එත් අපි පියාබමු
උපුටා ගැනීම සති අග අරුණ
මෙවර රජත පුස්තක සම්මානය දිනු යොවුන් නවකතාව ලියු සුජාතා අලහකෝන්
නවකතා රචිකාවක සහ කිවිඳියක ලෙස මෙරට පාඨක සමාජය තුළ අවධානයට ලක්ව සිටින සුජාතා අලහකෝන් රචනා කළ ප්‍රථම යොවුන් නවකතාව වන ‘ඒත්, අපි පියාඹමු’ කෘතිය මෙවර රජත පුස්තක සම්මානයට පාත්‍රව ඇත. ගොඩගේ ප්‍රකාශනයක් ලෙස පළවී ඇති එය 2019 ගොඩගේ අත්පිටපත් තරගයේ ප්‍රශස්තම යොවුන් නවකතාව ලෙසද ඇගයීමට ලක් වූ කෘතියකි. මෙයට පෙර කතුවරිය විසින් ‘සඳක් පුරා කවි ලියන්න’ නමැති කාව්‍ය සංග්‍රහයක් මෙන්ම ‘පාට කළ මිනිස්සු’ සහ ‘නිහඬ හඬ’ නමින් නවකතා ද්විත්වයක් රචනා කර ඇත.
ඔබේ යොවුන් නවකතාවට මෙවර රජත පුස්තක සම්මානය හිමිවීම ගැන මොකද හිතෙන්නෙ?
මේ ඇගයීම වඩාත් ඵලදායක පැත්තකට යොමුවෙනවා දකින්නයි මම කැමති. ඒනිසා, සතුටුයි කියලා නවතින්නේ නැතිව ඊට වඩා යමක් මට කියන්න තියෙනවා. ‘ඒත්, අපි පියාඹමු’ කියන නමින් පළවෙලා තියෙන මේ යොවුන් නවකතාවේ තේමාව හරි ප්‍රබලයි. කතාව ලියැවිලා තියෙන්නේ ළමා නිවාසයක සිද්ධියක් ගැනයි. ඒක ඇත්ත සිද්ධියක්. ළමා නිවාසයක පාලිකාවක් මට එවලා තිබුණු ලියුමක් කියවන්න ලැබුණාට පසුව තමයි අදාළ සිද්ධිය ගැන තවදුරටත් විස්තර හොයලා බලලා මම මේ කතාව ලියන්නේ. රජත පුස්තක සම්මානය හරහා පොත වැඩි වැඩියෙන් ජනතාව අතරට යෑමත් සමග මට ලැබෙන ප්‍රසිද්ධියට වඩා මේ ළමා නිවාස කෙරෙහි රටේ බලධාරීන්ගේ අවධානය යොමුකරවා ගන්න අවස්ථාවක් ලැබෙනවා නම් වටිනවා කියලා මම හිතනවා.
මේ වගේ සම්මානයක් ඔබට වැදගත්ද?
සම්මානය වැදගත් කියලා මම හිතනවා. කිසියම් ඇගයීමකින් පසුව එතැනින් එහාට ඇති වන උද්‍යෝගය තව තවත් හොඳ නිර්මාණ කිරීම සඳහා උත්තේජනයක් සපයන බවයි මගේ අදහස. ඒ වගේම, එවැනි ඇගයීමක් ඔස්සේ තවත් අයගේ අවධානයත් ඒ වෙත යොමු වෙනවා. එතකොට ඇගයීමට ලක් වන පුද්ගලයා පමණක් නෙවෙයි, අනෙක් අයත් මෙවැනි කටයුතුවලට දක්වන උනන්දුව වැඩි වෙනවා. ඒනිසා ඕනෑම ප්‍රශස්ත කෘතියකට මෙවැනි ඇගයීමක් ලබාදීම හොඳ දෙයක්.
හැබැයි, ඒ කෘතිවල අපේක්ෂිත ගුණාත්මකභාවය නැත්නම් සහ ඒවා නිවැරදිව ඇගයීමට ලක් කරලා නැත්නම්, ඇති වන තත්ත්වයත් භයානකයි. එහෙම වුණාම ඒ පොත් මිලදී ගන්නා අය අපේක්ෂා භංගත්වයට පත්වෙනවා.
මෙයට පෙර කවි සහ නවකතා රචනා කළ ඔබ යොවුන් නවකතාවක් වෙත යොමුවුණේ ඇයි?
