පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

Showing posts with label Books Review (ග්‍රන්ථ විචාර ). Show all posts
Showing posts with label Books Review (ග්‍රන්ථ විචාර ). Show all posts

sky light - පියැසි කවු­ළු­ව

 පියැසි කවු­ළු­වෙන් දුටු ජීවි­තය ඒ කෙසේද යත්...


2020/11/15 දින සිළුමිණ පත්‍රයේ දීපානි අතිරේකයෙන් උපුටා ගන්නා ලදියි 

ග්‍රන්ථය - පියැසි කවු­ළුව

පරි­ව­ර්ත­නය - සුභා­ෂිණි චතු­රිකා

සුභාවි ප්‍රකා­ශ­න­යකි

මිල රු. 750 (පිටු 360)

“ජොසේ සර­මාගෝ යනු නොබෙල් සාහිත්‍ය සම්මා­න­යෙන් පිදුම් ලද පළමු පෘතු­ගීසි පුර­වැ­සියා ය. ඒ 1998 වසරේ දී ඔහුට වයස අවු­රුදු 76 ක්ව තිබිය දී ය. ඔහුට ගෙවා දැමී­මට සිදු වුයේ ඉතා­මත් දුෂ්කර ජීවි­ත­යකි. ආර්ථික අප­හ­සු­කම් නිසා නව යොවුන් වියේ දීම යාන්ත්‍රික ශිල්පි­යෙකු ලෙස සේවය කිරීම ඇරඹූ අතර තවත් වෙනත් වෘත්තීන් ගණ­නා­ව­කම යෙදෙන අත­ර­වා­රයේ ඔහු නොන­ව­ත්වාම සාහි­ත්‍ය­යට පෙම් බැන්දේ ය.”

“ස්කයි ලයිට්” කෘතිය ලියු ජොසේ සර­මාගෝ නම් ලේඛ­ක­යාගේ ජීවි­තය ගැන සාමාන්‍ය අව­බෝ­ධ­යක් හෝ සිංහල පාඨ­ක­යාට තිබී­මට පුළු­ව­න්ක­මක් නැත. ඔහු ඒ තර­ම­ටම මෙර­ටට ආග­න්තු­ක­යෙකි. ඉහත කෘතිය සිංහල බසට නැගෙන්නේ ද පළමු වතා­වට යැයි සිතමි. ඒ සුභා­ෂිණි චතු­රිකා අතිනි. මෙම කෘතියේ අත් පිට­පත බොහෝ කාල­යක් අස්ථා­න­ග­තව පැවත පසුව ඔහුට හමු වූවක් වන අතර තමාගේ මර­ණය දක්වාම මෙය මුද්‍ර­ණ­යෙන් එළි දැක්වී­මට ඔහු කැමති වී නැත. ඒ අනුව මෙය ප්‍රකා­ශ­යට පත් වන්නේ ඔහුගේ මර­ණ­යෙන් පසුව ය.

“සර­මාගෝ කවි­යෙකි. නව­ක­තා­ක­රු­වෙකි. ජන­මා­ධ්‍ය­වේ­දි­යෙකි. නාට්‍ය පිට­පත් රච­ක­යෙකි. පරි­ව­ර්ත­ක­යෙකි. එසේම පෘතු­ගීසි සමා­ජ­වාදී පක්ෂයේ කමිටු සාමා­ජි­ක­යෙකු ද වු ඔහු පෘතු­ගා­ලයේ කැපී පෙනුණු දේශ­පා­ලන ක්‍රියා­කා­රි­ක­යෙකි. ඔහුගේ සාහිත්‍ය නිර්මාණ ද බොහෝ­ම­යක් ඔහු විශ්වාස කළ දේශ­පා­ලන ලක්ෂණ ඉස්මතු කිරීම සුලබ ලක්ෂ­ණ­යක් බව කිව හැක.”

නාග­රික සමාජ සංස්කෘ­ති­යක් හමුවේ මහත් සේ වෙහෙ­සින් ද, ඒ නිසාම උපන් අතෘ­ප්ති­යෙන් ද යුතුව ජීව­ත්වන ඒ මිනි­සුන්ගේ පැවැත්මේ වේද­නාව විස්තර වී ඇති ආකා­රය ඇත්ත­ටම ඛේද ජනක ය. පරි­ව­ර්ති­කාව හඳුන්වා දෙන අන්ද­මට එතෙක් කිසිදු ලේඛ­ක­යෙකු අත නොතැබු ඔවුන්ගෙ විවා­හික ලිංගික බල­හ­ත්කා­රය, සම­රිසි ලිංගික සබ­ඳ­තා­වන් ගෘහස්ත අප­යෝ­ජ­නය, ගණිකා වෘත්තිය යන මේ සම­ස්ථා­ර්තය සමඟ හැසි­රෙන චරිත සමු­හ­ය­කින් යුත් නව­ක­තා­වක් බවට පියැසි කවු­ළුව පත් වේ.

පාළු­වෙන් වියළී ගිය ඒ ශෝකි ජීවිත වල වේද­නාව පිට­වුයේ කෝපා­න්විත වුත්, ඇතැම් විට මනුෂ්‍ය විරොධි වුත් හැඟීම් හා ක්‍රියා­කා­ර­කම් වේශ­යෙන් විය යුතුය. නමුත් “මේ සියල්ල පිළි­බ­ඳව කතා කිරී­මට වෙනත් විදි­හක් ඇත“ යි ඔහු ලියා ඇත. අනිත් අතට ඒ ජීවිත ඔහුගේ ජීවි­ත­යන් පරි­බා­හිර වුවක් ද නොවන පසු­බි­මක “සර­මාගෝ ගෙවා ඇත්තේ වියළි කාන්තාර මෙන්ම චණ්ඩ කුණාටු ද පසු­කර ගෙවුණු ජීවි­ත­යක් නිසා ඔහු එසේ කියනු ඇත.”

තවද “ඔහු තුළ පසු කලෙක ඇතිවු සාහි­ත්‍ය­යික ආවේ­ශ­යන් සිය­ල්ලම එහි ඇත. එය හරි­යට ඉදි­රියේ දී එළි දැක්වී­මට නිය­මි­තව තිබූ ඔහුගේ කෘති­වල සිති­ය­මක් මෙනි. තරුණ හාද­යෙ­කුට මේ තරම් පරි­ණ­තත භාව­ය­කින් ඒසා විශ්වා­ස­ය­කින් යුතුව ලිවී­මට හැකි වූයේ කෙසේ ද? ....ඔහුගේ ප්‍රඥාව සහ එසේ සියුම් ලෙස චරිත ගොඩ නැංවී­මට කිසිඳු වැද­ගැ­ම්ම­කට නැත්තාක් මෙන් පෙනෙන බොහෝ­ම­යක් සිදු­වීම් තුළ ඇත්තා වු ගැඹු­රත්, සාමා­න්‍ය­ය­ත්ව­යත් මතු කර­ගැ­නී­මට නොකැ­ල­ඹුණු සැහැසි බව­කින් යුතුව කිසි­යම් සංවා­ද­යක් ගොඩ­නැ­ගී­මට ඔහු සතුව තිබූ හැකි­යාව ඔහු ලබා ගත්තේ කොතැ­නින්ද?”

ජොසේ සර­මාගො පද­නමේ සභා­ප­ති­නිය ව පිල්දෙල් රියෝ පව­සන අන්ද­මට එය මෙසේ ය.

“රස්සාව යාන්ත්‍රික ශිල්පි­යෙකු එව­කට කාර්යාල සේව­ක­යෙක් වු ඔහු කුලී නිවාස සංකී­ර්ණ­යක ජීව­ත්වන දුගී වැසි­යන්ගේ මුළු විශ්ව­යම සිය භාර­යට ගැනී­මට තරම් නිර්භීත වුයේ ය. ඒ හුදෙක් ඔහුගේ සහජ ඥානය සහ පෙසෝවා, ශේක්ස්පි­යර් ඒ සාද කෙරොස්, දිදරො සහ බිතෝ­වන් වැන්න­වුන්ගේ සෞන්ද­ර්යා­ත්මක ඇසුර නිසා ය.”

තවද තමන් වෙත නැමුණු සංය­ම­යෙන් ගත කරන්නා වු ජීවිත සුළු කාල­ය­කට හෝ කඩා බිඳ දැමීම සඳහා ආද­රය සොයා යෑමේ වුව­ම­නා­වෙන් සිටින්නා වූ නිද­හස් හුදෙ­කලා මිනි­සුන් පියැසි කවු­ළුව නමින් සිංහ­ලට පරි­ව­ර්ත­නය වන මෙම කෘතිය තුළ ප්‍රති­නි­ර්මා­ණය වෙමින් හැසි­රෙනු දැකිය හැකි ය. එවැනි ජීවිත විව­ර­ණ­යක් හුදෙක් ජොසේ සර­මාගෝ නම් කර්තෘ­ත්වය වෙතින් ද එහාට ගිය සිති­ය­මක් තවද අපේම වන සිතී­මක් වෙනු­වෙන් අප හමුවේ තබන්නා වු කිය­වී­මක් වන්නේ ය. නමුත් ඒ වෙනු­වෙන් ඔහු ගත් උත්සා­හය, ධෛර්යය තව­දු­ර­ටත් ඔහු වෙත ම රැඳී පව­තිනු ඇත. එය එසේ ප්‍රති­නි­ර්මා­ණය කිරී­මේලා ඔහුට වූ කුස­ල­තාව මොහො­ත­ක­ට­වත් ඔහු­ගෙන් එහාට නොයනු ඇත.

“මගේ මුළු ජීවිත කාල­යේ­දීම මා දැන සිටි ඥාන­ව­න්තම මිනිසා කිය­වී­මට හෝ ලිවී­මට දැන සිටියේ නැත. හිමි­දිරි පාන්දර හත­රට ප්‍රංශ භූමි­යට ඉහ­ළින් නව දව­සක් උදාව එකෙල මෙකෙල වෙමින් තිබෙන මොහොතේ, ඔහු වැතිර සිටි පිදුරු මෙට්ට­යෙන් ඈත් වී, දුසිම් බාග­යක් ඌරු රංචුව තණ පිට්ට­නි­යට රැගෙන යයි. තම බිරිඳ සමඟ ඔහු බඩ වියත රැක ගන්නේ ඒ ඌරු රැළ විසින් උප­ද්දන පැට­වුන් මගිනි.” 1998 වසරේ නොබෙල් ත්‍යාගය පිළි­ග­නි­මින් ඔහු කළ දෙසුම ආරම්භ වන්නේ එසේ ය.

