පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

Sen Katha -සෙන් කතා

 

   සෙන් කතා 

 10 ඔක්තෝබර්, 2020    (සිළුමිණ දීපානි අතිරේකයන් උපුටා ගන්නා ලද අතර  මෙහි කතුවරයා හට අපගේ ප්‍රණාමය පුද කරසිටිමු.  )

සමන් ගුණ­හේ­රත

ග්‍රන්ථය - සෙන් කතා 
කර්තෘ - සමන් ගුණහේරත් 
ස්වර්ණ ග්‍රන්ථ ප්‍රකාශකයෝ 
මිල රු. 200 
විමසීම් 070 3779139

ජෛව පැවැත්ම විශ්ව සත්‍යයක් වේ. ජීවය සැමවිටම අජීව තත්වයන්ගෙන් වෙනස් වන්නේ ඔවුන්ගේ ජෛවමය වෙනස් වීම නිසා ය. අවසන් විග්‍රහයේ දී ලෝකය නම් වූ ජෛවමය පැවැත්ම ද සනාතනික ධර්මතාව වන වෙනස්වීම මත රඳා පවතී. “සෑම දෙයක්ම වෙනස් වේ.” යනුවෙන් සෙන් බුදු සමය විසින් පෙන්වා දෙන්නේ ද ජීව පැවැත්ම යනු වෙනස් වීම ම බවයි. වෙනස් වීමෙන් තොර ජීවමය පැවැත්මක් නොමැති බවයි. ඒ බව අවබෝධ කිරීම යන්න බැහැර කිරීම හා සමපාත වේ. වරක් එක් ශිෂ්‍යයෙකු සිය ආචාර්යවරයා හමුවේ මෙසේ පැවසුවේය. “මගේ හිතේ කිසිවක් නැත්නම් මා කළ යුත්තේ කුමක් ද?” ගුරුතුමාගේ පිළිතුර වුයේ එය එළියට විසි කරන්න යන්නයි. ඉදින් තමාගේ මනසේ කිසිවක් නැත්නම් තමන් එළියට විසි කරන්නේ කුමක්දැයි ශිෂ්‍යයා නැවත විමසීය. “ඒක එළියට ගන්න” යැයි ගුරුවරයා කීය. ඒත් සමඟම බැහැර කළ යුතු දේ හා බැහැර කළ යුතු ආකාරය පිළිබඳව ශිෂ්‍යයා පැහැදිලි අවබෝධයක් ලැබුවේ යැයි එහි සඳහන් වේ.

බලාපොරොත්තු නොවන චංචල කම්පිත ප්‍රවාහයක් හමුවේ සිය ආස්ථානය සම්බන්ධයෙන් වියවුලට පත් වීම පෘථග්ජනයෙකු කෙසේ වුව පැවිද්දෙකු සම්බන්ධයෙන් නොවිය හැක්කක් නොවේය යන්න “අනිත් පැත්ත” නම් කතා පිංචෙන් අනාවරණය වේ. බෞද්ධ දර්ශනයේ ප්‍රබල පිළිගැනීමක් වන එළඹි සිහිය යන්න ඒ තුළ අන්තර්ගතව ඇත්තේ ය. ඒ අනුව තමා තමන් තුළම අතරමංවීම යන්න එහිලා ධ්වනිත ගැඹුරු යථාර්ථය වන්නේ ය.-සමන් ගුණහේරත් අතින් සම්පාදිත “සෙන් කතා” නම් සාහිත්‍යයික ව්‍යායාමය සම්බන්ධයෙන් ඔහුගේ හඳුනාගැනීම ප්‍රකාශයට පත් වී ඇත්තේ මේ ආකාරයෙනි. “සෙන් කතාවල එක් නිශ්චිත අරුතක් නැත. එය අසන අසන වාරයක් හෝ කියවන කියවන වාරයක් පාසා විවිධ අරුත් මතු කරයි. සෙන් ගුරුවරයන්ගේ අදහස නම්, එසේ එකම කතාව විවිධ අරුත් ඇති කරන්නේ ශ්‍රාවක/පාඨක මනසේ පරිණාමයට සාපේක්ෂව ය.”

“ලෝකය පුරා කතන්දර බොහෝ ඇත. ඒ සෑම එකකටම නිශ්චිත එක් අරුතක් ද ඇත. ඒ නිශ්චිත එක් අරුතක් ඇති කතාවක, හාස්‍ය, උපහාසය, අවවාදය හෝ ආදර්ශයක් තිබූ පමණින් එය සෙන් කතාවක් නොවේ. මතක තබාගත යුතුම දේ නම් සෙන් කතාවක නිශ්චිත එක් අරුතක් නොමැති බවම ය.” මේ කරුණ තවදුරටත් සනාථ කරන නිදර්ශනයක් හැටියට “ඉදිරියට” යන කතා පිංච පෙන්වා දිය හැක.

