ජීවිතයේ කුමන මොහොතකදී, කවරෙකු විසින් හෝ මේ පැනය ඔබෙන් අසන්නට ඉඩක් ඇත. ඊට ඔබ සතුව නිවැරදි පිළිතුරක් වේ නම් ඔබගේ දැනුම් අගයට තවත් ලකුණක් එකතු වනු නොඅනුමානය. ‘‘ලංකාවේ ප්‍රථම මහජන පුස්තකාලය කුමක්ද?’’ යන්න ඒ පැනයයි. ඊට පිළිතුර සොයා අපි කන්ද උඩරටට ගමන් ඇරඹීමු.
වස්සානය සෙංකඩගල අහසට අයිතිය ලියාගත් දින අතරතුර වැහි වලාවන් ගිමන් හරිනා පැහැබර දවසක දළදා මාලිගාවට ඉහළ උඩවත්ත කැලය දෙස සිට ඉරු රැස නුවර නගරය මධ්‍යයට බැස ඇවිදිමින් හිඳී. ඓතිහාසික සෙංකඩගල පුරයට තරු ලකුණක්වන් ලංකාවේ ප්‍රථම පුස්තකාලය දළදා සෙවණේ වැජඹෙන්නේ තම දිවියේ සුවිශේෂී කඩඉමක් පසු කිරීමේ මංගල්‍යයද අත්විඳිමිනි. පොත් ගුලක දිගු ආයුෂ මානව සංහතියේ ජීව ගුණය විදහාපාන කැඩපතක් බවට අවිවාදිතය. ඊට අභිමානවත් සජීවී උදාහරණයක් බවට මහනුවර ඩී.එස්. සේනානායක මහජන පුස්තකාලය පත්වී සියවසකුත් පසුකොට ඇත.
බෝගම්බර බන්ධනාගාරයට මුහුණලා පිහිටි මහරු පොත්ගුල ලෝකයේ හොඳ නරක යන බෙදීම පැහැදිලි කිරීමට එකම බිමක තැනූ ආදර්ශයක් බඳුය. දැන් මා හිඳින්නේ මහනුවර ඩී.එස්. සේනානායක මහජන පුස්තකාලය ඉදිරිපිටය. උස කුලුනු සහිත පුස්තකාල ගොඩනැගිල්ල වාස්තු විද්‍යාත්මක අතින්ද තම පුස්තකාල පෞරුෂයට අගයක් එක්කොට ඇත.
‘‘පුතා උණ බලාගෙන යන්න. අතන ටැප් එකෙන් අත් සෝදා ගන්න. මේ පොතේ විස්තර ලියන්න.’’
හිතට නැගුණු ක්ලපනාවන් සැණෙකින් අමතක කරමින් ඇසුණු කටහඬට හිස ඔසවා බැලීමි.
උස, මහත ශරීරයෙන් යුත්, එසේම මානව දයාවෙන්ද උස් මහත් වූ ආරක්ෂක කුටිය අසල වූ කාලවර්ණ වූ මිනිසා පුස්තකාලයට සුදුසුම ප්‍රියමනාප පිළිගැනීමක් කරමින් සිටියේය.
‘‘පුතාල පොත් ගන්නද?’’
කලෙක සිට දන්නා හඳුනන අයකු ලෙස ඇසුවේය.
‘‘මට පුස්තකාලයාධිපතිනිය මුණ ගැහෙන්න ඕනේ.’’
මුවින් වචන පිටවුණි.
‘‘අර දකුණු පැත්තේ තියෙන දොරෙන් ඇතුළට යන්න’’ ඔහු අත දිගුකොට පෙන්වූවේය.
අලංකාර පුස්තකාල උද්‍යානයේ සිරි නරඹමින් අපි පුස්තකාලයාධිපති කාර්යාලයට පිවිසුණෙමු. පළවෙනි ශ්‍රේණියේ පුස්තකාලයාධිපතිනියක් වූ එච්.එම්.පී. හේරත් මහත්මිය ළෙන්ගතු සිනාවකින් පිළිගත්තාය. පැමිණි කාරණය දැන ගැනීමත් සමගම ඇය පුස්තකාල චාරිකාව අරඹන්නට විය.
