පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

Finding Freedom: Harry and Meghan and the Making of a Modern Royal Family (බ්‍රිතාන්‍ය රජ ගෙදරට රිංගා ලියූ අලුත් පොතක්)

 බ්‍රිතාන්‍ය රජ ගෙදරට රිංගා ලියූ  අලුත් පොතක්

උපුටා  ගැනීම සති අග අරුණ 


සහන් වික්‍රමගේ

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මෙගන් මාර්කල් මේ වනවිට සම්පූර්ණයෙන්ම වාගේ රජ පවුලෙන් ඈත් වූ දෙදෙනකු බවට පත්ව තිබේ. මේ වනවිට ඔවුන් ජීවත් වන්නේ ද බ්‍රිතාන්‍යයේ නොව ඇමෙරිකාවේ ය. පසුගිය වසරේ ඔවුන් දෙදෙනා රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකත්වයෙන් ඉවත් වීමට ගත් තීරණය දැඩි ආන්දෝලනයක් සහ කම්පනයක් ඇති කළ සිදුවීමක් වූ අතර ඒ පිළිබඳව විශාල මාධ්‍ය අවධානයක් ද යොමු විය. කෙසේ වෙතත් මේ වනවිට එම සිදුවීම් දාමය ගැන නැවතත් අවධානයක් යොමු වීමට පටන් ගෙන තිබේ. එයට හේතු වී ඇත්තේ හැරී සහ මෙගන් රජ පවුලෙන් ඈත් වීමට හේතු වූ තත්ත්වයන් පිළිබඳ රහස් රැසක් අඩංගු පොතක් මුද්‍රණයෙන් නිකුත් වීමට ආසන්නව තිබීමයි.

Finding Freedom: Harry and Meghan and the Making of a Modern Royal Family නමින් හැඳින්වෙන මෙම පොත අගෝස්තු මාසයේ වෙළෙඳපොළට නිකුත් වීමට නියමිතව තිබේ. නමුත් පොතෙහි අඩංගු කාරණා ගැන යම් යම් තොරතුරු මේ වනවිටත් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව ඇත. මෙම ග්‍රන්ථය රචනා කර ඇත්තේ ඔමිඩ් ස්කෝබි සහ කැරොලින් ඩියුරන්ඩ් යන දෙදෙනා ය. මෙය රචනා කිරීමේ දී ඔවුන් හැරී සහ මෙගන් සමග සාකච්ඡා කර නොමැති බව සඳහන් වුවත් එම යුවළට ඉතා සමීප බොහෝ දෙනෙකුගෙන් දැනගත් තොරතුරු මෙහි අඩංගු වන බැව් සඳහන් වේ. Finding Freedom පොතෙහි අඩංගු අනාවරණයන් නිසා රජ පවුල තවදුරටත් අපහසුතාවට පත්වනු ඇති බවට මේ වනවිට අදහස් පළවෙමින් තිබේ. එමෙන් ම හැරී-මෙගන් යුවළ සහ රජ පවුල අතර ඇති සබඳතා තවදුරටත් පලුදු කිරීමට මෙය හේතු වනු ඇති බව ඇතැම්හු පෙන්වා දෙති.

හැරී සහ මෙගන් දෙදෙනා විවාහ වීමට සූදානම් වූ කාලයේ පටන්ම එම යුවළ බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වූ අතර රජ පවුලේ සෙසු බොහෝ සාමාජිකයන්ට වඩා ජනප්‍රිය වන ආකාරයක් දැකිය හැකි විය. පොදු ජනතාවගෙන් ඈත් වෙමින් තිබූ රජ පවුල නැවත ඔවුන් වෙත සමීප කිරීමට හැරී-මෙගන් යුවළට හැකි වූ බවට පිළිගැනීමක් තිබේ. ඔවුන් දෙදෙනා ගේ මෙම ජනප්‍රියත්වය රජ පවුල හා සම්බන්ධ ඇතැමුන්ගේ සතුටට හේතු නොවූ බවක් ද මෙම පොතෙන් හෙළිදරව් වන බැව් සඳහන් ය. මේ දෙදෙනාගේ ජනප්‍රියත්වය රජ පවුලේ සෙසු අයගේ ජනප්‍රියත්වය ඉක්මවා යනු ඇතැයි යන බිය නිසා එම තත්ත්වය වැළැක්වීමට ඇතැමුන්ට අවශ්‍ය වූ බැව් ද පැවසේ. එමෙන් ම රජ පවුල හා බැඳුණු සාම්ප්‍රදායික කවවලට අයත් වූ ඇතැමුන් මුල සිටම මෙගන්ට කැමැත්තක් නොදැක් වූ බවක් හැරී ට දැනී තිබුණු බව ද සඳහන් වේ. මෙගන්ගේ ජීවිතය අපහසු කිරීම සඳහා ඕනෑම දෙයක් කිරීමට මෙම කණ්ඩායම් සූදානමින් සිටි බවක් ද හැරීගේ අදහස වී තිබේ.

