෙන යා යුතු බවට රෝහණ විජේවීර මහතා
විසින්, සිරකර තැබූ සිර මැදිරියේ අංක 3 හී බිත්තිවල ලියා තැබූ ආකාරය අද ද දක්නට ලැබේ.”
“මෙම සිර මැදිරි සංචාරකයන්ගේ නවාතැන් සඳහා වෙන්කර දීමට නාවික හමුදාව කටයුතු කර ඇත. තවද ඔවුන්ට අවශ්‍ය නම් සිරකරුවන් ලෙස සිටීමේ පහසුකම් ද (මෙහි උත්ප්රාසය වන්නේ “සිරකරුවන් ලෙස සිටීමේ පහසුකම්” යන්න ය.) ලබා දේ. සිරකරුවෙකුගේ ඇඳුම්, පිගාන හා කෝප්පය වෙනුවෙන් දිනකට රු. දහසක් අය කරනු ලබන අතර නව යොවුන් වියේ පසුවන්නන් මෙහි නේවාසිකයෙකු වීමට කැමැත්තක් දක්වන බව පෙනේ.”
සිය වෘත්තීය ජීවිතය ප්‍රයෝජනයට ගනිමින් මෙවැනි තොරතුරු රැස් කිරීම් බ්‍රිතාන්‍ය සිවිල් නිලධාරීන් සිදු කොට ඇති බවත් ඒවා ගත යුත්තේ තොරතුරු රැස් කිරීම් වලින් ද එහාට ගිය
හැදෑරීම් වශයෙනි. එවැනි පසුබිමක මෙවැනි කෘති වඩාත් ප්රතිඵලදායි ගැඹුරකින් ඉදිරිපත් වීම අවශ්‍යයෙන්ම විය යුත්තක් වේ. මක් නිසාද යත් හුදු තොරතුරු වලින් එහාට ගිය පුළුල් කියවීමක් වර්තමාන පාඨකයා තමන් මිල දී ගන්නා කෘතියකින් බලාපොරොත්තු වන බැවිනි.
මේ තල් වැටය.
එය ද අපේ වංශ කතාව ම ය.
0 Comments:
Post a Comment