පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

හොඳ පොතක්ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයවිය හැකියි

 හොඳ පොතක්ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයවිය හැකියි



ලීලානන්ද වික්‍රමසිංහ (උපුටා  ගැනීම සති අග අරුණ )

දැන ගැනීමේ කැමැත්ත මිනිසාගේ මූලික අවශ්‍යතාවන්ගෙන් එකක්. එම ආශාව මුලදී මුදුන් පත්කර ගත්තේ අසා සිටීමෙන්. කියවීමට නැඹුරුවීමට බොහෝ පොත්පත් හා ලේඛන බිහිවිය යුතුවාක් මෙන්ම කියවන්නාගේ සාක්ෂර හැකියාවද අවශ්‍ය වෙනව.

මිනිසා මේ තත්ත්වයට යොමු වෙන්නේ කුඩා අවධියේ සිටයි. දරුවන්ට මුලින්ම හමුවන කියවන්නා අම්මාය. ඔහු අම්මාට සවන් දෙමින් දැනුම උකහා ගැනීමට යත්න දරනවා. අම්මා හැරුණු විට ආත්තම්මා සීයාගෙන් රසවත් ගී හා කතාන්තරවලට සවන් දීමට ඔහුට අවස්ථාව ලැබෙනවා.

ප්‍රකට ලේඛිකාවක වන චිලී ජාතික ඉසබෙල් අයින්දේ කියන්නේ ඇය තම ලේඛන කර්ය සඳහා කුඩා කාලයේ තම සීයාගෙන් ඇසූ කතාන්තර බෙහෙවින් උදවු වුණ බවයි.

එහෙත් ක්‍රමයෙන් මුද්‍රිත පොත් බිහිවීමත් සමග මේ තත්ත්වය වෙනස් වන්නට පටන් ගත්තා. ජාතක පොත එක් අයෙකු කියවන විට ඔහු වටා රැස් වූ පිරිස අසා ගෙන සිටීමේ පුරුද්ද ඇතිවුණා. එහෙත් මෑත කාලය වන විට මුද්‍රිත පොත් බිහිවීමෙන් පසුව තනි තනිව පොත් කියවීමේ පහසුකම් ඇති වී හුදකලාව කියවීමකට ජනතාව හැඩ ගැසුණා.

පොත් බෙහෙවින් මුද්‍රණය වීමත් සමගම ඒ හා බැඳි පාඨක පිරිසත් වැඩි වුණා. මින් පසු පොත් හුවමාරු කර ගෙන හා පුස්තකාලවලින් ලබා ගෙන කියවීමට අමතරව තමාම පොත් මිල දී ගෙන කියවීමට පවා පාඨකයන් පසුබට වූයේ නැහැ. කියවන පොත තමා සතු කර ගැනීමේ කැමැත්ත මත පොත් අලෙවියද වැඩිවුණා.

එම නිසා ලේඛක පිරිසද ඉහළ ගිය අතර ඒ ඒ ලෙඛකයන් ප්‍රිය කරන පාඨක පිරිස්ද බිහිවුණා.

පොත් මිනිසුන්ගේ ජීවිත සුවිශේෂ මගකට යොමු කරන හැරවුම් ලක්ෂ්‍යයක් හැටියට සලකන්නට පුළුවන්. ලොව බිහි වී ඇති විශිෂ්ටයන් බොහෝ දෙනෙක් පොත් ලෝලයන්ය. රුසියාවේ මැක්සිම් ගෝර්කි එයට හොඳ උදාහරණයක්. කුඩා කල සිටම පොත් කියවීම පුරුද්දක් කර ගත් මැක්සිම් ගෝර්කි ඒ සඳහා මහත් දුෂ්කරතා විඳිනවා. ඔහු පොත් කියෙව්වේ තමා විසින්ම සාදා ගත් ඉටි පහනක එළියෙන්. එසේ නොමැති අවස්ථාවල නිවසේ වහල මත නැගී සඳ එළියෙන් ද පොත් කියවා ඇති බව ඔහුගේ ළමාවිය පොතේ සඳහන් වෙනවා.

ඇමරිකාවේ ජනාධිපතිවරයකු වූ ඒබ්‍රහම් ලින්කන් පොත් කියවීමට දැඩි ආශා දැක්වූවෙක් හැටියට ප්‍රසිද්ධයි. ළමා හා යොවුන් වියේදී ඉතා දුක්බර දිළිඳු කැලෑබද ජීවිතයකට කොටු වී සිටි ලින්කන් පොත් කියවීම සඳහා එය බාධාවක් කර ගත්තේ නැහැ.

පොත් ගැනීමට මුදල් නැති නිසා ඔහු කෙත්වතුවල තිරිඟු කපා මිල මුදල් උපයා ගත් බව ප්‍රකටයි. පොත් ලබා ගැනීම සඳහා ඔහු සැතපුම් ගණන් පා ගමනින් නගරය කරා ගිය බව ඔහුගේ චරිතාපදානයෙහි සඳහන් වෙනවා.