ජීවි­තය කොයි තරම් දුරට පර­මා­දර්ශ විර­හිත, ඒ තර­ම­ටම පර­මා­දර්ශ නිර්මා­ණය කරන පාළු එමෙන්ම අසී­මිත අත්දැ­කී­මක් දැයි වටහා ගැනී­මට නම් අප අප­වම අත්හැර අපේම පැවැත්ම දෙස බැලිය යුතු ය. ජොසේ සර­මාගෝ කර ඇත්තේ ද එයයි.


Share:

සෝදිසි වරෙ­න්තුව - Search Warrant

 

ග්‍රන්ථය- සෝදිසි වරෙ­න්තුව

පරි­ව­ර්ත­නය - එස්. නන්ද­ලාල්

සුභාවි ප්‍රකා­ශ­න­යකි.

මිල රු. 350 

එස්. නන්ද­ලාල්


ඔහු උපත ලබන්නේ දෙවැනි ලෝක යුද්ධය අව­සන් වී දින 10 කට පසු ය. ඔහු ලියු “සර්ච් වොරන්ට්” කෘතිය නොබෙල් සම්මා­න­යට ලක් වන්නේ යුද්ධය අව­සන් වු පසුත් අතු­රු­ද­හන් `නොවු එහි අමා­නු­ෂීය හෙව­ණැලි ප්‍රකට කරන සාහිත්‍ය කෘති­යක් හැටි­යට ය එහි කතු­ව­රයා ප්‍රංශ ජාතික පැට්‍රික් මොඩි­යානෝ ය. පසු­ගිය සාහිත්‍ය මාසයේ දී එය සිංහ­ලට නැගෙන්නේ “සෝදිසි වරෙ­න්තුව” නමිනි. පරි­ව­ර්ත­කයා එස්. නන්ද­ලාල් ය.

අට වස­ර­කට පෙර නැතිවූ තරු­ණි­යක සම්බ­න්ධ­යෙන් පුව­ක්පත් දැන්වී­මක් කථ­ක­යාගේ නෙත ගැටෙයි. කතාව ඇර­ඹෙන්නේ එතැ­නිනි. ඔහු ඒ තරු­ණිය සොයා යෑමට තීර­ණය කරයි. එහෙත් එය වනාහි ෂර්ලොක් හෝම්ස් වර්ගයේ සොයා යෑමක් නොවේ. ඔහු යන්නේ එහෙම පිටින්ම සමාජ දේශ­පා­ල­නික වු ගම­නකි.

ඒ ජර්මානු නාසින් ප්‍රංශය ආක්‍ර­ම­ණය කළ කාල­යයි. ඒත් සම­ඟම නිර්මා­ණය වූයේ ප්‍රංශයේ විසු යුදෙ­ව්වන් ද සමූ­ල­ඝා­ත­නය වීමේ ඉර­ණ­මයි පරි­ව­ර්ත­කගේ පෙර­ව­දන එය අපට මෙසේ පෙන්වා දෙයි.

“මොඩි­යා­නෝගේ ගද්‍යය වටහා ගැනී­මට අප­හසු නැත. එහෙත් ඒවා - අඩු - බවින් පිරිලා ය. තමා උපත ලැබු 1945 වසරේ තමා නොදන්නා බොහෝ මිතුරෝ අතු­රු­ද­හන් වුහ යි ඔහු ලියයි. -නොදන්නා මිතු­රන් - අපුරු ෙයදු­මකි. .....මම ඩෝරා බෘඩර් (අතු­රු­ද­හන් වු තරු­ණිය) ගැන සිතමි. එත­රම් ළාබාල වය­සක දී මුළු ලෝක­යම ඇයට විරුද්ධ වුයේ මන්දැයි නොදැ­නම.”

කෘතියේ විශේ­ෂ­ත්වය වන්නේ පැට්‍රික් මොඩි­යානෝ නොබෙල් සම්මා­නය ලබ­මින් කළ දේශ­නය ද ඊටම එකතු කර­මින් පාඨ­ක­යාට පළල් අව­ස්ථා­වක් ලබා දීම ය. මොඩි­යානෝ මෙසේ පව­සයි. ඒ තමන් ලියු කෘතියේ සමාජ දේශ­පා­ලන වට­පි­ටාව සම්බ­න්ධ­යෙනි.

“පිට­වීමේ දී ඕනෑම කෙනෙකු ප්‍රහා­ර­යට ලක් වීමේ හෝ වට­කර පැහැ­ර­ගනු ලැබී­මට හැකි දුස් ස්වප්න­යක සිටි මේ පැරිස් මෙට්‍රො දුම්රිය ස්ථාන­යෙන් සාම කාලය තුළ කිසි දිනෙක මුණ නොගැ­සුණ මිනි­සුන් අතර අහඹු රැස්වීම් පැවැ­ත්විණි. ඇඳිරි නීතියේ තිමි­රය තුළ බිඳෙන සුලු පෙම් සබ­ඳතා ඇති විය. නැවත දිනෙක හමු­වීමේ නිශ්චිත බවක් නොති­බිණි.”

එහිදී “ලේඛ­ක­යෙකු ඔහු දේශ­පා­ලන ක්‍රියා­මාර්ග වලට සෘජුව සම්බන්ධ නොවු­වත්, ඔහු ජනයා -ඇත් දළ තුළු­ණස ලෙස හඳු­න්වන අව­බෝ­ධ­නීය තත්වය තුළ තම නමින් හැඳි­න්වෙන දේවල් වසා දමා ඇති හුදෙ­කලා පුද්ග­ල­යෙකි, යන හැඟීම ලබා දුන්න ද ඔහු උපන් වක­වා­නුව අනුව නොමැ­කෙන ලෙස සල­කුණු කර ඇති බට සාක්ෂි මෙහි දැක්වේ. ඔහු කවි ලියන්නේ වුව ඔහුගේ නිර්මාණ තමා ජීව­ත්වන කාලය පිළි­බිඹු කරන අතර ය. වෙනස් වූ යුග­යක ලිවී­මට නොහැකි ය.”

ඒත් සම­ඟම කලාවේ සර්ව­කා­ලී­න­ත්වය සම්බ­න්ධ­යෙන් ඔහු දක්වන අද­හස් ද මීට ම අදා­ළව මහත් වටි­නා­ක­මක් ගෙන දෙතැයි මම සිතමි.

“ඕනෑම කලා­ක­රු­වෙකු මෙන් ලේඛ­ක­යෙකු ද සිය යුග­යට තදින් බැඳී සිටින අතර එයින් ගැල­වී­මට නොහැකි වන පරිදි සෑම විට ම තම කෘතියේ කාලා­නු­රූපි යමක් ප්‍රකාශ කිරී­මට සමත් වේ. ඔහුට ආශ්වාස කළ හැක්කේ කාලයේ ගති සොබාව පමණි.

රැසින් (17 වන සිය­වසේ ප්‍රංශයේ විසු ශ්‍රේෂ්ඨ­තම නාට්‍ය­ක­රු­වන් තිදෙ­නා­ගෙන් කෙනෙකි.) හෝ ශේක්ස්පි­යර් නිර්මා­ණ­වල දී චරිත ඒ යුගයේ ඇඳු­මින් සැරසී සිටි­නවා ද නැත්නම් අධ්‍ය­ක්ෂ­ව­ර­යාට රුචි පරිදි ජීන්ස් සහ ලෙදර් ජැකට් ඇන්ද­වී­මට අවශ්‍ය ද යන්න වැද­ගත් නොවේ. මේවා නොවැ­ද­ගත් තොර­තුරු ය. සිය­වස් එක­හ­මා­ර­කට පසු තොල්ස්තෝයි කිය­වන විට අපට ඇනා කැර­නිනා සමීප බවක් දැනෙන අතර ඇය 1970 මෝස්ත­රයේ ඇඳුම් ඇඳ­ගෙන සිටින බව අපට අම­තක ය. එඬ්ගාර් ඇලන් පෝ, මෙල්විල් හෝ ස්ටෙන්ඩල් වැනි ලේඛ­ක­යන් ඔවුන්ගේ අභා­ව­යෙන් සිය­වස් දෙක­කට පසු අද පවා ඔවුන්ගේ සම­කා­ලී­න­යන්ට දැනු­නාට වඩා අපට සමීප ය.”

“විසි­වන සිය­වසේ ලේඛ­ක­යෙ­කුට ඇතැ­ම්විට තමා සිය කාලය තුළ සිර­ගත කරනු ලැබ ඇති බවක් හැගෙ­න්නට පිළි­වන. 19 වන සිය­වසේ ශ්‍රේෂ්ඨ නව­ක­තා­ක­රු­ව­න්වන තොල්තෝයි දොස්තොව්ස්කි කිය­වී­මෙන් යම් ආකා­ර­යක අතීත රංජ­ව­යක් ඇති විය හැකි ය.

ඒ දව­ස්වල කාලය අදට වඩා සෙමින් ගෙවී ගිය අතර ඒ මන්ද­ගාමී බව නව­ක­තා­ක­රුගේ කාර්ය­භා­ර­යට ගැළ­පුණේ එය ඔහුගේ ශක්තිය සහ අව­ධා­නය පෙළ ගස්ව­න්නට ඔහුට ඉඩ සලසා දුන් බැවිනි. එතැන් පටන් කාලය වේග­වත් වී ඇති අතර, ඉදි­රි­යට ගමන් කළේ නැවති නැවතී ය. සාහි­ත්‍යය යනු මන්දිර නම් අතී­තයේ දී ඒවා ආසන දෙව් මැදුරු මෙන් වු අතර අද නිකම් ආවට ගියාට ඉදි කළ ගෙවල් මෙනි. වෙනස ඒය.

මේ දෘෂ්ටි කෝණ­යෙන් බලන කළ මා අයත් වන පර­ම්ප­රාව සංක්‍රාන්ති පර­ම්ප­රා­වක් වන අතර, අන්ත­ර්ජා­ලය, ජංගම දුර­ක­ථන, ඊ මේල් සහ ට්විටර් සමඟ උපත ලබන ඉදිරි පර­ම්පරා සාහි­ත්‍යය තුළින් සිය සංක­ල්පනා ප්‍රකාශ කරන්නේ කෙසේද යන්න ගැන දැන­ගැ­නී­මට මට කුතු­හ­ල­යක් ඇත.” එහෙත් ඔහු ඒ සම්බ­න්ධ­යෙන් සුබ­වාදී බලා­පො­රෝතු ඇති කර­ගෙන ඇත.