මේ මගේ පළමුවෙනි යොවුන් නවකතාව. මෙවැනි කෘතියක් රචනා කරන්න ඕන කියලා මට හිතුණේ මම අර කලින් කියපු ඇත්ත සිද්ධිය පසුපස තිබුණු බැරෑරුම් සහ බරපතළ ඛේදවාචකය හඳුනාගත්තාට පසුවයි. මම මේ කතාව සඳහා අවශ්‍ය ආකාරයට ඇත්ත සිද්ධිය සහ කතාවේ ප්‍රධාන චරිතය හෙවත් කතා නායිකාව වන දැරියකගේ ජීවිතය ආශ්‍රිත සමහර කරුණු සම්බන්ධයෙන් යම් යම් වෙනස්කම් කරලා තියෙනවා. මම මේ කතාව යොවුන් නවකතාවක් විදිහට ලියන්න හිතුවෙ වැඩිහිටියන්ට මේ වගේ දෙයක් ගැන ලියලා වැඩක් නැහැ කියලා හිතුණු නිසායි. සමාජයේ මතවාද සහ නීතිරීති හදන්නෙත් ඒ අය, කඩන්නෙත් ඒ අය, අපයෝජන කරන්නෙත් ඒ අය. පොතට පාදක කරගෙන තියෙන ඇත්ත සිද්ධිය සිදුවුණාට පසුව මම ඒ ගැන අදාළ වගකිවයුතු හැම නිලධාරියකුටම කතා කළා. පරිවාස, ළමාරක්ෂක ඇතුළු හැම අංශයකටමත් කතා කළා. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔබතුමාලා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලා මම ඒ අයගෙන් ඇහුවා. ඒ අය හොඳ හොඳ උත්තර දුන්නා. හැබැයි, ඔවුන් ඒ සම්බන්ධයෙන් කිසිම දෙයක් කළේ නම් නැහැ. ඒ අයත් වැඩිහිටියොනෙ. ඊට පස්සෙ මට හිතුණා අවසානය පොඩ්ඩක් වෙනස් කරලා මේ සිද්ධිය කතාවක් වශයෙන් ලියන්න ඕන කියලා.
එයින් අදහස් වන්නේ ඔබ යළිත් වැඩිහිටියන් වෙනුවෙන් කිසිවක් නොලියන බවද?
ලියනවා. මම කියන්නේ මෙවැනි තේමාවක් ඔස්සේ වැඩිහිටියන්ට නවකතාවක් ලියලා වැඩක් නැහැ කියන එකයි. මගේ ඊළඟ නවකතාව ලියලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් විදිහේ තේමාවක් ඔස්සේයි. හැබැයි, මේ තේමාව ගත්තාම ළමයි සම්පූර්ණයෙන්ම මේ තත්ත්වයට ඇද දැම්මේ වැඩිහිටියොමනෙ. පාලකයොත් වැඩිහිටියො, අපයෝජන කරන්නෙත් වැඩිහිටියො, නීතිරීති තියෙද්දි ඒවා ක්‍රියාත්මක නොකරන්නෙත් වැඩිහිටියො. ඒ කියන්නෙ දැන දැනම මේ තත්ත්වයට ඉඩදීලා තියෙන්නෙත් වැඩිහිටියොනෙ. ඒනිසා මේ වගේ තේමාවක් යොවුන් පාඨකයන්ට දුන්නොත් ඔවුන් හෝ මේ තත්ත්වය ගැන හිතයි කියන අදහස මා තුළ තිබුණා.
කියවීම අඩුවී ඇතැයි කියැවෙන පසුබිමක පොතකින් මෙවැනි දෙයක් සමාජගත කරන්න පුළුවන්ද?
අද පොත් කියවන්නේ නැහැ කියලා ඇතැමුන් අපේ තරුණ පරපුරට දෝෂාරෝපණය කළාට, ඇත්තම කතාව ඊට වෙනස් කියලයි මම හිතන්නෙ. දැන් තියෙන ආර්ථික අපහසුතා මැද බොහෝ අයට පොතක් ගන්න අමාරුයිනෙ. තවමත් පොත්වලට ආදරය කරන මිනිස්සු මම දැකලා තියෙනවා, අපිත් මාතලේ පොත් ප්‍රදර්ශනයක් කරනවා ‘මහතලා’ කියලා. එක එක තරාතිරමේ පිරිස් ඒ පොත් ප්‍රදර්ශනයට එනවා. ඒ බොහෝ අය ආසාවෙන් පොත් අතගාලා, පෙරළලා බලනවා. හැබැයි, සල්ලි දීලා ඒ පොත් ගන්නෙ නැහැ. පොඩි ගාණකට තියෙන පොතක් තමන්ගෙ දරුවට අරන් දෙනවා හැර තමන් වෙනුවෙන් පොතක් ගන්න ඒ බොහෝ අය පෙලඹෙන්නෙ නැහැ. ඒ, ඔවුන් කියවන්න අකමැති නිසා නෙවෙයි. දැන් ලංකාව පුරාම පුස්තකාල රාශියක් තියෙනවා. හැබැයි ඒ බොහෝ පුස්තකාලවලින් නිසි ප්‍රයෝජනයක් ගැනෙනවද කියන එක ප්‍රශ්නයක්. පුස්තකාලවල පොත් ගොඩ ගහගෙන ඉන්නවා වෙනුවට ජංගම පුස්තකාල හදලා ගම්වලට පොත් යවන ක්‍රමයක් සකස් කරනවා නම් ඉතා වටිනවා.
පොතකින් යම් සමාජ බලපෑමක් කරන්න පුළුවන් කියා ඔබ විශ්වාස කරනවාද?
ඔව්, ඒක කරන්න පුළුවන්. ඒ ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. අපි පොඩි කාලයේ ඉඳලාම පොත් කියෙව්වා. අද අපි යම් මට්ටමක ඉන්නේ එදා එහෙම පොත් කියවපු නිසා කියලා මම හිතනවා. ඒ කාලයේ පළවූ සෝවියට් පරිවර්තන සියල්ලම වගේ අපි කියෙව්වා. ඒ පොත්වලින් අපේ ජීවිතවලට බොහෝ දේවල් එකතු වුණා. පසු කාලයක ආපු වෙනත් දියුණු මාධ්‍යවලින් ලබාගන්න දේවල්වලට වඩා වටින බොහෝ දේවල් අපි එදා පොත්වලින් ලබාගත්තා.
0 Comments:
Post a Comment