ස්වර්ණ පුස්තක අවසන් පොත් පහ කියෙව්වද?
ශිරෝමි රත්නායක (උපුටා ගැනීම සති අග අරුණ )-Aug 30, 2020
එළැඹෙන්නේ සාහිත්‍ය මාසයයි. පොතට පතට පෙම්බැඳි බොහෝ දෙනෙකු බලාසිටින්නේ තමන්ගේ පොත් ගොන්න තවත් පොත් කිහිපයකින් හෝ පෝෂණය කර ගැනීමටය. බොහෝ දෙනෙක් නවකතා තෝරද්දි සම්මාන ලද සේම සම්මාන උළෙලවල අවසන් වටයට තේරුණු නව කතාද මිලදී ගැනීමට වග බලාගන්නේය. සම්මානනීය පොත් සේම අවසන් වටයට තේරුණු නවකතාත් ඉතා උසස් මට්ටමේ නවකතා යැයි කවුරුත් විශ්වාස කරති. ඒ මන්ද යත් පොත් සිය ගණනකින් මෙම නවකතා කිහිපය නිර්දේශවන බැවිනි.
ඕනෑම සම්මානයකදී එසේ වෙද්දී මේ ලිවීම වන්නේ ස්වර්ණ පුස්තක සම්මානය ලබන පොත ගැනයි.
මෙවර පැවැත්වෙන්නේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරන දාහතර වැනි ස්වර්ණ පුස්තක සම්මාන උළෙලය. මීට පෙර දොළොස් දෙනෙකු සම්මානයෙන් පිදුම් ලබා ඇත්තේය. 2007 වසරේ සම්මාන උළෙල ඇරඹුණද එවර අවසන් එක් පොතකට සම්මානය නොදී නවකතා පහ සඳහාම සම ත්‍යාග හිමි වී ඇත. එක් අයෙකු තෝරාගෙන සම්මානයක් පිදෙන්නේ 2008 වසරේ පටන්ය.
ඉන් පසුව 2019 වසර දක්වා නොනවත්වා මේ සම්මාන උළෙල පැවැත්වුණා සේම විශිෂ්ට කෘතීන් සඳහා ස්වර්ණ පුස්තක සම්මානය හිමි වුණේය.
මෙවර අවසන් වටය සඳහා නිර්දේශ වී තිබෙන්නේ සුනේත්‍රා රාජකරුණානායකගේ නිෂ්ක්‍රාන්තිය, තිළිණ සුරත් ද මැල්ගේ තී හා තා, ලියනගේ අමරකීර්තිගේ රතු ඉරි අඳින අත, එරික් ඉලයප්ආරච්චිගේ පේත හා ශමෙල් ජයකොඩිගේ කුමර කොබෙයි යන කෘතින් පහය. මෙහිදී තිළිණ සුරත් ද මැල් හැරෙන්නට අනෙක් ලේඛක ලේඛිකාවන්ගේ කෘති මීට පෙර ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලබා ඇති අතර ඇතැම් කෘතීන් අවසන් වටය සඳහා නිර්දේශ වූ කෘතින්ද වේ.
මෙවර සම්මානයට නිර්දේශව ඇති කෘති අතරින් සම්මානය හිමි වන්නේ කුමන කෘතිය සඳහා දැයි අපට දැනගැනීම සිදුවන්නේ එළැඹෙන 11 වැනි දින සන්ධ්‍යාවේය. විද්වත් විනිශ්චය මණ්ඩලයකින් එලෙසින් සම්මානය සඳහා කෘතිය තේරෙද්දී අපිද මෙවර අවසන් වටයට තේරුණ පොත් පහ පිළිබඳව විශේෂ පිරිසකගෙන් අදහස් විමසීමක් කළෙමු. ඒ මීට පෙර බිහි වූ ස්වර්ණ පුස්තක සම්මානලාභීන්ගෙනි.