සාහි­ත්‍යයේ පැවැත්ම සම්බ­න්ධ­යෙන් ඔහුගේ ඒ අද­හස් ඔබට පෙන්වන මග සත්ත­කින්ම නුත­නයේ ලා අව­ශ්‍යම තත්ව­යක් වේ.

කාලය මඟහැර ඔබට කිසි­වක් ලිවිය නොහැක


වර්‍ෂ 2020ක් වූ නොවැම්බර් මස 01 වැනිදා ඉරිදා සිළුමිණ පුවත්පතේ දීපානි අතිරේකයෙන් උපුටා ගණන ලදියි 

Share:

ID - මොහාන් රාජ් මඩවල

 



වර්‍ෂ 2020ක් වූ නොවැම්බර් මස 01 වැනිදා ඉරිදා සිළුමිණ පුවත්පතේ දීපානි අතිරේකයෙන් උපුටා ගණන ලදියි 

මං මේ කතාව මෙහෙම පටන් ගන්නම්. මේ බලන්න. මේ මොබ­යිල් ෆෝන් එක. මට නං මේක මාර ෆැන්ට­සි­යක්. මගේ පහු­ගිය නව­කතා කිය­වලා හුඟක් දෙනෙක් අහපු ප්‍රශ්න­යක් තමයි ඇයි හැම­දාම ඉති­හා­සය ෆැන්ට­සි­යක් කර­ගන්නෙ, ඇයි වර්ත­මා­න­යට එන්නෙ නැත්තෙ කියළා. ඒත් මට ඇති­වුණ ප්‍රශ්නය තමයි වර්ත­මා­නයේ කොහෙද ෆැන්ට­සි­යක් තියෙන්නෙ කිය­නෙක.

මම ආවෙ හැත්තෑවෙ දශ­කයෙ ඉඳලා. මගේ අම්මා, තාත්තා ඒ වගේම අපේ වයිෆ්ගේ අය, ඒ ගොල්ලො මාර විදි­හට විජය- මාලිනී ට ඒ සිනමා සංස්කෘ­ති­යට ආදරේ කරපු අය. මම වුණත් එහෙ­මයි. විජය ගැන ඒ තරම්ම නොවු­ණත්, මාල­නිගේ ඒ ලස්ස­නට සම කරන්න පුළු­වන් ගැහැ­නි­යක් මට තව­මත් හම්බ වෙලා නෑ. මාල­නිගේ රූපය, ඒ නිසග හැකි­යාව සම කළ නොහැ­කියි. මම මාර විදි­හට ඒ ගැන පුදුම වෙනවා. මගේ මේ අලුත්ම නව­ක­තාව I.D වල මුල් කොට­සට ගිහින් බලන්න. ඒ කතාව එතන නිර්මා­ණය වෙන්නෙ එ මාලනි- විජය ෆැන්ට­සිය ඇතුළෙ.

අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඉති­හා­සය ෆැන්ට­සි­යක් කර ගත්ත එකෙන් මට පුළු­වන් වුණා ඒක ඇතුළෙ පිනුම් ගහන්න. කොහො­මත් පරි­ක­ල්පන ලෝකය කියන එකට මම ආසයි. ඒත් මගේ අලුත් නව­ක­තාව ගැන කිය­න­වනං මේක ඇතුළෙ මගේ ජීවිත කතා­වත් තියෙ­නවා.

මගේ අම්මා නැහැ. අපේ ජීවිතේ ආර්ථික අප­හ­සු­කම් නිසා මට ඒ ලෙවල් කරන්න මගේ තාත්තට සිද්ද වුණා අපේ ගෙදර උකස් තියන්න. මම ක්ලැරි­කල් එග්සෑම් එක කරලා රස්සා­ව­කට යන්නෙම ඒ නිසයි. මං විශ්ව විද්‍යාල අධ්‍යා­ප­නය ලැබුවෙ එහෙම පසු­බි­මක. ඒ විදි­හට පෝස්ටල් ඩිපා­ර්ට්මන්ට් එකට ගිය මගේ මුල්ම පත්වීම ලැබුණෙ නුගේ­ගොඩ පෝස්ට් ඔෆිස් එකට. එත­නට දව­ස­කට සිය දෙනෙක් ආව නම් අසූ දෙනෙක් ම ආවේ ටෙලි­ෆෝන් කෝල්ස් ගන්න. මේ කතාව ලිය­න­කොට තමයි මට කල්පනා වුණේ එහෙම කාල­ය­කුත් මම ගත කරල තියෙ­නවා නේද කියලා.

හිතල බලන්න අද අපිට ෆෝන් කෝල් එකක් කියන්නෙ කොයි තරම් සරල දෙයක් ද? එදා ටෙලි­ෆෝන් එකක් ගන්න පෝස්ට් ඔෆිස් එකට යන්න ඕනෙ. ඒත් එක­වර ගන්න බෑ. පෝලිමේ ඉන්න ඕනෙ. මොකද කෝල් එක එන්නෙ ටෙලි කොම් එක්ස්චේන්ජ් එක හරහා. විදේශ ඇම­තු­මක් නම් ට්‍රන්ක් කෝල් එකක් විදි­හට ගන්න ඕනෙ. පැය බාග­යක්, පැයක් ඒ වෙනු­වෙන් ඉන්න වෙනවා.

1995 දී එහෙම හිටපු අපි අද මේ ඉන්න තැන, ඇත්ත­ටම මාර කන්ට්‍රාස් එකක්. වන්නිලැ ඇත්තො කියපු කතාව ඒක තමයි හරිම කතාව.

“මං කැලේ ඉප­දුන නිකම්ම නිකම් වැද්දෙක්. දැන් මගේ වයස අවු­රුදු 65 යි. මේ පොඩි කාලෙට මං ගොඩක් දේවල් දැක්කා. මං පුංචි කාලෙ ජීවත් වුණු ලෝකෙයි අද ලෝකෙයි අතර තියෙන්නෙ ලොකු වෙන­සක්.

ඒ කාලේ පායපු ඉර නෙවෙයි අද පායන්නෙ. එදා දැක්ක අහස නෙවෙයි අද දකින්නේ. එදා හිටපු මිනිස්සු නෙවෙයි අද ජීවත් වෙන්නේ. මේ ඔක්කොම ගත්ත­හම මට හිතෙන්නෙ, මං ජීවත් වෙන්නෙ ලෝක දෙකක කිය­ලයි.”

දැන් ආපහු මගේ කතාව. එදා ටෙලි­වි­ෂන් තිබ්බට අම්බ­ල­න්ගොඩ අපේ ගමේ හිටපු මට වැඩි­පු­රම බල­පෑවේ රේඩියෝ සංස්කෘ­තිය. ඒත් අපේ ගෙදර රේඩියෝ එකක් තිබුණෙ නෑ. අල්ලපු ගෙදර තිබුණා. මං හිතන්නේ මේ අසූ ගණ­න්වල අන්තිම වෙන්න ඕනේ. එදා වෙළඳ සේවයේ දවල් එකත්, එක­හ­මා­රත් අතර ජිප්සී­ස්ලගෙ පැය බාග­යක වැඩ සට­හ­නක් ප්‍රචා­රය වුණා. ඒනට මං මාර ආසයි. කුරු­මිට්ටෝ සිංදුවේ ඉන්ට්‍ර­ඩ­ක්ෂන් එකෙන් තමයි ඒක පටන් ගත්තෙ. මම ඒක ඇහුවා. අල්ලපු ගෙදර තාප්පෙට හේත්තු වෙලා.

ඒ කාලේ පෙම්ව­ති­යන්ට ලියුම් ලියපු කාල­යක්. ඒක මාර අමාරු වැඩක්. ලියුම පටන් ගන්නෙ කොහො­මද? ඒක මාර ප්‍රශ්න­යක්. කොහොම හරි ලියා­ගෙන අන්ති­මට දෙන්න කලිං අපි කොච්චර දේවල් හිත­නව ද? එයා මුකුත් හිතයි ද? ආපහු දමල ගහයි ද? එහෙම නැත්තං ගනී ද? ඒ ප්‍රශ්න හරි බර­ප­ත­ලයි.

බැරි වෙලා­වත් ලියුම ගත්තොත් ඒ ලියුම හරිම තමයි. අපි මාළි­ගාව හදල ඉව­රයි.

ඒත් අද ඒක ෆෝන් එකෙන් යවන ටෙක්ස්ට් එකක් විත­රයි. අර ෆැන්ට­සිය අද අපිට අහි­මියි. මේ ෆෝන් එක ඒ හැම ෆැන්ට­සි­යක්ම මේක ඇතු­ළට අර­ගෙන. ඒ නිසා මේ ෆෝන් එක නැතුව අද අපිට පව­තින්න බැහැ.

හිතල බලන්න මේ සෙල් ෆෝන් එක එන්න කළිං අපි දුර­ක­ත­න­යෙන් කතා කලා. ඒකෙ රැහැ­නක් තිබුණා. ඒත් අද කිසිම රැහැ­නක් නෑ. සම්බ­න්ධ­යක් නෑ. ඒත් පුදු­මා­කාර සම්බ­න්ධ­යක් ඒකත් එක්ක අපි ඇති කර­ගෙන තියෙ­නවා. සම­හර වෙලා­වට කවුරු හරි කතා කරද්දි එයා ඉන්න තැන කිව්වා වුණත්, මට හිතිලා තියෙ­නවා මේ ඇම­තුම එන්නෙ වෙනත් ග්‍රහ ලෝකෙ­කින් ද දන් නෑ කියලා. අපිට හිතා­ගන්න බැරි විදි­හට මිනිස්සු මිනිස්සු අතර ලින්ක් කරන තැනට මේ ෆෝන් එක ඇවිල්ලා තියෙ­නවා. ඒක මොන වගේ ෆැන්ට­සි­යක් ද? සාමාන්‍ය ජීවි­තයේ ලිංගි­ක­ත්ව­යත් මේ ෆෝන් එක වෙනස් කරලා තියෙ­නවා.

ලෝකයේ වුණත් වර්චු­වල් සෙක්ස් පවා මේ ෆෝන් එක හරහා නිර්මා­ණය වෙලා තියෙ­නවා. මේවා සමාජ වෙන­ස්කම් නෙවෙයි ද?