‘‘ඩී.එස්. සේනානායක පුස්තකාලය කියන්නේ මහනුවර මහජන පුස්තකාලය. මේ පුස්තකාලය මේ රටටම ඓතිහාසික වශයෙනුත් වැදගත් වෙනවා.’’
බොහොම නැවතිල්ලේ පුස්තකාලයාධිපතිනිය පුස්තකාලයේ ආගිය කතාව අප හමුවේ තබන්නීය.
‘‘මේ පුස්තකාලේ පටන් අරගෙන තියෙන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිත කාලයේදී. 1841 අවුරුද්දේදි පටන් ගත්තු මේ පුස්තකාලේ තමයි ලංකාවේ මුල්ම මහජන පුස්තකාලේ විදිහට වාර්තා වෙන්නේ. මේක පටන් අරන් තියෙන්නේ ප්‍රධාන නාගරික පුස්තකාලය කියන තේරුමෙන්. ‘CENTRAL TOWN LIBRARY’ කියන නමෙන්. ඒ කාලෙදි පුස්තකාලය ඇති කරලා තියෙන්නේ උඩරට පළාතේ සේවයට ආපු බ්‍රිතාන්‍ය නිලධාරීන්ටයි, සොල්දාදුවන්ටයි SUBSCRIPTION LIBRARY ඒ කියන්නේ ග්‍රාහක පුස්තකාලයක් විදිහට. මුලින්ම මේ පුස්තකාලේ පිහිටුවලා තියෙන්නේ ත්‍රිකුණාමල වීදියේ. ඒ කියන්නේ දැන් ඩී.එස්. සේනානායක වීදිය විදිහට හඳුන්වන්නේ ඒ වීදියම තමයි. බ්‍රිතාන්‍ය පාලනය අඩපණ වෙන්න පටන් ගැනීමත් එක්ක මේ පුස්තකාලය නඩත්තු කරන එක, පවත්වාගෙන යන එක අමාරු වෙනවා. එතැනදී එයාලා තීරණය කරලා තියෙනවා මේ පුස්තකාලේ මහනුවර නගර සභාවට පවරන්න. ඒ තීරණයෙන් පස්සේ 1920 අවුරුද්දේ ඔක්තෝබර් පළමුවෙනිදා නිල වශයෙන් මහනුවර නගර සභාවට පවරා දීලා තියෙනවා. ඒ කියන්නේ දැන් තියෙන නගර සභාව නෙවේ, 1866 යටත්විජිත කාලයේ පිහිටු වූ නගර සභාවට. ලංකා සැසි වාර්තාවල සඳහන් වෙලා තියෙන හැටියට, ඒ කියන්නේ CEYLON SESSION AL PAPERS අංක XX {1921} දරන වාර්තාව යටතේ මේ සිදුවීම වාර්තා කරලා තියෙනවා.’’
හේරත් මහත්මිය පුස්තකාල අතීත කතාවස්තුව පැහැදිලිව කියා දෙන්නීය. ඕනෑම අඳුර වලාවක සැඟවුණු රිදී රේඛාවන් ඇත්තේය, යන කියමන සනාථ කරමින් බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයෙන් ලැබුණු යහපත්, අයහපත් උරුමයන් අතරට යහපත් යන වර්ණයෙන් යුත් මහජන පුස්තකාලය උරුම වීමේ කතාව අවසාන වුවද එහි මල්වරය සම්බන්ධ කතාවස්තුව තවමත් හේරත් මහත්මියගෙන් පිටවූවේ නැත. යෝධ කියවීම් ශාලාව පසු කරමින් ඇය නැවත අතීතයට ඇවිද යන්නට විය. ඒ අතරේ මහනුවර නගර සභාවට පවරන ලද පුස්තකාලය තම ඡන්ම භූමිය අතහැර වර්තමාන භූමියට පිවිසිය අයුරුද එහි විය.