තමා මෙගන් සමග විවාහ වන බව හැරී ඔහුගේ සොහොයුරු විලියම් සමග පැවසීමෙන් පසු ඔවුන් අතර බිඳීමක් ඇති වූ බව ද පැවසේ. විවාහ උත්සවය දක්වා කාලය තුළ බොහෝ හානිකර දේ කියැවුණු බවත්, බොහෝ හානිකර දේ සිදු වුණු බවත් ඉහත ග්‍රන්ථයෙන් අනාවරණය වන බැව් සඳහන් ය. 2017 වසරේ නොවැම්බරයේ දිනෙක විලියම් හැරී පසෙකට කැඳවා ‘මේ ගැන ඔබට හොඳටම විශ්වාසද?’ යයි අසා ඇත. ඔහු ඒ ආකාරයෙන් අසා ඇත්තේ මෙගන් සමග විවාහ වීම සම්බන්ධයෙනි. විලියම් සහ ඔහුගේ බිරිඳ කේට් ගෙන් මෙගන්ට හොඳ පිළිගැනීමක් නොලැබුණු බවක් ද Finding Freedom හි සඳහන් බැව් පැවසේ. හැරී-මෙගන් දෙදෙනාගේ ආදර සම්බන්ධය ගැන විලියම්ට යම් යම් ගැටලු තිබූ බවක් එකල මාධ්‍ය හරහා අනාවරණය විය. කලක් සහෝදරයන් දෙදෙනා එකිනෙකා සමග කතා නොකර සිටි බවට ද කතාවක් තිබිණි.

හැරී සහ මෙගන් පසුගිය වසරේ රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකත්වයෙන් ඉවත් වීම බොහෝ දුරට මෙගන්ගේ වුවමනාව මත සිදු වූවක් බවට ද අදහසක් පැතිර තිබිණි. ඒ හරහා ද ඇය පිළිබඳ ‘නරක’ ප්‍රතිරූපයක් ඇති කිරීමට ඇතැම් මාධ්‍ය පවා උත්සාහ ගෙන තිබෙනු දැකිය හැකි විය. නමුත් වෙනම ගමනක් යාම පිළිබඳවත්, තමාගේ ජීවිතය තමාට වුවමනා ආකාරයෙන් හැඩගසා ගැනීම පිළිබඳවත් අදහසක් හැරී තුළ ඇතිව තිබුණේ මෙගන් සමග විවාහ වීමට බොහෝ කලකට පෙර බව ද අනාවරණය වෙයි. විලියම් සහ හැරී සහභාගි වන රජ පවුලේ නිල කටයුතුවලදී තමාට ලැබෙන්නේ අඩු සැලකිල්ලක් ය යන හැඟීමක් හැරී තුළ තිබුණු බවක් ද ඔහු ට සමීප ආරංචි මාර්ග මාධ්‍ය වෙත හෙළිකර තිබූ බැව් සඳහන් ය.