මේ ටෙක්නො­ලොජි එක ඇතුලෙ සිද්ද­වුණ වෙන­ස්වීම් තමයි මට මේ නව­ක­තාව ලියන්න බල­පෑවේ. සැබෑව සහ ව්‍යාජය හඳු­නා­ගන් එකත් මේ ෆෝන් එක වෙනස් කරලා තියෙ­නවා.

ඒ දෙක හුව­මාරු කර­ගන්න එකත් අපි මේ ෆෝන් එකෙන් කර­නවා. මේ ටෙක්නො­ලොජි එකේ අව­සා­න­යක් නෑ. මේ පොතේ එන කවී­ෂගේ මර­ණය ඒක ඇත්තක් වුණත්, නැතත් ඒක ඇත්තක් නොවේ යැයි විහ්වාස කර­ගෙන ජීවත් වෙන්නට මේ අව­සා­න­යක් නැති ටෙක්නො­ලොජි එකෙන් අව­ස්ථාව ලැබිලා තියෙ­නවා. මේ පොත සම්මත විදි­හට අව­සන් කරන්න මට පුළු­ව­න්ක­මක් නැහැ.

ඒ අන්ති­මට එන ටෙක්ස්ට් එක කාගෙන්ද කියල හරි­ය­ටම කියන්න මේ ටෙක්නො­ලොජි එක ඇතුලෙ අපිට බැහැ. ඒක හංසි­ගෙන් වෙන්න බැරි ද? මොකද හංසිගේ ලිංගික මාත්ස­ර්යය නදීව ටාගට් කර­ලටි තියෙන්නෙ.

එහෙ­මත් නැත්නම් කවී­ෂගේ එක­වුන්ට් එක හැක් කරලා වෙන කෙනෙක් ටෙක්ස්ට් කර­නවා වෙන්න බැරි ද2 මේ අව­සා­න­යක් නැති ටෙක්නො­ලොජි එක ඇතුලෙ අපිට නිශ්චිත අව­සා­න­යක් දකින්න බැහැ.

මේක ඉව­ර­යක් නැති හීන­යක්. ඒකයි මං කියන්නේ මේ ෆෝන් එක මට මාර ෆැන්ට­සි­යක්ය කියලා.

Share:

ශ්‍රීමත් අන­ගා­රික ධර්ම­පා­ල­තුමා -Srimath Anagarika darmapala thuma

ග්‍රන්ථය - ශ්‍රීමත් අන­ගා­රික ධර්ම­පා­ල­තුමා

 කර්තෘ - බන්දුල මාන­වඩු 

ඇස්. ගොඩගේ ප්‍රකා­ශ­න­යකි 

මිල - රු. 300


“දේව­ස්ථා­නය ඒ අව­ස්ථාව සඳහා විශේ­ෂ­යෙන් සරසා තිබුණි. 5.30 වීම­ටත් බොහෝ කලින් දේව­ස්ථා­නයේ සෑම ආස­න­යක්ම පිරී ගති. අන්තිමේ දී ධර්මා­ස­නයේ සිටම දොර දක්වාම ආලි­න්දය තුළ ආසන තබන ලදී. මේ කොට­සෙහි ද ජනයා එක්රොක්ව සිටි­යහ. ගරු එල් ස්ප්‍රේ තුමා විසින් ධර්ම­පාල මහතා පිර­සට හඳුන්වා දෙන ලදී. දෙසුම අව­සා­නයේ දී සභා­වෙන් අසන ලද ප්‍රශ්න කිහි­ප­ය­කට ධර්ම­පාල මහතා පිළි­තුරු දුන්නේ ය. දුන් පිළි­තුරු කෙළින්ම එල්ල කරන ලද ඒවා වූ අතර මහත් පැස­සුම් ලබා ගැනී­මට සමත් විය.” අමෙ­රි­කාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හීදී සිදු වු ධර්ම­පා­ල­තු­මන්ගේ ජීවන චරි­තය හා සම්බන්ධ මේ සිදු­වීම මීට පෙර ද බොහෝ අව­ස්ථා­වල දී ලිය­වු­ණකි. බන්දුල මාන­වඩු ද යළිත් එම සිදු­වීම් උපුටා දක්ව­මින් “ශ්‍රීමත් අන­ගා­රික ධර්ම­පා­ල­තුමා”යන හිසින් පොතක් ලියා තිබේ. පහත දැක්වෙන්නේ ඒ ආකා­ර­යට ඔහු විසින් උපු­ටා­ගත් තවත් එවැ­න්න­නකි. ඊට පසු­බිම් වන්නේ ධර්ම­පා­ල­තු­මන් ද සහ­භාගි වූ ජගත් ආග­මික සමු­ළු­වයි.

“ක්‍රිස්ති­යානි මිෂ­නා­රීන්ගේ ක්‍රම දියුණු කළ හැක්කේ කෙසේද? යන තේමාව යටතේ එතුමා පළ කළ අද­හස් බොහෝ දෙනාගේ සැල­කි­ල්ලට භාජ­නය වී තිබේ.”

එකල මහත් ව්‍යාප්ති­යක්ව පැවති මිෂ­නාරි ධර්ම­දූත ව්‍යාපා­රය ගැන එතු­මන් මෙසේ පවසා ඇත්තාහ. “ඔබ යැවිය යුත්තේ ප්‍රයෝ­ජ­න­වත් බවින් සම්පූර්ණ වූ මිනි­සුන් ය. ඔවුන් යා යුත්තේ අද දවසේ මිෂ­නා­රීන් යන ආකා­ර­යට නොවේ. ඔවුන් තුළ ආත්ම පරි­ත්‍යා­ගය, කරුණා ගුණය ඉව­සීම සේම යේසුස් ක්‍රිස­තුස් කෙරෙහි ශුද්ධ­ත්වය හා නිහ­ත­මා­නී­ත්වය ද තිබිය යුතු ය. චිකාගෝ නග­ර­යෙහි ඇති සුවි­ශාල ඝාත­නා­ගාර ශිෂ්ටා­චාර ලැජ්ජා­වට මෙන්ම ශාප­යක් වෙයි. එවැනි දේට ප්‍රති­ෂ්ඨාව සප­යන ක්‍රිස්ති­යානි ධර්ම­යක් ලංකා­වෙහි හෝ බුරු­ම­යෙහි, ජපා­න­යෙහි,චීන­යෙහි සිටින අපට වුව­මනා නැත. අපට අවශ්‍ය වන්නේ නිහ­ත­මානි වූත්, බැගෑ­පත් වුත් යේසු සමි­ඳුන්ගේ ඉගැ­න්වීම් ය. එසේ කියන්නේ දැනට අපේ ආගම තුළ ඒවා නැති බැවින් නොව ඒවා අපට වඩාත් අවශ්‍ය වන බැවිනි.”

අන­ගා­රික ධර්ම­පා­ල­තු­මන්ගේ චරි­තා­ප­ද­නය හුදු සුපේ­ශල, අභි­ව­න්ද­නීය ප්‍රති­රූ­ප­යක් එසේ නැත්නම් පිළි­ම­ය­කට සීමා කිරීම වර්ත­මා­න­යට අදා­ළව කොහෙත්ම ප්‍රති­ඵ­ල­දායි කට­යු­ත්තක් නොවේ. මක්නි­සාද යත් එතු­මාගේ චරි­තය විසින් අපට ඉගැන්වූ සමාජ දේශ­පා­ලන කිය­වීම, නව නිද­හ­ස්වාදී දේශ­ය­කට අවශ්‍ය ආර්ථික දර්ශ­නය මෙන්ම පුද්ගල චර්යාව සතු සැබෑ නිද­හස හුදු අභි­ව­න්ද­න­යක දී ප්‍රකා­ශ­යට පත් නොවන බැවිනි. අපේ බෞද්ධ­කම පවා අද ඇත්තේ එවැනි ඉර­ණ­ම­කට යටත්ව ය. ජාති­යක් වශ­යෙන් අප ආර්ථික වශ­යෙන් පම­ණක් නොව දාර්ශ­නික වශ­යෙන් ද අන්ත දුගී භාව­යක් තුළ ගිලී ගොස් සිටින්නේ කාල­යක සිට ය.

එසේ හෙයින් මෙවැනි කෘති­යක් හමු වූ තැන දී හුදු සාද­කා­ර­යක් වැනි කරුණු දැක්වී­ම­කට යන­වාට වඩා අපේ අද­හස් ප්‍රකාශ කිරීම් පුළුල් විම­ර්ශ­න­ය­කට යෑම අවශ්‍ය වේ. හුදෙක් කෘති­යට පම­ණක් සීමා නොකොට පළල් සමාජ සංවා­ද­යක් කරා යන ගම­න­කට එය අව­ස්ථා­වක් කර­ගත යුතු ය.

ධර්ම­පා­ල­තු­මන්ගේ චරි­තය හුදු අභි­වා­ද­න­යක් නොවිය යුතුය.

Share:

විනි­වි­දිමි තල් වැට- Viniwidimi Thalweta

 ග්‍රන්ථය - විනි­වි­දිමි තල් වැට 

කර්තෘ - එස්. කේ. ඒ. එස්. සේනා­නා­යක 

මිල - රු. 400


වෘත්ති­යෙන් රේගු නිල­ධා­රි­යෙකු වන එස්. කේ. ඒ. එස්. සේනා­නා­යක විසින් උතුරු දේශයේ සේව­යට යොමු වූ සිය වෘත්තීය ජීවි­තය තුළ දී කළ කලා­පීය නිරී­ක්ෂ­ණයේ ප්‍රති­ඵ­ල­යක් හැටි­යට ලිය­න්නට යෙදු­ණකි “විනි­වි­දිමි තල් වැට” කෘතිය. උතුරු පළාත පුරාම මෙරට ජාතික උරු­ම­යට අදාළ පුරා විද්‍යා සිහි­ව­ටන බොහො­ම­යක් අද පව­තින්නේ අනා­ර­ක්ෂිත අව­දා­න­මක ය. මූල­ධ­ර්ම­වාදී ජාති­වා­ද­යත්, ප්‍රාදේ­ශී­ය­වාදී දේශ­පා­ල­න­යත් නිසා එය අද­ටත් නොනැ­වතී සිදු­වන සිද්ධීන් සමඟ බැඳි පවතී යැයි කීමෙන් කිසිදු වර­දක් සිදු නොවේ.