‘‘මේ පුස්තකාලය නගර සභාවට පවරලා අවුරුදු විසි නවයක් වෙද්දි මේ පුස්තකාලය පිහිටලා තිබුණු ත්‍රිකුණාමල වීදියෙ භූමියෙන් පුස්තකාලේ අද වෙනකොට පුස්තකාලේ තියන තැනට ගේන්න කටයුතු කරලා තියෙනවා. ඒකේ මුල්ම පියවර විදියට 1950 අවුරුද්දේ මේ වර්තමාන ගොඩනැගිල්ලට මුල්ගල තියනවා. ඒ ලංකාවේ මුල්ම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා අතින්. ඊට අවුරුදු දොළහකට පස්සේ 1962 ඔක්තෝබර් 20 ලංකාවේ මුල්ම ආණ්ඩුකාරතුමා වෙච්ච විලියම් ගොපල්ලව මහත්තය අතින් විවෘත කරලා තියෙනවා. ඩී.එස්. සේනානායක මහජන පුස්තකාලය කියල නම් කරලා තියෙන්නේ මේ ගොඩනැගිල්ලට මුල්ගල තිව්වේ එතුමා නිසා, එතුමාව සිහිවෙන්න. මේ පුස්තකාලේ මුල්ම පුස්තකාලයාධිපති වෙලා ඉඳල තියෙන්නේ එම්. මුදන්නායක. දෙවනුව ඊශාදින් භායි කියන පුස්තකාලයාධිපති. මේ වෙනකොට පුස්තකාලය පාලනය වීම සිද්ධ වෙන්නේ නගරාධිපතිවරයා හා නාගරික කොමසාරිස්ගේ නියෝගයන්ට යටත්ව හා පුස්තකාල උපදේශක මණ්ඩලයක් මූලික වෙලා.’’
පුස්තකාල ගොඩනැගිල්ලට මුල්ගල් තැබූ පුද්ගලයා සිහි කිරීම එතුමාගේ නම යෙදීමට තරම් එවකට පුස්තකාල පරිපාලනය කෘතවේදී වී ඇත. මුල අමතක නොවීමේ ගුණයම මානව සංහතියේ කෙතරම් උදාර වූ ගුණයක්ද?
සැබෑ ලෙසටම මෙම පුස්තකාලය ආරම්භ කොට අවුරුදු 179ක් ගෙවී ඇත. එහෙත් බ්‍රිතාන්‍යයන් විසින් නිල වශයෙන් මහනුවර නගර සභාවට පුස්තකාලය පවරා දුන් දිනය විමසූ විට එදින සිට 2020 ඔක්තෝබර් පළමු වැනිදාට අවුරුදු සියයක් සපිරේ. පළමු උපත මෙන්ම දෙවැනි උපතද අභිමානයෙන් සමරන්නට ලංකාවේ ප්‍රථම මහජන පුස්තකාලය යන කිරුළ දරනා ඩී.එස්. සේනානායක පුස්තකාලය වාසනාවන්ත වී ඇත. උඩරට කිරුළක් වූ පුස්තකාලය සතු වත්කම, පහසුකම්ද එසේම අපමණය.