ලක්ෂ ගණනින් යුදෙව්වන් මරා දැමීමට අණ දුන් ජර්මනියේ ඇඩොල්ප් හිට්ලර් ද බෙහෙවින් පොත් කියවීමට ඇබ්බැහි වූවෙක්. ඔහු සතුව විවිධ විෂයන්වල පොත් 11,000ක් පමණ තිබූ බව මිත්‍ර හමුදාවන් සොයාගෙන තියෙනවා.

පොත් කියවීමට එරෙහිවන විශාල තර්ජනයක් ලෙස දක්වන්නේ රූපවාහිනි, ෆේස් බුක් , ජංගම දුරකථන හා අන්තර්ජාලය වැනි නවීන තාක්ෂණික සංනිවේදන මාධ්‍යන්ට ඇබ්බැහිවීම ය. අද බාල ළමුන් පවා පොත් පසෙක තබා අන්තර්ජාලය හරහා කාටුන් වැනි සරල දේවල නිතර සැරිසරන බව පැහැදිලියය. මේවා ඉතා ඕලාරික ගණයේ සිල්ලර වින්දනයක් ගෙන දෙන ඵලදායි බවෙන් අඩු සාධක බව ඔවුන් දන්නේ නැත.

මෙසේ නව තාක්ෂණ මාධ්‍ය කෙරෙහි නැඹුරු වීමෙන් පොතකට හිමි තැන අහිමි වේ යයි යන ප්‍රවාදයේ පවසන තරම් සත්‍යයක් නැත. පුවත්පතක් හෝ පොතක් රැගෙන හුදකලාව එය කියවන තැනැත්තා ලබන විවේකී වින්දනය හා සතුට කිසිවිටකත් අඩු තක්සේරුවකින් සලකන්නට බැහැ. පොතකින් ලබා දෙන වින්දනය හා දැනුම් සම්භාර පරාසය ඉහත කී සාධක ඉක්මවා කියවන්නා තුළට ගමන් කොට එහි නිදන් ගත වෙයි.

ජීවිතයේ ඇතැම් බැරෑරුම් ගැටලු විශ්ලේෂණය කරමින් ඒවාට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අදහසක් පාඨකයා තුළ ඇති කිරීමට පොත් සමත් වෙනවා. එක් හොඳ පොතක් කියවීමෙන් කෙනකු විසි වසරක් ජීවත් වී ලැබිය නොහැකි අත්දැකීම් ලබා ගන්නා බව හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ කියා තිබෙනවා.

පොත් කියවීමෙන් ලොව නව දැනුම ලබා ගත හැකිවා පමණක් නොව එය නැවත නැවත කියවා දැන ගැනීමේ හැකියාව ලැබෙන්නේ පොත්වලින් පමණයි. මනස දැනුමෙන් සන්නද්ධ වීමෙන් පුද්ගල පෞරුෂය වර්ධනය වෙනවා පමණක් නොව ඔහු සිතින් මනා තෘප්තියක් ද ලබා ගන්නවා.

මිනිසා තුළ ඇති වන සෘණාත්මක ආකල්ප ධනාත්මක හොඳ මගකටද හැරවීමට හොඳ පොතකට පුළුවන්. පුද්ගල කුසීත බව නිශේධනය කොට මිනිසා සැලසුම් සහගත සුභාවිත පුද්ගලයකු බවට හැරවීමේ අත්ගුණය පොතකට තියෙනවා.

එමෙන්ම පොත් කියවීමෙන් ලැබෙන භාෂා ඥානය අමතක කරන්නට බැහැ. පද බෙදීම වාක්‍ය නිර්මාණය උපමා රූපක ධ්වනිතාර්ථ විශේෂිත යෙදුම්, විවිධ භාෂා රටාවන්, අක්ෂර වින්‍යාසය හා ව්‍යාකරණ විධි ඉගෙනීමේ අවස්ථාව පොත් පරිශීලනය කරන්නාට ලැබෙනවා.

කියවන්නා අතට පත්වී ඇත්තේ උසස් ගණයේ නවකතාවක් නම් එහි ඇතුළත් සිදුවීම් හා චරිත හා බද්ධවීමෙන් ඔහු ලබන වින්දනය කොතරම් බලවත්දැයි කිව හොත් ප්‍රායෝගික ජීවිතයේදී අන්තර්පුද්ගල සබඳතා මනාව පවත්වා ගැනීමට කියවන්නාට උදවු කරනවා.

ජීවිතයේ තනිකම මග හරවා ගැනීමට හොඳම මිතුරා වීමට පොතකට ලැබෙන ඉඩකඩ වැඩියි. ඔබ තවමත් පොත් නොකියවන්නකු නම් ඒ සඳහා යොමුවීමට තවම ප්‍රමාද නැහැ. කළ යුත්තේ වෙනත් කාරියකදී මෙන් එයටද ඇබ්බැහි වීමයි. එයින් කිසිදාක වැඩක් මිස අවැඩක් නම් වන්නේ නැහැ.

ලීලානන්ද වික්‍රමසිංහ

Share:

0 Comments:

Post a Comment

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235

Blog Archive