“යුද්ධ­යට පෙර උතුරු ධීවර කට­යුතු සහ රේගු සමුද්‍ර කට­යුතු සම්බ­න්ධී­ක­ර­ණය කර තිබු සන්නි­වේ­දන පද්ධ­තිය සඳහා අවශ්‍ය ගෑස් ලාම්පු හැම­න්හිල් දුපතේ සවි­කර තිබී ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා වරාය අධි­කා­රිය මගින් මෙම ලාම්පු සඳහා ගෑස් ලබා දීම ශ්‍රී ලංකා රේගුව වෙත පවරා දී තිබූ බව වාර්තා වේ. ඒ වෙනු­වෙන් මස­කට රු. 5 ක මුද­ලක් රේගුව වෙත ගෙවී­මට වරාය අධි­කා­රිය කට­යුතු කොට ඇති බවත් විශ්‍රා­මික රේගු අධ්‍යක්ෂ පී. එච්. ලිය­නගේ මහතා පව­සයි.”

“සිය­ව­ස­කට පමණ පෙර මෙය ලාදුරු රෝගීන් නවතා තැබීම සඳහා වෙන්කර තිබූ බව ජන­ප්‍ර­වා­දයේ සඳ­හන්ව ඇත. එසේම 1970 වර්ෂයේ බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව වෙත තාව­කා­ලි­කව පවරා ඇති හැම­න්හිල් ෆෝර්ට් බළ­කො­ටුව ජනතා විමුක්ති පෙර­මුණේ නාය­ක­යාව සිටි රෝහණ විජේ­වීර මහ­තාව සිර­කර තැබී­මට ද යොදා­ගෙන තිබේ. මෙම අලං­කාර බළ­කො­ටුව පෞද්ග­ලික අංශ­යට බාර නොදී රජය විසින් පව­ත්වා­ගෙන යා යුතු බවට රෝහණ විජේ­වීර මහතා

විසින්, සිර­කර තැබූ සිර මැදි­රියේ අංක 3 හී බිත්ති­වල ලියා තැබූ ආකා­රය අද ද දක්නට ලැබේ.”

“මෙම සිර මැදිරි සංචා­ර­ක­යන්ගේ නවා­තැන් සඳහා වෙන්කර දීමට නාවික හමු­දාව කට­යුතු කර ඇත. තවද ඔවුන්ට අවශ්‍ය නම් සිර­ක­රු­වන් ලෙස සිටීමේ පහ­සු­කම් ද (මෙහි උත්ප්‍රා­සය වන්නේ “සිර­ක­රු­වන් ලෙස සිටීමේ පහ­සු­කම්” යන්න ය.) ලබා දේ. සිර­ක­රු­වෙ­කුගේ ඇඳුම්, පිගාන හා කෝප්පය වෙනු­වෙන් දින­කට රු. දහ­සක් අය කරනු ලබන අතර නව යොවුන් වියේ පසු­ව­න්නන් මෙහි නේවා­සි­ක­යෙකු වීමට කැමැ­ත්තක් දක්වන බව පෙනේ.”

සිය වෘත්තීය ජීවි­තය ප්‍රයෝ­ජ­න­යට ගනි­මින් මෙවැනි තොර­තුරු රැස් කිරීම් බ්‍රිතාන්‍ය සිවිල් නිල­ධා­රීන් සිදු කොට ඇති බවත් ඒවා ගත යුත්තේ තොර­තුරු රැස් කිරීම් වලින් ද එහාට ගිය

හැදෑ­රීම් වශ­යෙනි. එවැනි පසු­බි­මක මෙවැනි කෘති වඩාත් ප්‍රති­ඵ­ල­දායි ගැඹු­ර­කින් ඉදි­රි­පත් වීම අව­ශ්‍ය­යෙන්ම විය යුත්තක් වේ. මක් නිසාද යත් හුදු තොර­තුරු වලින් එහාට ගිය පුළුල් කිය­වී­මක් වර්ත­මාන පාඨ­කයා තමන් මිල දී ගන්නා කෘති­ය­කින් බලා­පො­රොත්තු වන බැවිනි.

මේ තල් වැටය.

එය ද අපේ වංශ කතා­ව­ ම ය.

Share:

සරණ සොය­මින - Sarana Soyamina

ග්‍රන්ථය - සරණ සොය­මින 

කර්තෘ - රන්ජිත් ධර්ම­කීර්ති

 සඛිල ප්‍රකා­ශ­න­යකි 

මිල - රු. 480


ජෝන් ග්‍රේ විසින් ලියන ලද “වුමන් ආ ෆ්‍රොම් වීනස් මෙන් ආ ෆ්‍රොම් මාස්” (කාන්තාවෝ සිකු ග්‍රහ­යා­ගෙනි පුරු­ෂයෝ අඟ­හ­රු­ගෙනි.) ග්‍රන්ථයේ පැව­සෙන අන්ද­මට කාන්තාවෝ සහ­ජ­යෙන්ම සුල­ලිත ය. මුදු මොළොක් ය. පුරු­ෂ­යන් හැඩි දැඩි ය. එඩි­තර ය. එසේ හෙයින් මේ දෙපා­ර්ශ්වය සම්බන්ධ විය යුත්තේ සියුම් වැට­හී­ම­කිනි. අව­බෝ­ධ­ය­කිනි. තොල්ස්තෝ­යිගේ ඇනා කැර­නිනා එක් අව­ස්ථා­වක දී තමන්ට ද නොවැ­ට­හෙන ආකා­ර­යට ඇති කර­ගන්නා හැගී­ම්බර සම්බ­න්ධ­තා­වක් අව­සා­නයේ දී සිය ගේහ­සිත පැවැත්ම සමඟ ගැටු­මක් බවට දුර දිග යෑම හේතු කොට­ගෙන දුම්රි­ය­කට පැන සිය දිවි නසා ගත්තා ය. ඒ විෂම මාන­සි­ක­ත්වය කුමක් ද?

රන්ජිත් ධර්ම­කී­ර්තිගේ “සරණ සොය­මින” නව­ක­තාව ගැහැ­නි­යගේ විශේ­ෂ­තාව හා විෂ­මතා වෙනු­වෙන් ඇති කර­ගත් පරි­ක­ල්ප­නා­ත්මක තත්ව­යක් මත පිහි­ට­මින් ලියු­වක් බව ඔහු­ගේම අද­හස් අනුව පෙනී යයි. ඇනා කැර­නිනා ව ඔහු ඊට උදා­හ­ර­ණ­යක් හැටි­යට ගනියි. නව­ක­තාවේ එන සඳ­ලතා බොහෝ ආර්ථික ගැහැට මැද රබර් කිරි කපා ජීව­ත්ව­න්නි­යකි. එහි ම අනිත් ගැහැනු චරි­තය වන අපර්ණා මැණිකේ ප්‍රභූ පවු­ලක ඉපිද ගායන ශිල්පය ප්‍රගුණ කොට නිරූ­පණ ශිල්පි­නි­යක හැටි­යට බොහෝ ආදා­යම් ඇතිව එහෙත් අස­හ­න­කාරී ලෙසින් ජීව­ත්ව­න්නි­යකි. මේ වනාහි සර­ණක් නැති­ය­වුන් සර­ණක් සොය­මින් යන ගම­නක් ලෙසින් කතු­ව­රයා දකියි. ඔහු­ගේම වචන වලට අනුව “මෙම නව­ක­තාව ගොඩ නැගී­මේදි ඉහත ඇනා කැර­නිනා වැනි කාන්තා චරි­ත­වල විශේ­ෂතා ජෝන් ග්‍රේ පව­සන විෂ­මතා මසි­තට බල පෑ බව කිව යුතු ය.”

කාන්තා චරි­ත­වල පවත්නා විශේ­ෂතා මෙන්ම විෂ­මතා ඒ කෙසේද යත්, “ලොව ඈත ඉති­හා­සයේ ද, කාන්තා­වන් මුල් වූ මෙවැනි ඛේද­වා­චක වාර්තා වී ඇත. හෝමර්ගේ ඉලි­යඞ් කාව්‍යයේ එන ට්‍රෝයි පුරයේ හෙලන් නිසා දස අවු­රුදු යුද්ධ­යක් ඇවිළේ.” ඒ අනුව යමින් ඔහු සට­හන් කරන්නේ පුරා­තන ග්‍රීසියේ ඇන්ටි­ගනී, ඊජි­ප්තුවේ ක්ලියෝ පැට්රා, ශේක්ස්පි­යර්ගේ කාන්තා චරිත මෙන්ම ලංකා පුරා­වෘ­ත්තයේ එන කුවේ­ණිය වුව අර කිය­න්නට යෙදුන විශේ­ෂතා මෙන්ම විෂ­මතා පෙන්වා දෙති. ඊට අදා­ළව තමන් අතින් නිර්මිත කාන්තා චරිත සම්බ­න්ධ­යෙන් ධර්ම­කී­ර්තිගේ හඳු­නා­ගැ­නීම මෙසේ ය.

“ඔව්හු මුළු මහත් කාන්තා සංහ­තිය මුහු­ණ­පාන ආර්ථික සංස්කෘ­තික හා අධ්‍යා­ත්මික සුළි සුළ­ඟ­කට අසු වුවෝ නොවෙත් ද?”

ඒ අනුව තමන්ගේ උත්සා­හය වූයේ එකී ජීවන අර­ග­ල­යට මුහුණ දෙමින් සිටිය දී ඔවුන්ගේ චින්ත­නය වේෂ්ටා­වන් හා මනෝ­භා­ව­යන් සැක­සෙන ආකා­ර­යට මෙම චරිත විකා­ශ­නය කිරීම යැයි ඔහු පව­සයි. එසේ නිර්මිත චරිත විසින් කියන්නා වූ ඒ කතාව කියවා පාඨ­කයා කම්ප­න­යට පත්ව නම් එය එහි සාර්ථ­ක­ත්ව­යට හේතු­වක් ලෙසින් ඔහු දකී.

නව­ක­තා­ක­රුවා සහ ඔහුගේ නව­ක­තාව විසං­වා­ද­ය­කට පත් වන්නේ මෙතැ­න­දීය. නව­ක­තා­වක අව­සාන නිෂ්ප­ත්තිය වන්නේ හුදෙක් කම්ප­න­යට පත් වු පාඨ­ක­යෙක් ද?