‘‘අපේ පුස්තකාලය සතුව ශාඛා පුස්තකාල වගේම කියවීම් ශාලා ගණනාවක් තියෙනවා. මාවිල්මඩ, අරුප්පල, මහාවැලි උයන, නවයාල තැන්න, වට්ටාරන්තැන්න, අස්ගිරිය, මහයියාව, නෙළුම් පොකුණ ආදී තැන්වල මේ ශාඛා පුස්තකාල පිහිටලා තියෙනවා. ඒ වගේමයි අපිට හුඟක් ආඩම්බරෙන් කියන්න පුළුවන් දෙයක් තියෙනවා තව. ලංකාවේ මුල්ම ළමා පුස්තකාලයත් ආරම්භ කරලා තියෙන්නේ මේ පුස්තකාලෙන්ම තමයි. 1983 අවුරුද්දේ ජුනි මාසේ 13 වැනිදාවක මේ ළමා පුස්තකාලේ පටන් ගත්තේ ඊ.ඇල්. සේනානායක ළමා පුස්තකාලය යන නමින්. මේ ළමා පුස්තකාලය සතුවත් ශ්‍රවණාගාරයක් තියනවා. ඒ වගේම කුඩා දරුවන්ගේ අධ්‍යාපනය, විනෝදාශ්වාද වැඩසටහන් නිරන්තරයෙන්ම අපි ක්‍රියාත්මක කරනවා. මේ ප්‍රදේශයේ ජීවත් වෙන වගේම මහනුවර නගර සභා සීමාව තුළ අධ්‍යාපනය ලබන දූ දරුවන්ට මේ ළමා පුස්තකාලය භාවිත කරන්න පුළුවන්. අපි ළමා පුස්තකාලෙටත් වැඩි අවධානයක් යොමු කරනවා. පුංචි දරුවන්ගේ ආකල්ප යහපත් වෙන තරමට මේ සමාජය ලෝකය යහපත් කරන්න පුළුවන්. අපේ මහජන පුස්තකාලය සතු පහසුකම් අතර ආසන පන්සියයක් තියෙන වායුසමීකරණය කරලා තියන ශ්‍රවණාගාරයක් තියනවා. 1989 අවුරුද්දේ තමයි මේ ශ්‍රවණාගාරය ඉදිකරලා තියෙන්නේ. ඒත් එක අවාසනාවන්ත සිද්ධියකටත් මේ පුස්තකාලය මුහුණ දුන්න. ඒ 2007 අවුරුද්දේදි මේ ශ්‍රවණාගාරය ගිනිගත්ත. ලංකාවේ විතරක් නෙවේ ලෝකේ විවිධ රටවල ජනමාධ්‍ය මේ සිද්ධිය වාර්තා කරලා තිබුණ. 1995 අවුරුද්දේදී ජපන් රජයෙන් දෙමහල් පුස්තකාල ගොඩනැගිල්ලක් ලබාදීල තියනවා.’’
විශාල පොත් රාක්ක අතරින් ඇවිද යන වත්මන් පුස්තකාලයාධිපතිනිය අපට එහි විවිධ වූ පුස්තකාල විද්‍යාවට ආවේණික ලක්ෂණද මතක් කර දෙයි. පුස්තකාලයේ සේවය කරනා නිලධාරීන් ඇතුළු සියලුම සේවකයන් තම තමන්ගේ රාජකාරියේ නියැළෙමින් සිටිති.
‘‘අපේ පුස්තකාලය ඇතුළේ ප්‍රධාන අංශ ගණනාවක් තියෙනවා. ප්‍රධාන කියවීම් ශාලාව, පොත් බැහැර දීමේ අංශය, විමර්ශන අංශය, පුවත්පත් කියවීම අංශය, වාර සඟරා අංශය වගේම ශ්‍රවණ හා කථන ආබාධිත පුද්ගලයන් සඳහා වන බ්‍රේල් අංශයකුත් තියනවා. 2010 අවුරුද්දේදි මේ බ්‍රේල් අංශය ආරම්භ වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා අන්ධ බල මණ්ඩලයේ සයිට් සේවක කාන්තා සංවර්ධන මණ්ඩලයෙන් ලැබුණු බ්‍රේල් පොත් එකතුව ඒ සඳහා විශාල සවියක් වෙලා තියෙනවා. ඒ වගේම 1998 අවුරුද්දෙදී ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයත්, මහනුවර නගර සභාවත් අතර සහයෝගිතා වැඩසටහනක ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දියානු පොත්පත් හා තොරතුරු ඇතුළත් ඉන්දියන් කොර්නර් එක ලැබුණ. 2005 අවුරුද්දේදි මහනුවර නගර සභාවත්, ඇමරිකානු තානාපති කාර්යාලයේ සහයෝගීතා වැඩසටහනකින් ඇමරිකන් කෝනර් එක ලැබිල තියෙනවා. ඒ වගේම තවත් වැදගත්ම දෙයක් තමයි අපේ ඒ ජංගම පුස්තකාලය. මේ පුස්තකාලය අපිට පරිත්‍යාග කරේ මහනුවර සිංහ සමාජය. මේ ජංගම පුස්තකාලයේ ගමන් වපසරිය නුවර නගරයේ ඉඳලා කිලෝමීටර ගණනාවක් දුරට යනවා. ඒ අතර කඳුරට ගුවන්විදුලිය, මාවිල්මඩ වැඩිහිටි නිවාසය වගේ ස්ථාන ගණනාවකටත් සේවය සපයනවා. ඒ වගේම අපි මේ ප්‍රදේශයේ තරුණ ප්‍රජාව වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඉංග්‍රීසි පාඨමාලා, රොබෝ ඉංජිනේරු තාක්ෂණය, ව්‍යවසාය පුහුණු, වීඩියෝ කතා නිර්මාණ, පරිගණක මෘදුකාංග භාවිතය. පරිසර වැඩසටහන් ආදියත් ඒ අතරේ තියෙනවා.’’