2008 වසරේ ස්වයංජාත නවකතාව වෙනුවෙන් සම්මානලාභියා වූ සමරවීර විජයසිංහ මේ වෙනුවෙන් කතා කරන්නට අද වන විට අප අතර නොමැත. 2020 වසරේ දිවිමගින් සමුගෙන ගිය ඔහු ලියූ ‘තැප්පා සේම ගිනි’ කෘතිය 2013 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන සඳහාද නිර්දේශ කෘතියක් වන්නේය.
2009 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය හිමි වූයේ සුනේත්‍රා රාජකරුණානායකගේ පොදු පුරුෂයා නවකතාවටය. 2011 වසරේද ස්වර්ණ පුස්තක සම්මානය හිමි වන්නේ ඇගේ කවිකඳුර කෘතියටය. එදා මෙදා තුර වැඩිම වාර ගණනක් ස්වර්ණ පුස්තක සම්මාන සඳහා අවසන් වටයට ඇයගේ කෘතීන් තේරී පත්ව ඇත්තේය. මෙවරද නිෂ්ක්‍රාන්තිය නම් ඇගේ කෘතිය අවසන් වටයට තේරී පත්ව තිබේ.
‘‘ගෙවි ගිය වසරේ පොත් ප්‍රදර්ශනය තිබෙන කාලේ මම ලංකාවේ හිටියේ නැහැ. ලංකාවට පැමිණි පසුව මම මගේ නව පොතෙහි ලිවීම හා ශාස්ත්‍රීය කටයුතු සඳහා කාලය යොමු කළා. පොතක් කියවන්න කාලයක් ලැබුණේ නැහැ. ඉදිරියේදී මේ පොත් සියල්ලම කියවීමට බලාපොරොත්තු වෙනවා. මම මෙවර අවසන් වටයට තේරුණ පොත් පිළිබඳ සතුටු වෙනවා. මොකද එම පොත්වල කර්තෘවරුන්ට ලිවීමේ හැකියාව තිබෙන බව මම දන්නවා. මම ප්‍රාර්ථනා කරන්නේ කලින් ස්වර්ණ පුස්තක සම්මානය නොලැබුණ කෙනෙකුට මෙවර සම්මානය ලැබෙන්න කියලා. ඒ සමග මම මේ සියලුදෙනාට සුබ පතනවා.’’
2010 වසරේ සම්මානයෙන් පිදුම් ලබන්නේ සුමිත්‍රා රාහුබද්ධගේ ‘කන්දක් සේමා’ නවකතාවය. ‘අත අත නෑර’ 2013 වසරේ සම්මානය සඳහා නිර්දේශ වන අතර 2015 වසරේද ඇගේ නවකතාවක් වූ ‘තුරු සමුද්‍ර’ අවසන් වටය සඳහා තේරී පත්විය. මෙවර ස්වර්ණ පුස්තක සම්මානය ලබන පොත ගැන කතා කරන මේ ලිපියට ඇයව සම්බන්ධ කර ගන්නට බෙහෙවින් උත්සාහ දැරූවද ඈ අපට සම්බන්ධ කරගන්නට නොහැකි විය.
2012 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය හිමි වූයේ රූපා ශ්‍රියානි ඒකනායකගේ සිටුවර පුවත නවකතාවටය. මෙවර අවසන් වටය සඳහා නිර්දේශ වූ කෘති පහ ගැන ඇය කියන්නේ මෙවන් කතාවකි.
‘‘මම මේ වන විට සුනේත්‍රා රාජකරුණාගේ නිෂ්ක්‍රාන්තිය කියවමින් සිටිනවා. ඉදිරි දින කිහිපය තුළ ඉතිරි පොත් ටිකත් කියවන්න බලාගෙන ඉන්නවා. මම පොත් සියල්ලම මේ වනතුරුත් කියවලා නැති හින්දා මගේ සිත් ගත්තේ කොයි පොතද කියන්න මට අපහසුයි. නමුත් අවසන් වටයට තේරෙන්නේ ගුණාත්මක බවෙන් ඉතා උසස් කෘතීන් තමයි. ඒ වාගේම ඒ පොත් රචකයන්ට මම හදවතින්ම සුබ පතනවා.’’