එක් ශිෂ්‍යයෙක් සිය ඇදුරු හමුවේ පෙනී සිටිමින් තමන්ට භාවනාව දුෂ්කර කටයුත්තක් යයි පවසද්දී, ගුරුතුමාගේ පිළිතුර වී ඇත්තේ ඉදිරියට යන්න යනුයි. පසු කලක භාවනාව ඔහුට පහසුවක් මෙන්ම සුවයක් වු කල්හි ඔහු එය ද සිය ඇදුරු හමුවේ පවසා ඇත. එවිට ද ගුරුතුමාගේ පිළිතුර වී ඇත්ෙත් පෙර කී දේම ය. මෙම කතාවෙම (මම එසේ සිතමි.) ඉංග්‍රීසි පරිවර්තනයක් කියවු මා හට ගුරුතමාගේ පිළිතුර දැකිය හැකි වූයේ “එය අතීතයට එකතු වුවක්ය” යනුවෙනි. ඒ අනුව ගුරු භික්ෂුවගේ කෙටි පිළිතුර අපට පැහැදිලි කරන්නේ (කතාවට අනුව) අපහසුව හෝ සුවය යන සංසිද්ධීන් හමුවේ කරදරයට පත් වෙමින් හෝ අමන්දානන්දනයට පත් වෙමින් ඔබ නැවතී සිටීම නොකළ යුත්තක් බවයි. මන්ද එය ඊළඟ මොහොතේ අතීතයට එක්වන බැවිනි. ඒ නිසා ඔබ ඉදිරියට යා යුතුව තිබේ. මක් නිසාදයත් නිත්‍යතාව වන්නේ අනිත්‍යතාවම වන හෙයිනි. ප්‍රබල අරුත් සහිත කියවීම් ගණනාවකින් යුත් මෙහි දී එක් සෙන් ගුරුවරයෙකු කී උපමා කතාව “කුලප්පු වූ අශ්වයා” යන්න ප්‍රබල කියවීමක් යැයි සිතමි. ඊට අනුව හැල්මේ දිවෙන කුලප්පු වූ අසෙකු පිට අසරුවා සිටියේ ඌ පාලනය කරගැනීමට කොහෙත්ම පුළුවන් තැනක නොවේ. ඔහු සිටියේ අසුගේ කුලප්පුව තුළ තවදුරටත් එරී යමිනි. එදෙස බලමින් බැහැර සිටි අයෙකු මේ කොහේ යන්නේදැයි ඇසු කල්හි ඔහු දුන් පිළිතුර වන “දන්නෙ නෑ, අශ්වයගෙන්ම අහන්න” යන්න හුදු හාස්‍යයක් ඇති කරන්නක් ලෙසින් පමණක් වටහා නොගත යුතුය. අසුගේ කුලප්පුව ජීවිතයේ ව්‍යසනයක් වශයෙන් වටහා ගත් විට ඔහු දෙන පිළිතුර අපට පෙන්වා දෙන්නේ එකී ව්‍යසනය අවබෝධ කරගනීමේ හැකියාවක් ඔහුට නැති බවයි. ඉදින් එය පාලනය කරගන්නට ඔහු සමත් වන්නේ කෙසේ ද? -වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන සමන් ගුණහේරත් 80 දශකයේ සිට කවියෙකු කෙටිකතාකරුවෙකු හැටියට ඉදිරියට ආ මේ වන විට කාව්‍ය සංග්‍රහ දෙකක්ම පළ කොට ඇති අයෙකි. වෛද්‍ය මනෝචිකිත්සකයෙකි. සිය පියාගෙන් ලද ආභාසය හා කියවීම මත මෙම කෘතිය සම්පාදනය කරන ඔහු එහිලා වෙසෙස් හැදෑරීමක් තවදුරටත් සිදු කරන්නේ නම් එහි එන ගැඹුරු අරුත් විවරණ පිරිසිඳ දැන ඒ අනුව තම ලේඛකත්වය තවදුරටත් ඉදිරියට ගෙන යන්නේ නම් එය ඔහුගේ කවීත්වයට ප්‍රබල දීප්තියක් ලබා දෙනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි. එහෙත් වැදගත්ම කාරණය වන්නේ ජීවන මෙන්ම දෘෂ්ටිමය වටිනාකමකින් තොරව බොහෝ දුරට වල් වැදෙමින් පවතින්නා වු සිංහල සාහිත්‍යය ඒ නිසා ලබන්නා වු ප්‍රති දීප්තියයි.

ත්‍සන් ගුරුතුමා හමු වූ ශිෂ්‍යයෙකු තමාට සෙන් ධර්මය උගන්වන්න යැයි ඉල්ලා සිටියේ ය. ඔබ දහවල් ආහාරය ගත්තේ දැයි එවිට ගුරුතුමා ඇසී ය. සිසුවා එය එසේ යැයි කී කල්හි ගුරුතුමාගේ පිළිතුර වුයේ එසේ වී නම් ඒ ඉඳුල් ආහාර බඳුන් සෝදා පැමිණෙන්න යන්නයි.

ඒ කතාවෙන් කියවෙන සත්‍යය ඔබ විසින් පසක් කළ යුතුව තිබේ. ඉඳුල් ආහාර බඳුන සෝදා පිරිසිදු කරන්න යන්නෙහි අරුත සුපේෂල වුත්, පිරිසිදු වුත් සුදානමකින් ඔබ නැගී සිටිය යුතුය යන්න ය. ඒ සෙන් දහම ඉගෙනීමට පමණක් නොවේ. යහපත් පැවැත්මක් ඔබ තුළ වගාකර ගැනීම වෙනුවෙන් ද එය අවශ්‍ය වේ. එකල්හි බොහෝ අපහසුකම් මැද වුව ඔබට ඔබේ ජීවිතය පහසුවක්ම වන්නේ ය.

Share:

0 Comments:

Post a Comment

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235

Blog Archive