පුස්තකාලයක තොරතුරු අතර වටිනාම වස්තුවත්, තොරතුරත් පොත්පත්ම මිස අන් කවරක්ද? පුස්තකාල විද්‍යාවට අනුව පුස්තකාලයක පොත්පත් ඇතුළු ද්‍රව්‍යයන් සුවිශේෂී කොටස් වර්ගීකරණයන්ගෙන් යුක්තය.
ඉතා දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන ලංකාවේ ප්‍රථම මහජන පුස්තකාලය සතු වටිනා දුර්ලභ පොත් රාශියකි. ඒ අතර Ruins cities of Ceylon ග්‍රන්ථය හෙන්රි ඩබ්. කේට් විසින් ලංකාවේ ඉපැරණි නටබුන් නගර පිළිබඳ රචනා කොට 1897 වසරේදී ප්‍රකාශ කරන ලද ග්‍රන්ථයකි. එසේම ජෝර්ජ් බාන්ස් විසින් ලංකාවේ ඉතිහාසය හා සමකාලීන වර්තමාන තත්ත්වය පිළිබඳ දක්වමින් 1857 වසරේදී ප්‍රකාශයට පත්කළ Ceylon past and present ග්‍රන්ථයද මෙම දුර්ලභ එකතුවට වටිනාකම් තිළිණ කරමින් හිඳී. සර් ජේම්ස් විසින් රචිත Crisiiltiy in Ceylon ලංකාවේ ක්‍රිස්තියානි ආගමේ ව්‍යාප්තිය පිළිබඳ ලියවුණකි. 1898 වසරේදී ප්‍රකාශ කරන ලද ‘මහියංගණ විහාරය’ ග්‍රන්ථය අඹගස්වැවේ රතනජෝති හිමියන් විසින් ප්‍රකාශ කරන ලද්දකි. එසේම ඇලෙක්සැන්ඩර් කනින්හැම් විසින් රචිත ඉන්දියානු පුරාවිද්‍යාව පිළිබඳ කළ අධ්‍යයන පිළිබඳ රචිත Archaeological Servay of India ග්‍රන්ථය 1871 වසරේදී ප්‍රකාශ වූවකි. එසේම මෙහි ඇති දුර්ලභතම තොරතුරු එකතුවට අමිල වූ වටිනාකමකින් යුත් සිතියම් එකතූන් රැසක්ද වේ.