‘‘මම නම් කැමැති මේ සම්මානය අවසන් වටයක තේරුණු පස්දෙනාටම බෙදලා දෙන්න.’’
එසේ කියන්නේ 2013 වසරේ කාලසර්ප නවකතාව වෙනුවෙන් ස්වර්ණ පුස්තක සම්මානය හිමිකරගත් කීර්ති වැලිසරගේය.
‘‘මට තවම එක පොතක්වත් කියවන්න බැරි වුණා. ඒ සඳහා කාලය සොයා ගැනීමට නොහැකි වූවා. හැබැයි පොත් ටික ඔක්කොම අරගෙන තිබෙන්නේ. අපි මේ වෙලාවේ යම් පොතක් හොඳයි යම් පොතක් නරකයි කියන එක ඒ ලේඛකයන්ට විනිශ්චයන්ටත් කරන බලපෑමක් කියලා මම හිතනවා. මගේ සිත් ගත් කෘතිය ඔතැන තිබෙන්න පුළුවන්. නමුත් සම්මාන උළෙලකට කලින් මම එසේ ප්‍රකාශ කරන්නේ නැහැ. තවත් සම්මාන උළෙලවල් තිබෙනවා. එවිට මෙය බලපෑමක් වීමට හැකියි. අවසන් වටයට තේරුණු මේ පොත් පහම පොදුවේ ගත් විට හොඳ පොත් වෙන්නට ඇති.’’
ලියනගේ අමරකීර්ති දෙවරක්ම ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලබන්නේය. ඒ 2014 වසරේ කුරුලු හදවත කෘතියට හා 2016 වසරේ අහම්බකාරක කෘතියටයි. මෙවරද ඔහුගේ රතු ඉරි අඳින අත් කෘතිය සම්මාන උළෙල සඳහා නිර්දේශ ඇත්තේය.
‘‘මම මේ වන විට කියවලා තිබෙන්නෙ තිළිණ සුරත් ද මැල්ගේ තී හා තා පොත විතරයි. ඉතිරි පොත් තුන ඉදිරියේදී කියවනවා. මම තී හා තා පොතට තාම කැමැතියි නමුත් මේ පොත අතරින් වඩාත්ම මම කැමැති පොත මට කියන්න බැහැ. මොකද මම තවම අනෙක් පොත් කියවලා නැති හින්දා ඒ වාගේ අවසන් වටයට තේරුණේ නැති කෞෂල්‍ය කුමාරසිංහගේ නිම්නාගේ ඉතිහාසය කියන පොතටත් මම කැමැතියි. එය අවසන් වටයට තේරුණ පොතක් නෙමෙයි. හැබැයි මම එයට කැමැතියි.’’
නවකතාකරුවන් නවකතාකාරියන් අතර ස්වාමීන් වහන්සේ නමක්ද පෙරමුණේම සිටිති. ඒ පූජ්‍ය බටුවන්ගල රාහුල ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ 2015 වසරේ රන් කරඬුව නවකතාව වෙනුවෙන් ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබූහ. එසේම 2009 වසරේ බොරතෙල් නවකතාවද අවසන් වටයට තේරුණේය.