නව­ක­තා­වක් යනු හුදු

කම්ප­න­යක් දැන­වී­මක් ම ද?

Share:

රස පොළොව- Rasa Polawa

 ග්‍රන්ථය - රස පොළොව

 කර්තෘ - ලීලා­නන්ද වික්‍ර­ම­සිංහ

 ඇස් ගොඩගේ සහෝ­ද­රයෝ ප්‍රකා­ශ­න­යකි 

මිල - රු. 800 


“අරු­න්දතී ලොකු අම්මා ගැන විනි­ශ්චය කිරී­මේදි ඔබ ඉක්මන් නොවනු ඇතැයි මම සිතමි. මා සිතන විදි­හට ජීවි­තය මිනිසා විසින් පන­වන ලද කුල සිරිත් වැනි තහංචි මැද මැනිය නොහැකි දෙයක් බව ය. එය දේශය අව­ස්ථා­වට ගැළ­පෙන පරිදි කාලය විසින් වෙනස් කරනු ලබන බැවින්ය යනු මගේ විශ්වා­ස­යයි.”ලීලා­නන්ද වික්‍ර­ම­සිංහ සිය “රස පොළොව” නව­ක­තාව සම්බ­න්ධ­යෙන් මතු කරන උක්ත අද­හස කෘතියේ පෙළ­ගැස්ම සම්බ­න්ධ­යෙන් කිසි­යම් වු මඟ පෙන්වී­මක් සිදු කරයි. මිනි­සාගේ ජීවන පැවැත්ම අර­භයා මිනිසා තුළම පවත්නා මාන­සික විතැ­න්වීම මුහු­කුරා ගිය දැනු­ම­කින් විම­සීමේ වුව­ම­නාව පෙන්වා දීම­ටදෝ ඔහු අග්ගඤ්ඤ සුත්‍ර දේශ­නා­වෙන් ද සුදුසු ලෙසින් උද්ධෘ­ත­යක් තෝරා­ගෙන තිබේ. එයම ඔහුගේ නව­ක­තා­වට විදග්ධ ප්‍රවේ­ශ­යක් බවට පත් කොට තිබේ.

ඒ අනුව ජුලි­යස් රාජ­සිංහ වතු යායේ ඉහළ කොටසේ සිටි­මින් අවට බල­මින් උන් තැනම දණ ගසා­ගෙන, මුහුණ දෑතෙහි සඟ­වා­ගෙන තමා තුළ නැඟ එන ආවේ­ග­යන් මැඬ ගැනී­මට තැත් කර­මින් එක්ව­නම ආ අද­හ­ස­කින් පිබි­දෙන්නේ ගුරු­පාට රන්වන් රස පොළොව සිප එහි රසය දිව ගා බලයි. එය සිදු වන්නේ ද අර කීව විදග්ධ ප්‍රවේ­ශය තුළම ය. නමුත් ඒ පසු­බිමේ ම අරු­න්දතී ලොකු අම්මා සිය මුහු­කුරා ගිය ජීවන සංවේ­දි­තාව ප්‍රකා­ශ­යට පත් කරන්නේ මේ අයු­රිනි.

“මම ජීවි­ත­යෙන් බාග­යක් ගිහිල්ලා කඩා වැටිච්ච ගැහැ­නි­යක් රංග. බර­ප­තළ අස­නී­ප­ය­කින් පෙළෙන කෙනෙක්.....රංග මිනි­හෙක් ගෑනි­යෙක් අතර ආදර සම්බ­න්ධ­යක් නොවන සෙනෙ­හ­සක් වෙනත් ආකා­ර­යක සම්බ­න්ධ­යක් තියෙන්න බැරි ද?” ඇගේ ඒ විම­සීම තුළ ඇත්තේ ද අර කීව විදග්ධ විම­සී­මම නොවේ­දැයි සිතා බැලීම වටී. කෙසේ වුව අරු­න්දතී ලොකු අම්මාගේ ඇතු­ළා­න්තය ප්‍රකාශ වන්නේ අප්ස­රා­ගෙන් ද?

“අරු­න්ද­තීගේ චරි­තයේ අව­ශේෂ ලක්ෂණ සමඟ සම­පාත කර බලන විට ඇය කාම ලෝක­යක අත­රමං වූ සරාගි ගැහැ­නි­යක ලෙස හැඳි­න්වීම අසා­ධා­රණ යැයි මට සිතේ. ඇගේ ස්ත්‍රීත්වය භාවිතා කොට ඇත්තේ ලොව තුළ අව­පා­ත­යට ඇදී ගොස් වස­ඟ­යට පත් වන මනු­ෂ්‍ය­ත්වය පිළි­බිඹු කරන

සංකේ­තා­ත්මක මොඩ­ල­යක් ලෙසින් ද?”

තමන් වෙනු­වෙන් අරු­න්දතී මතු කරන ප්‍රශ්නය හා සමා­න­වම අරු­න්දතී වෙනු­වෙන් අප්සරා මතු කරන ප්‍රශ්නා­ර්ථය ද අව­සා­නයේ දී ස්ථාන­ගත වන්නේ රස පොළොව රස විනි­ශ්චය සමඟ බව පැහැ­දිලි ය. ලීලා­නන්ද වික්‍ර­ම­සිං­හගේ ආඛ්‍යා­නය පුරාම බල­ප­ව­ත්වන්නා වූ ඔහුගේ නිර්මා­ණා­ත්මක භාෂා

ශෛලිය ගැන ද අද­හ­සක් පැව­සීම අව­ශ්‍යම තත්ව­යක් වේ. පහත එන උද්ධෘ­තය ඒ බව ඔහුට මොන­වට පෙන්වා දෙනු ඇත.

“පෑළ දිග අහස දෙස බැලූ මට පෙනුනේ සඳ පළු­වට මඳක් ඈතින් තනි­ත­රු­වක් දිලෙ­මින් තිබෙන බව ය.....ඒ අරු­න්දතී තාර­කාව ය. මෙසේ ඉර­බටු තරු­වක් වී බැස ගියත් එය හෙට උදෑ­සන පහන් තරු­වක් වී පෙර­දිග අහසේ පායනු ඇත. එහෙත් අරු­න්දතී ලොකු අම්මා නැවත එන්නේ නැත.”

“රස පොළොව” නව­ක­තා­වක් හැටි­යට මෙසේ යැයි විවිධ ආකා­රයේ සාහි­ත්‍ය­යික කිය­වීම් හෝ උද්ධෘත මගින් ආටෝප සාටෝප කොට පෙන්වා දිය යුත්තක් නොවේ. එය වනාහි නිස­ඟ­යෙන් අපට දැනෙන අපේ ජීවි­තත් සමඟ හුස්ම ගන්නා කතා­වකි.

රස පොළො­වක රසය,

එය පම­ණක් ම ද ජීවි­තය..?

Share:

Gas Sitauu Minisa -ගස් හිටවූ මිනිසා

 

ග්‍රන්ථය - ගස් හිටවූ මිනිසා


පරිවර්තක - මණ්ඩාවල පඤ්ඤාවංස හිමි

සේරි ප්‍රකාශනයකි

මිල රු. 300

“විශේෂයෙන්ම අභ්‍යන්තර සංහිඳියාව විසින් මෙම මහල්ලාට මනා සෞඛ්‍යයක් පුද කර ඇත්තේ ය. මේ මනුෂ්‍යයා දෙවියන්ගේ මලල ක්‍රීඩකයෙකි. ඔහු තව කොපමණ හෙක්ටෙයාර් ගණනක් වෘක්ෂයන්ගෙන් අාවරණය කරති දැයි මම කල්පනා කළෙමි.”

එය අපුරු වෘතාන්තයකි. ප්‍රංශ ලේඛකයෙකු විසින් ලියන ලද්දකි. මණ්ඩාවල පඤ්ඤාවංස හිමියන් අතින් සිංහලට පරිවර්තනය වුවකි. පරිවර්තක හිමි පවසන ආකාරයට එම කෘතිය, “මසිත බෙහෙවින් සංහිඳියාව කරා මෙහෙය වූ පොත් පිංචකි.” තවද එක්තරා කාලයක සොබා දහම පරදවන්නට වෑයම් කළ මිනිසා අද සිය පැරදුම පිළිගෙන සොබා දහම යනු අප සැමගේ උතුම් මෑණියෝය යන හැඟීමෙන් ක්‍රියා කරන බවක් පෙනෙයි.” පඤ්ඤාවංස හිමියන් පොතේ පසුබිම හගින අයරු එසේ යැයි සිතමි. කෙසේ වුණත් මෙය හුදෙත් ගස් හිටවූ මිනිසෙකු ගැන කතා පුවතක් පමණක් නොවේ.

ෂොං ෂිඕනො විසින් ප්‍රංශ බසින් රචිත එම කෘතිය සිංහල බසට නැගී ඇත්තේ “ගස් හිටවු මිනිසා” යන හිසිනි. කතාවට අනුව කථකයා වන තරුණ මිනිසා යන ඒ ගමන අනාගතයේ ඒ පාරිසරික ඛේදවාචකය රූපකාර්ථයට නැගුවාක් මෙනි. එය මෙසේ ය. “

දින තුනක ගමනකින් අනතුරුව වචනයෙන් විස්තර කළ නොහැකි මහා පාළු පෙදෙසකට මම අවතීර්ණ වීමි. මිනිසුන් විසින් අත් හැර දමන ලද ඇටසැකිලලකට උපමා කළ හැකි ගම්මානයක් ආසන්නයේ මම මගේ කූඩාරම ගසා ගතිමි. ....ගරා වැටුණු අත්හැර දමන ලද බඹර කූඩුවක් හා සමාන ගෙවල් අසල දිය හිඳුන ළිඳක් හෝ දිය උල්පතක් පවතින්නට ඇතැයි යන සිතිවිල්ල සිතට ආවේය. වහල ගැලවී ගිය, වැස්සෙන් සහ සුළඟින් හානියට පත් ගෙවල් පහක් ඝණ්ටාරය කඩා වැටුණ කුඩා පල්ලිය සජීවි ගමක පවතින ආකාරයෙන් එක සමාන්තරව පැවතියේය. එහෙත් සියලු ජීවයක්ම එතැනින් අතුරුදහන් වී තිබුණි.”