‘‘ඩී.එස්. සේනානායක පුස්තකාලයේ පොත් වර්ගීකරණය සිද්ධ වෙන්නේ ඩිවි දශම වර්ගීකරණයට අනුව අපේ සමස්ත පුස්තකාල පවුල සතුව මේ වෙනකොට සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන භාෂා තුන ඇතුළුව පොත්පත් එක්ලක්ෂ අනූ තුන්දහස් හත්සිය පනස් දෙකක ප්‍රමාණයක් තියෙනවා. ඒ අතර විශ්වකෝෂ, ශබ්ද කෝෂ, වාර්ෂික ග්‍රන්ථ, පුස්කොළ පොත් එකතුව, දුර්ලභ පොත් එකතුව, නීති අණපනත්, තොරතුරු තාක්ෂණ එකතුව, මහනුවර හා ලෝක උරුම නගර කෘති, පුවත්පත් ලිපි එකතුව, දේශීය හා විදේශීය ආයුර්වේද ග්‍රන්ථ වගේ විවිධ එකතූන් තියෙනවා. අපි මේ වෙද්දි පොත්පත් සොයා ගැනීමේ පහසුව පාඨකයන්ට ලබාදෙන්න අවශ්‍ය නවීන තාක්ෂණික ක්‍රම භාවිත කරනවා. අපේ පොත්වල තොරතුරු දත්ත පද්ධතිය සඳහා අපි ‘කොහා’ කියන මෘදුකාංගය අපේ පුස්තකාලයට භාවිත කරලා තියෙනවා. අපි පාඨකයන්ගේ සාමාජික කාඩ්පතත් මේ වෙනකොට ඉලෙක්ට්‍රොනික් කාඩ්පතක් විදිහට හඳුන්වල දීල තියෙනවා.’’
ලංකාවේ ප්‍රථම නාගරික පුස්තකාලයේ සාමාජිකත්වය ලබාගන්නේ කෙසේදැයි යන්න විමසීමේදී ඒ සඳහා නියමිත ක්‍රමවේද ගණනාවක්ද වේ.
‘‘මේ පුස්තකාලේ සාමාජිකත්වය ලැබෙන්නේ නගර බල ප්‍රදේශයේ හා නගර සීමාවෙන් පිටත්, සැතපුම් දහයක් ඇතුළත ස්ථිර පදිංචිය ඇති අයට වගේම නගර සීමාවේ පදිංචි හෝ නගර සීමාව තුළ රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු අයෙක් හෝ නගර සීමාව ඇතුළත ජාතික හෝ ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබන සිසුන්ට.’’
ඩී.එස්. සේනානායක මහජන පුස්තකාලය ආරම්භයේ සිට අද දක්වා පත්වී සිටින ප්‍රධාන පුස්තකාලයාධිපතිවරුන් ගණන දස දෙනෙකි. හේරත් මහත්මිය යනු ඒ දසවැනි පුරුකය. අද වනවිට මෙම පුස්තකාලයේ සේවය කරමින් සිටින සමස්ත පුස්තකාලයාධිපතිවරුන් සංඛ්‍යාව විසි දෙදෙනකු වන අතර, සමස්ත සේවක මණ්ඩලය හැට හතකි. මේ පිරිස මෙන්ම මෙතෙක් මෙහි සේවය කළ සියලු දෙනාටම ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය. ඔවුන්ගේ දහඩිය මහන්සිය, දැනුම නොවන්නට මෙවන් උරුමයක් මෙලෙස අභිමානවත්ව දකින්නට ඉඩක් නොලැබෙන්නට තිබිණි.
අවුරුදු සීයකට එහා ගිය අභිමානවත් අතීතයක් මෙන්ම සවිමත් මුදුන් මුලක් හිමි ඩී.එස්. සේනානායක පුස්තකාලය සෙංකඩගල පුරයට පමණක් නොව, සමස්ත මානව වර්ගයාටම මනුෂ්‍යත්වය බෝකරන්නා වූ දැනුම් බල කේන්ද්‍රයකි. සීමාවක් තුළ හිඳිමින් තම සේවාවන් ඉටු කළද එහි දැනුම නමැති කිරණ මුළු ලෝකයා වෙතම ගමන් කරන්නේය. ලෝකයාට පියාපත් සපයන මෙවන් පොත්ගුල් නිර්මාණය කළ සියලු ආදිතමයන්ට මෙන්ම මෙම ලංකාවේ ප්‍රථම මහජන පුස්තකාලයට හුස්ම දුන් බ්‍රිතාන්‍යයන්ටද අපේ ගරුත්වය හිස නවා පිදිය යුතු වන්නේමය.
සඳරැසී සුදුසිංහ
0 Comments:
Post a Comment