මේ වන විට බටුවන්ගල රාහුල හිමියන් වැඩසිටින්නේ විදේශීය ගතවය. ‘‘මම මේ වෙනකොට ස්කොට්ලන්තයේ පන්සලක වාසය කරන්නේ. මාර්තු මාසයේ ලංකාවට වැඩම කරන්න සිටියේ. නමුත් කොරෝනා තත්ත්වය හේතුවෙන් එන්න බැරි වුණා. මේ හින්දා මට පොතපත කියවීමට නොහැකි වූවා. ලංකාවට පැමිණි පසු කියවනවා. මාත් සමග අන්තර්ජාලයෙන් හෝ සම්බන්ධ වෙලා සිටින කිසිම අයෙක් මේ පොත් සම්බන්ධව කතා කළේ නැහැ. ඇත්තටම සාහිත්‍ය කෘති සම්බන්ධව මෙවැනි සම්මාන උළෙලක් පවත්වන එක ගැන වාගේම සාහිත්‍ය කෘතියක් වෙනුවෙන් විශාල මුදල් ත්‍යාගයක් ලබාදෙන එකම සම්මාන උළෙල මෙයයි. මමත් දෙපාරක් මේ සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලයේ කටයුතු කළා. එහිදී මාත් සමග සිටිය අනෙක් විනිශ්චයකරුවන් කිසිම විටෙක පොත ගැන මිසක කර්තෘ ගැන කතා කළේ නැහැ. ඒ වාගේම තව දෙයක් කියන්න ඕන නවකතා, කෙටිකතා හා කවි සඳහා ලබාදෙන සම්මානත් එකම නමකින් නම් කරනවා නම් බොහොම හොඳයි. මොකද නවකතා සඳහා ස්වර්ණ පුස්තක යන නම දීලා කවි හා කෙටි කතා සඳහා රජත සම්මානය ලෙසින් නම්කර සම්මානය ලබාදෙන එකට මම එකඟ නෑ.’’
රාහුල හිමියන් කියන්නේ මේ සියල්ලම සාහිත්‍ය කෘතින් ලෙස ඒහිමියන් දකින බවයි.
‘‘හඳ පළුව තනි තරුව මගේ කැලිග්‍රැෆියයි.’’ නිශ්ශංක විජේමාන්න තමන්ට 2017 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය හිමි වූ හඳ පළුව තනි තරුව කෘතියෙහි හැඳින්වීමෙහි එසේ සටහන් කර ඇත්තේය. ඊට පෙර ඔහුගේ තාරා මගේ දෙව්දුව නවකතාව 2014 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටය සඳහා නිර්දේශ වී තිබුණි.
‘‘මෙවර සම්මානයට නිර්දේශිත නවකතා අතරින් මම කියවලා තියෙන්නේ ලියනගේ අමරකීර්ති මහතාගේ රතු ඉරි ඇඳි අත, ශමෙල් ජයකොඩි මහත්මියගේ කුමර කොබෙයි සහ සුරත් ද මැල් මහතාගේ තී හා තා යන නවකතාව පමණයි. එරික් ඉලයප්ආරච්චි මහතාගේ පේත හා නේත්‍රා, සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ නිෂ්ක්‍රාන්තිය යන නවකතා දෙක මම කියවා නැහැ. එනිසා මට වඩාත් ඇගයීමක් හෝ විස්තරයක් කරන්න අමාරුයි. කෙසේ වුවද තී හා තා නවකතාවට වඩා හෝ සමාන්තරව කෞෂල්‍ය කුමාරසිංහ මහතාගේ නිම්නාගේ ඉතිහාසය නවකතාවට මම කැමැතියි. නමුත් පොත් සියල්ල නොකියවා මගේ ළැදියාවක් ප්‍රකාශ කිරීම අමාරුයි වාගේම කෙටි ලැයිස්තු ගත වූ පසු ඒවා පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීම ලේඛකයෙක් හැටියට හොඳ දෙයක් කියන එකත් නැවතත් හිතන්න සිදුවෙනවා. සියලු පොත්වලට සුබ පතනවා.’’
සමන් වික්‍රමාරච්චිගේ අප්පච්චි ඇවිත් කෘතිය ගෙවී ගිය වසරට කලින් වසරේ 2018 දී ස්වර්ණ පුස්තක සම්මානයට පාත්‍ර වූවේය. ඔහුද අපිට මෙවර නිර්දේශ වී ඇති නවකතා පිළිබඳව අදහසක් එකතු කළේය.