එහෙත් සිය කූඩාරම එතැනින් ගලවාගෙන තවදුරටත් ඉදිරියට යන්නට කථකයා තීරණ කරයි. හමා එන ප්‍රචණ්ඩකාරී සුළඟට ඔරොත්තු දිමට නොහැකි වීමත්, දින දෙකක පමණ කාලයක සිට වතුර පොදෙක් නොලැබ ආ ගමනේ දීත්, නවාතැන් ගැනීමට සිතූ මෙතැනදීත් ඒ බලාපොරොත්තුව ඉටු නොවීමත් ඊට හේතු වු බව පැහැදිලිය.

ඒත් සමඟම ඉදිරියේ දී හමු වීමට නියමිත තවත් දිළිඳු ගම්මාන දෙකක් පිළිබඳ විස්තරයක් කථකයා විසින් ඉදිරිපත් කරනු ලබන්නේ ඒ පාරිසරික ව්‍යසනය හා බැඳුන මානව ක්‍රියාකාරකම්හි විකෘතියක් ලෙසින් යැයි සිතමි. ඊට අනුව එගම් වැසියන් “පොදුවේ කිසිම හේතුවක් නොමැතිව එකිනෙකා හා ගැටෙයි. ඒ සියල්ලටම වැඩියෙන් සැඩ සුළඟක් අතොරක් නොමැතිව එක දිගට හමමින් ස්නායු පද්ධතිය ම කුපිත කරවයි. දිවි නසා ගැනීම වසංගත ආකාරයෙන් පැතිරෙයි. ඉතාම දරුණු උමතු ක්‍රියාකාරකම් සිදුවන අතර බොහෝ විට ඒවා මරණයෙන් කෙළවර වෙයි.”

ගස් හිටවන මිනිසා ඔහුට හමුවන්නේ එවැනි පසුබිමක ය. එහෙත් ඔහු වනාහි පුද්ගල හැසිරීමකට එහා ගිය වෙනම ආකාරයේ “කියවීමක්” යැයි සිතෙයි. එසේ එය ගැනීම ද වැදගත් වෙයි. ඒ අනුව මුල දී ගොපල්ලෙකු වශයෙන් හමුවන ඒ මිනිසා සිය ජීවිත කාලයෙන් අඩ සිය වසක් ගෙවා සිටියේය. ඔහු කතා කළේ අතිශයින් අවම අයුරිනි. කාලයත් සමඟ ඔහුට සාමාන්‍ය මිනිසුන් කතා කරන්නා වූ දෙඩුම් අමතක වී ඇතැයි යන හැඟීමක් ධ්වනිත වන්නේ ය. එහෙත් ඒ නිකම්ම නොවේ. ඔහු මනා ඉවසීමකින් යුතුව මහා කාර්යභාරයක නිරතව සිටී. ඒ පසුබිමේ නිකරුණේ දොඩවමින් කටයුතු කරන මිනිසුන්ගේ දොඩමලු ජීවිත කොයි තරම් නම් වැඩකට නැති පැවැත්මක් දැයි තියුණු ලෙස ප්‍රත්‍යක්ෂ වෙයි.

ගස් හිටවන මිනිසා ඒ ආකාරයට භාවනායෝගී අත්දැකීමක් හා සම වෙයි. සම්මා සමාධිගතව ප්‍රත්‍යක්ෂ කරගත යුතු ක්‍රියාකාරී අවබෝධයක් ද ඒත් සමඟම නිර්මාණය වෙයි.

“මෙම අති විශේෂ චරිතය පිළිබඳ යම් නිශ්චිත අවබෝධයක් ඇති කරගනු ඇවැසි නම් ඔහු පූර්ණ නිහැඬියාවක සිටිමින් සිය කාරියෙහි යෙදෙතියි යන කාරණය අප විසින් විශේෂයෙන් සිහිකරගත යුතු වෙයි. ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේ ඔහුගේ කතා කිරීමේ පුරුද්ද ඔහු වෙතින් බැහැර විය. බාගවිට ඔහු කතා කිරීමෙන් කුමන පලයක් දැයි සිතුවා වන්නට නොහැකි ද?”

අප මුලදීත් කී ආකාරයට මෙය හුදෙක් මනුෂ්‍යයෙකු පිළිබඳ කතා පුවතක් ලෙසින් පමණක් ගන්නවාට වඩා මනුෂ්‍යයා සහ පෘථිවි පැවැත්ම අතර පැවතිය යුතු අධ්‍යාත්මය විමසන භාවනායෝගි අත්දැකීමක් නොවන්නේ දැයි විමසීම වටී.

Share:

Ridum piri Piri madum (රිදුම් පිරි පිරිමැදුම්)


‘රිදුම් පිරි පිරිමැදුම්’ කාව්‍ය සංග්‍රහය

උපුටා  ගැනීම සති අග අරුණ

 පිරිමින්ගේ හදවතට සහ පුරුෂ ඇසට හසු නොවන ගැහැනු හැඟීම් තියෙනවා

මෙවර රජත පුස්තක සම්මානය ඔබේ කාව්‍ය සංග්‍රහයට හිමිවීම ගැන දැනෙන හැඟීම ගැන කිව්වොත්?

සම්මානය හිමිවීම පිළිබඳව සතුටක් තියෙනවා. එහෙම සතුටක් නැහැ කිව්වොත් මම පෘථග්ජන මනුස්සයෙක් නෙවෙයිනෙ. හැබැයි ඒක ආභරණයක් කරගෙන බැබළෙන්න අදහසක් මට නැහැ. මෙයට පෙර අවස්ථාවකදිත්, පළමුවෙනි රජත පුස්තක සම්මාන උළෙලටත් මගේ කවි පොතක් නිර්දේශ වුණා. මෙවර ඒ සම්මානය මට ලැබුණා. මේ පොතට වඩා හොඳ පොතකට ඒ අවස්ථාව අහිමිවෙලා, මේ පොතට සම්මානය ලැබුණා නම් මට ඒ ගැන සතුටු වෙන්න බැහැ. සම්මානය ලැබුණේ තිබුණු පොත් අතරින් හොඳ පොතට නම් මට ඒ ගැන සතුටු වෙන්න පුළුවන්.

මේ වගේ සම්මානයක් කිවිඳියකට වැදගත් වෙන්නේ ?

කවියෙදි කවියා හෝ කිවිඳිය වශයෙන් බෙදීමක් අවශ්‍ය නැහැ කියලා මතයක් තියෙනවා. මම ඒ අදහසත් සියයට පනහක් පිළිගන්නවා. හැබැයි, ලංකාව වගේ රටක කිවිඳියකට ඇගයීමක් ලැබෙනවා කියලා කියනකොට එතැන යම් විශේෂයක් තියෙනවා කියලත් මට හිතෙනවා. බටහිර රටවල්වලට සාපේක්ෂව ලංකාව වගේ රටවල්වල කවියට හෝ ලේඛන කලාවට යොමු වන කාන්තාවන් අඩුයි. මේ රටවල්වල කාන්තාවන් ලිවීමට හෝ නිර්මාණකරණයට යොමු වෙන්නේ බොහොම විශාල බාහිර කුටුම්භ වගකීම් හෝ වෘත්තීය වගකීම් සහ වෙනත් බාහිර කාරණා සියල්ල අතරෙයි. ඒ සියල්ලත් සමග කාන්තාවක් කවි ලියන්න පෙලඹෙන්නේ ඇය තුළ ඇති සහජ වුවමනාව, එහෙමත් නැත්නම් ඇතුළාන්තයෙන් නිරායාසයෙන් මතු වන වුවමනාව නිසායි. ලංකාව වගේ රටක අපට කිවිඳියක් කියන කෙනාව කියවාගන්න වෙන්නෙ එවැනි පසුබිමක් තුළයි. දකුණු ආසියානු රටවල්වල ඒ තත්ත්වය කිසියම් අභියෝගාත්මක ස්වරූපයක් ගන්නවා. ඒ අතරින් ලංකාව වගේ රටක ගැහැනියක් ලිවීම කියන්නෙ යම් තරමක විස්මයක් බවටත් පත්වෙනවා.

‘රිදුම් පිරි පිරිමැදුම්’ කාව්‍ය සංග්‍රහය ගැන ඔබ පෞද්ගලිකව තෘප්තිමත්ද?

මම කවියට ප්‍රවේශ වෙන්නෙ ‘යුග ස්ත්‍රී’ නමැති පළමුවෙනි කාව්‍ය සංග්‍රහය හරහායි. බොහෝ අය ඉන්පසුව මාව හඳුන්වා දුන්නෙ මේ අපේ යුග ස්ත්‍රී කියලයි. ඒ විදිහට මගේ පළමුවෙනි පොත හරහා මම යම් අනන්‍යතාවක් සලකුණු කළා කියලා මම විශ්වාස කරනවා. ඒ පොතත් සමගම මේ වනවිට ප්‍රකාශයට පත්වෙලා තියෙන කවි පොත් හතරම සැලකිල්ලට ගත්තාම පෞද්ගලිකව මා වඩා තෘප්තිමත් වෙන්නෙ මේ කෘතිය ගැනයි. කලින් පළ වූ කෘතිවල ඇතැම් කවි වෙනස් විය යුතුයි කියා හෝ ඒවා ගැන පසුතැවීමක් හෝ මට නැහැ. එහෙත්, ඒවා තවදුරටත් සංස්කරණය වෙන්න තිබුණා කියලා මට දැන් හිතෙනවා.

මේ කෘතියේ එක් නිර්මාණයකින් ඔබ කියන පරිදි, “ගැහැනු විතරක් කියවන හැඟීම්” තිබෙනවාද?

