ග්‍රන්ථය - ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා
කර්තෘ - බන්දුල මානවඩු
ඇස්. ගොඩගේ ප්රකාශනයකි
මිල - රු. 300
“දේවස්ථානය ඒ අවස්ථාව සඳහා විශේෂයෙන් සරසා තිබුණි. 5.30 වීමටත් බොහෝ කලින් දේවස්ථානයේ සෑම ආසනයක්ම පිරී ගති. අන්තිමේ දී ධර්මාසනයේ සිටම දොර දක්වාම ආලින්දය තුළ ආසන තබන ලදී. මේ කොටසෙහි ද ජනයා එක්රොක්ව සිටියහ. ගරු එල් ස්ප්‍රේ තුමා විසින් ධර්මපාල මහතා පිරසට හඳුන්වා දෙන ලදී. දෙසුම අවසානයේ දී සභාවෙන් අසන ලද ප්‍රශ්න කිහිපයකට ධර්මපාල මහතා පිළිතුරු දුන්නේ ය. දුන් පිළිතුරු කෙළින්ම එල්ල කරන ලද ඒවා වූ අතර මහත් පැසසුම් ලබා ගැනීමට සමත් විය.” අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හීදී සිදු වු ධර්මපාලතුමන්ගේ ජීවන චරිතය හා සම්බන්ධ මේ සිදුවීම මීට පෙර ද බොහෝ අවස්ථාවල දී ලියවුණකි. බන්දුල මානවඩු ද යළිත් එම සිදුවීම් උපුටා දක්වමින් “ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා”යන හිසින් පොතක් ලියා තිබේ. පහත දැක්වෙන්නේ ඒ ආකාරයට ඔහු විසින් උපුටාගත් තවත් එවැන්නනකි. ඊට පසුබිම් වන්නේ ධර්මපාලතුමන් ද සහභාගි වූ ජගත් ආගමික සමුළුවයි.
“ක්‍රිස්තියානි මිෂනාරීන්ගේ ක්‍රම දියුණු කළ හැක්කේ කෙසේද? යන තේමාව යටතේ එතුමා පළ කළ අදහස් බොහෝ දෙනාගේ සැලකිල්ලට භාජනය වී තිබේ.”
එකල මහත් ව්යාප්තියක්ව පැවති මිෂනාරි ධර්මදූත ව්‍යාපාරය ගැන එතුමන් මෙසේ පවසා ඇත්තාහ. “ඔබ යැවිය යුත්තේ ප්‍රයෝජනවත් බවින් සම්පූර්ණ වූ මිනිසුන් ය. ඔවුන් යා යුත්තේ අද දවසේ මිෂනාරීන් යන ආකාරයට නොවේ. ඔවුන් තුළ ආත්ම පරිත්‍යාගය, කරුණා ගුණය ඉවසීම සේම යේසුස් ක්‍රිසතුස් කෙරෙහි ශුද්ධත්වය හා නිහතමානීත්වය ද තිබිය යුතු ය. චිකාගෝ නගරයෙහි ඇති සුවිශාල ඝාතනාගාර ශිෂ්ටාචාර ලැජ්ජාවට මෙන්ම ශාපයක් වෙයි. එවැනි දේට ප්‍රතිෂ්ඨාව සපයන ක්‍රිස්තියානි ධර්මයක් ලංකාවෙහි හෝ බුරුමයෙහි, ජපානයෙහි,චීනයෙහි සිටින අපට වුවමනා නැත. අපට අවශ්‍ය වන්නේ නිහතමානි වූත්, බැගෑපත් වුත් යේසු සමිඳුන්ගේ ඉගැන්වීම් ය. එසේ කියන්නේ දැනට අපේ ආගම තුළ ඒවා නැති බැවින් නොව ඒවා අපට වඩාත් අවශ්‍ය වන බැවිනි.”
අනගාරික ධර්මපාලතුමන්ගේ චරිතාපදනය හුදු සුපේශල, අභිවන්දනීය ප්‍රතිරූපයක් එසේ නැත්නම් පිළිමයකට සීමා කිරීම වර්තමානයට අදාළව කොහෙත්ම ප්රතිඵලදායි කටයුත්තක් නොවේ. මක්නිසාද යත් එතුමාගේ චරිතය විසින් අපට ඉගැන්වූ සමාජ දේශපාලන කියවීම, නව නිදහස්වාදී දේශයකට අවශ්‍ය ආර්ථික දර්ශනය මෙන්ම පුද්ගල චර්යාව සතු සැබෑ නිදහස හුදු අභිවන්දනයක දී ප්‍රකාශයට පත් නොවන බැවිනි. අපේ බෞද්ධකම පවා අද ඇත්තේ එවැනි ඉරණමකට යටත්ව ය. ජාතියක් වශයෙන් අප ආර්ථික වශයෙන් පමණක් නොව දාර්ශනික වශයෙන් ද අන්ත දුගී භාවයක් තුළ ගිලී ගොස් සිටින්නේ කාලයක සිට ය.
එසේ හෙයින් මෙවැනි කෘතියක් හමු වූ තැන දී හුදු සාදකාරයක් වැනි කරුණු දැක්වීමකට යනවාට වඩා අපේ අදහස් ප්‍රකාශ කිරීම් පුළුල් විමර්ශනයකට යෑම අවශ්‍ය වේ. හුදෙක් කෘතියට පමණක් සීමා නොකොට පළල් සමාජ සංවාදයක් කරා යන ගමනකට එය අවස්ථාවක් කරගත යුතු ය.
ධර්මපාලතුමන්ගේ චරිතය හුදු අභිවාදනයක් නොවිය යුතුය.
0 Comments:
Post a Comment