‘‘මම නවකතා සියල්ලම කියෙව්වේ නැහැ. මම කියෙව්වේ තී හා තා යි රතු ඉරි අඳින අත නවකතාව පමණයි. මේ හින්දා එක් නවකතාවක් පිළිබඳ අදහසක් ප්‍රකාශ කරන්න බැහැ. නමුත් මම ති හා තා නවකතාවේ භාෂාව එහෙම හොඳයි. එය ටිකක් අමුතුයි. මට මේ සම්බන්ධව වෙනත් දෙයක් කියන්න පුළුවන් පොතට සම්මානයක් දුන්නාම පොත ගැන නෙමෙයි. ඒ විනිශ්චය මණ්ඩලයේ රසිකත්වය පිළිබඳව ප්‍රකාශ වෙනවා. ඒ මොහොතේ කියවීම අනුව තමයි පොතක් තීරණය වන්නේ ස්වර්ණ පුස්තක සම්මාන ලැබුවා කියන්නේ කෘතියක් හඳුනාගැනීමට තිබෙන මිනුම් දණ්ඩ නෙමෙයි. මගේ නවකතාවට සම්මාන හිමි වූ වේලාවේ විවිධ අය කියලා තිබුණා මෙයට නෙමෙයි සම්මාන ලැබිය යුත්තේ කියලා. ඒ එය එකිනෙකාගේ කියවීම අනුව වෙනස් වෙනවා. ඇතැම් විට මුල්ම වටයේදී ඉතා හොඳ නවකතා ඒ ඒ පුද්ගලයන්ගේ කියවීම අනුව ඉවත් වෙනවා වෙන්නත් පුළුවන්. එක් විනිශ්චය මණ්ඩලයකට හොඳ නිර්මාණයක් වෙනත් විනිශ්චය මණ්ඩලයකට හොඳ නොවීමට පුළුවන්. පහුගිය කාලයේදී විවිධ සම්මාන උළෙලවල්වලදී එසේ වී තිබෙනවා.’’
යම්කිසි නවකතාවකට විනිශ්චයක් ලැබෙන්නේ එකිනෙකාගේ කියවීම අනුවය. ගෙවී ගිය වසරේ අදිසි නදිය කෘතිය සඳහා ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබුවේ කපිල කුමාර කාලිංගයි. එය 13 වැනි ස්වර්ණ පුස්තක සම්මානයයි. 2012 වසරේ ඔහු ලියූ පියැසි කවුළුව හා 2013 වසරේ ඔහුගේ කන්දේ වීදිය යන නවකතා දෙක ද ඒ වසරවල ස්වර්ණ පුස්තක සම්මානය සඳහා අවසන් වටයට තේරීපත් විය.
‘‘මට දැනට කියවීමට හැකි වූයේ රතු ඉරි අඳින අත හා තී හා තා යන පොත් දෙක පමණය. ඉදිරි දින කිහිපයේදී ඉතිරි පොත් තුන මම කියවන්න බලාපොරොත්තු වෙනවා. මෙවර මීට පෙර ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබූ හා නිර්දේශිත වූ අයගේ පොත් මෙන්ම තම කුලුඳුල් නවකතාකරුවකුගේ පොතකුත් අවසන් වටයට තේරී පත් වී තිබෙනවා. එක් පොතක් පිළිබඳව මම ප්‍රකාශ කරන එක අනෙක් අයට කරන අසාධාරණයක් කියලා මම හිතනවා. නමුත් ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වීමට පොත් පාඨකයාගේ අවධානය දිනාගන්නවා. මම හිතන්නේ එය ලේඛකයන්ට ලැබෙන ඉහළම අවස්ථාවක්. නමුත් එක් දෙයක් කිව යුතුයි. කෞෂල්‍ය කුමාරසිංහගේ නිම්නාගේ ඉතිහාසය නම් කෘතිය පිළිබඳව විවිධ මත පළ කරලා තිබෙනවා. අවසන් වටයට තේරුණ ලේඛකයන් පස්දෙනා පවා මේ නවකතාව අවසන් වටයට තේරුණා නම් හොඳය කියන එක පවා කියලා තිබෙනවා.’’
ඔවුන් අවසන් වටයට තේරුණු පොත් පහ ගැන මෙසේ කියද්දී ඒ වාසනාවන්ත සම්මානලාභියෝ කවුද කියා නොබෝ අපට දැනගත හැකිවනු ඇත.
ශිරෝමි රත්නායක
0 Comments:
Post a Comment