රජ පවුල ට අදාළ රහස් රැසක් හෙළිදරව් කරන බව පැවසෙන Finding Freedom ප්‍රකාශයට පත් වූ පසු එය බෝම්බයක් පුපුරා යාමක් මෙන් වනු ඇති බව ට පසුගිය දිනවල මාධ්‍ය හරහා අදහස් පළ වී තිබිණි. සමහරුන් පවසා තිබුණේ මෙයින් වඩාත්ම අපහසුතාවට පත්වන පුද්ගලයා මහ රැජින වනු ඇති බවයි. මෙම පොත පරණ තුවාලයක් නැවත පෑරීමක් බඳු යයි ද තවත් ඇතැමුන් අදහස් දක්වා ඇත. පොත ලියූ ඔමිඩ් ස්කෝබී සහ කැරොලයින් ඩියුරන්ඩ් හැරී කුමරු ට සහ මෙගන්ට වඩාත් සමීප මාධ්‍යවේදීන් දෙදෙනෙකි. එම නිසා මෙම පොත හැරී සහ මෙගන් පිළිබඳ ඇති සමහර වැරදි අදහස් නිවැරදි කරන්නක් වනු ඇති බව බොහෝ දෙනාගේ අදහසයි. පොතට ඇතුළත් වන ඇතැම් තොරතුරු එහි කතුවරුන්ට ලැබුණේ හැරී සහ මෙගන් දෙදෙනාගෙන්ම ද වැනි සැකයක් ද මතුව තිබෙනු දැකිය හැකි විය. නමුත් හැරී සහ මෙගන් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ මෙම පොත සමග ඔවුන්ගේ එවැනි සම්බන්ධයක් නොමැති බවයි.

මේ අතර රජ පවුලේ ඇතැම් සහායකයන් විශ්වාස කරන්නේ මෙම පොත මගින් විලියම් කුමරු ගැන ‘නරක’ චිත්‍රයක් ඇති කිරීමට ඉඩ ඇති බවකි. අනාගතයේ රජකම භාර ගැනීමට සිටින විලියම් කුමරුට එයින් යම් බලපෑමක් එල්ල විය හැකි බව ද ඔවුන්ගේ අදහස බව පෙනේ. මෙම තත්ත්වය තුළ Finding Freedom පොත විලියම් කුමරු තුළ යම් නොසන්සුන්කමක් ඇති කරනු ඇතැයි මොවුහු සඳහන් කරති.

පොත වෙළෙඳපොළට නිකුත් වීමට නියමිතව ඇත්තේ අගෝස්තු මාසයේ වුවත් මේ වනවිටත් ඒ සඳහා අති විශාල ඉල්ලුමක් නිර්මාණය වී ඇති බැව් පෙනේ. Finding Freedom කලින් ඇණවුම් කිරීම සඳහා පාඨකයන්ට අවස්ථාව ලබා දී ඇති අතර ඇමසෝන් අඩවිය හරහා වැඩියෙන්ම පෙර-ඇණවුම් කරන පොත බවට එය පත්ව තිබේ.

රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකත්වයෙන් ඉවත් වීමෙන් පසු හැරී සහ මෙගන් වැඩි කාලයක් ගත කළේ බ්‍රිතාන්‍යයෙන් පිටත ය. මුලින් කැනඩාවේ කල්ගෙවූ ඔවුන් මාස 14 ක් වයසැති පුතු ආචි ද සමග මේ වනවිට ජීවත් වන්නේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ය. ඇමෙරිකාව තුළ තවමත් කොරෝනා වයිරසය වේගයෙන් පැතිරෙමින් ඇති පසුබිම තුළ ඔවුන් එහි අධි සුඛෝපභෝගී නිවසක ආරක්‍ෂාකාරීව, හුදෙකලාව කල් ගෙවන බැව් සඳහන් වේ.

මෙම නිවස ඔවුන් මිල දී ගත් නිවසක් නොවන අතර එහි හිමිකරුවා වන්නේ සුප්‍රකට ඇමෙරිකානු නළුවෙකු, චිත්‍රපට නිෂ්පාදකයෙකු වන ටයිලර් පෙරී ය. මෙම නිවසෙහි හැරී, මෙගන් සහ ආචි මේ වනවිට නතර වී සිටින්නේ තාවකාලිකවයි. මෙම සුපිරි නිවස ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක් පමණ වටිනා බව ද සඳහන් වේ. එය ලංකා මුදලින් රුපියල් කෝටි 275 ක් පමණ වේ.

සහන් වික්‍රමගේ

Share:

0 Comments:

Post a Comment

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235

Blog Archive