පැහැදිලිවම තියෙනවා. ඒ හැඟීම් පිරිමින්ගේ හදවතට සහ පුරුෂ ඇසට අහුවෙන්නෙ නැහැ කියලයි මම හිතන්නෙ.මම ඒ කවියෙන් කියන්න උත්සාහ කරන්නෙ ස්ත්‍රිය කියවා ගැනීම වෙනම කටයුත්තක් වන බවයි. පුරුෂයා විසින් කවිය තුළ ස්ත්‍රිය ස්ථානගත කරලා තියෙන්නේ වෙනම තැනකයි. ඉතිහාසයේ සංදේශ කාව්‍ය තුළ ස්ත්‍රියට හිමි තැන, ස්ත්‍රිය තබා තිබෙන තැන සහ එදා සිට අද දක්වා ගලාගෙන ආපු කවියේ ගමන් මග පුරා අද වෙනකොට පවා බොහෝ පුරුෂයන් හෙවත් කවියන් අතින් ලියැවෙන කවිය තුළ ස්ත්‍රිය රඳවා තිබෙන තැන පැහැදිලියි. කාරණා සැලකිල්ලට ගන්නකොට මට හිතෙනවා පුරුෂයාට කවදාවකවත් ස්ත්‍රිය හරියට කියවා ගන්න පුළුවන් වෙලා නැහැ කියලා. සමාජයේ සම තැන කියන කාරණය ගැන නෙවෙයි මම මේ කතා කරන්නෙ. නිර්මාණය තුළ ස්ත්‍රියව තවදුරටත් තබා තිබෙන්නේ ශෘංගාර වස්තුවක් හෝ ආදර වස්තුවක් කියලා කියන තැනයි. එතැනින් එහා ඇගේ අවශ්‍යතා, ඇගේ ශක්‍යතා, ඇගේ හැඟීම් කියවා ගැනීම, ඇගේ ඇතුළාන්තය හැදෑරීම වගේ කාරණා කවියන්ගේ කවිවල දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්.

කවිය සම්බන්ධයෙන් අද සිදුකෙරෙන විචාරය පිළිබඳව සෑහීමට පත්විය හැකිද?

ලංකාවේ කවිය ගැන කතා කරන ඇතැම් අය බොහෝවිට බටහිර කවිය ඒ සඳහා ආදේශ කරගන්නවා. බටහිර කවිය ප්‍රගුණ නොකර ලංකාවේ කවි කිවිඳියන්ට කවි ලියන්න බැහැ කියලා විචාරකයන් යැයි කියාගන්නා අපේම කණ්ඩායමක් විශ්වාස කරනවා. අපේ කවි කිවිඳියන්ට කිසියම් ආකාරයක හැදෑරීමක් තියෙන බව ඒ කණ්ඩායම දන්නෙ නැහැ. කොහොම වුණත් මගේ කවියේ හැඩරුව සැකසෙන්නෙ කවිය උපදින මොහොතෙදියි. මම සෘජු ප්‍රකාශන කරනවාද, මගේ කවිය සුමටව ලියනවාද කියලා මම කලින් තීරණය කරන්නෙ නැහැ. ඒ කාරණය තීරණය වෙන්නේ අදාළ අනුභූතිය අනුවයි. මගේ කවිය විඳින රසිකයාට අදාළ සන්නිවේදනය සහ වින්දනය ලැබෙනවා නම් මට සෑහීමකට පත්වෙන්න පුළුවන්. මගේ කවිය ලියැවෙන්නේ ඔවුන් වෙනුවෙන් කියලයි මට හිතෙන්නේ. කොහොමත්, මම කවි ලියන්නේ විචාරකයන්ට නෙවෙයි.

මේනුක විතාන

මෙවර රජත පුස්තක සම්මානය දිනු කාව්‍ය සංග්‍රහය පබැදු අනුරාධා නිල්මිණි

නව පරපුරේ කිවිඳියක, නවකතා රචිකාවක මෙන්ම මාධ්‍යවේදිනියක ද වන අනුරාධා නිල්මිණි විසින් රචිත සිව්වැනි කාව්‍ය කෘතිය වන ‘රිදුම් පිරි පිරිමැදුම්’ මෙවර රජත පුස්තක සම්මානයෙන් පිදුම් ලබා ඇත. සන්ථව ප්‍රකාශනයක් ලෙස පළවී ඇති එම කෘතිය මේ වනවිට මෙවර ගොඩගේ හා විද්‍යෝදය සාහිත්‍ය සම්මාන සඳහාද නිර්දේශිතය. ‘යුග ස්ත්‍රී’ සහ ‘වත් සියපත්’ සහ ‘මදහසක මැදියම’ යන කාව්‍ය සංග්‍රහයන් ඔස්සේ මෙරට කාව්‍ය ක්ෂේත්‍රය තුළ සිය අනන්‍යතාව සටහන් කළ ඇය මෙයට පෙරද රජත පුස්තක මෙන්ම ගොඩගේ සාහිත්‍ය සම්මාන අවසන් වටය සඳහා නිර්දේශ හිමිකර ගත්තාය.

Share:

Marine Drive ( ‘මැරීන් ඩ්‍රයිව්’ කෙටිකතා සංග්‍රහය)

 මැරීන් ඩ්‍රයිව්’ කෙටිකතා සංග්‍රහය

උපුටා  ගැනීම සති අග අරුණ

පාඨකයාගේ අලස නිදි සුවය බිඳීම තමයි මං අපේක්ෂා කරන්නේ

මෙවර රජත පුස්තක සම්මානය දිනු කෙටිකතා සංග්‍රහය ලියු අනුරසිරි හෙට්ටිගේ

කවියෙක්, නවකතාකරුවෙක් වූ අනුරසිරි හෙට්ටිගේ මෙරට නිර්මාණ සාහිත්‍ය තුළ වඩාත් කතාබහට ලක්වනුයේ කෙටිකතාකරුවෙක් ලෙසිනි. ඒ බවට දෙස් දෙනුයේ 2016 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී ඔහුගේ ‘දිමියා’ කෙටිකතා සංග්‍රහය හොඳම කෙටිකතාව සඳහා වූ සම්මානයට හිමිකම් කීමෙනි. එමෙන්ම මෙවර රජත පුස්තක සම්මාන උළෙලේදී හොඳම කෙටිකතාවට හිමිවන්නා වූ සම්මානය හිමිවූයේ ඔහුගේ ‘මැරීන් ඩ්රයිව්’ කෙටිකතා සංග්‍රහට ය. මේ ඒ නිමිත්තෙන් කළ සංවාදයයි.

ඔබගේ මුල් නිර්මාණවලදී ඔබ ජීවත්වූ පරිසරය කෙරෙහි වඩාත් නැඹුරුව සිටි බව පෙනුණා. මේ නිර්මාණ සංග්‍රහයේදි එය බලපෑම් සහගත වුණාද?

ලෝක මට්ටමින් ගත්තත් බොහෝ ලේඛකයන් සිය අතීතය අවලෝකනය කරද්දී, තමාගේ නිර්මාණාත්මය අවදි කෙරුණේ, තමන් බාල කාලයේ සිට අත්විඳි පුද්ගලික අත්දැකීම් ඇසුරෙන් බව, කියා තිබෙනවා.

එහෙම පෙලඹීමක් මටත් නැත්තෙම නැහැ තමයි. එත් මං මගේ ඉතිහාසගත පුද්ගලිකත්වයෙන් ටිකක් දුරස්වයි නිර්මාණකරණයේ යෙදෙන්නෙ. ‘කොළඹ ළමයි’ සහ ‘කළුවරයි පුරහඳ’ හැරුණු කොට අනෙකුත් නිර්මාණ සියල්ල කොළඹින් පිටතයි මං ස්ථාන ගත කළේ. ඒ බව මගේ නිර්මාණ ව්‍යාපාරය ඔබට තහවුරු කරාවි. ඒකට විශේෂ හේතුවක් තියෙනව. මං අත්දැකීම් රචනා කරන්නෙක් නොවෙයි, අත්දැකීම් ප්‍රබන්ධ කරන්නෙක්. එනිසා පුද්ගලික දැනීම් සහ රිදීම් මගේ නිර්මාණ දිවියට කරන බලපෑම අවමයි කියායි මං හිතන්නෙ. විශේෂයෙන්ම කෙටිකතා නිර්මාණයේදී මගේ නිර්මාණ ආතතිය ක්‍රියාත්මක වන්නේ පරිකල්පනය ඔස්සේ. මා ජීවත්වන පරිසරය ඍජුව එහි කාරක භූමිකාවක් දරන්නෙ නැහැ. ‘මැරීන් ඩ්‍රයිව්’ කෙටිකතා සංග්‍රහයේ තියෙන්නෙ පුද්ගලික සංඥානනයන් ඇසුරෙන් උපත ලබා, පරිකල්පිත අවකාශයක බලවත් වූ ප්‍රබන්ධ. මම නැවතත් කියනවා, ඒවා ප්‍රබන්ධ. කතා නෙමෙයි.

වර්තමාන සමාජයේ ප්‍රශ්න කතා කරන්න කෙටිකතාව ප්‍රමාණවත්ද?

මං හිතන්නෙ අප ජීවත් වන මේ සමාජයිය මොහොත කෙටිකතා නිර්මාණයට මනා දිරියක්. මිනිසුන් තමන් අවට සිදුවන සංකිර්ණ සමාජ, ආර්ථික, දේශපාලන මොහොත තුළ වික්ෂිප්තව හැසිරෙනවා විනා, ස්වීය චින්තනයක් ප්‍රකාරව, සමාජය තියුණු නිරීක්ෂණයකට ලක් කරන බවක් පේන්නෙ නැහැ. ඔවුන් වඩ වඩාත් සිය කුටුම්භය තුළ සිරවෙමින් තමතමන්ගේ කුඩා ලෝක ගොඩනගාගෙන ඉන්නෙ. එහෙම සිටිමින්ම ඔවුන් තමන්ගේ ආධ්‍යාත්මය, බාහිර සමාජ බලවේගයන්ට ගොදුරු වනු ඉවසනවා.

ඔවුන් අන් යුගවල සිටි මිනිසුන්ට වඩා වර්ණවත්, ප්‍රභාවත්, සශ්‍රීකවත්. එහෙත් ආත්මීය වශයෙන් ඔවුන් අන්ධකාර දෝනාවක සිරකාරයන්ව සිටින්නෙ. ඔවුන් තමන් විසින්ම උත්කර්ෂයට නැංවීම නිසා ආයතනික තත්ත්වයකට පත්වූ ආගමික අධිකාරීත්වයට බයයි. තමන්ම ඉහළට එසැවූ දේශපාලනයට බයයි. තමන්ගේ පරිභෝජනය නිසා වැජඹෙන මාධ්‍යට යටත්. පාරේ යන එන හැසිරෙන විටදි අනෙකා ගැන කිසිදු තැකීමක් නැහැ.

අපි අතිතකාමීන්ව හැසිරෙනු වෙනුවට මේ සමාජයීය මොහොත පාඨකයාගේ හෘදය අභ්‍යන්තරයේ පුපුරුවා හැරීමටයි උත්සාහ ගත යුත්තෙ. ඒ සඳහා ඕනතරම් නිර්මාණ ඉංගිති මේ සමාජයේ තියෙනව. ටිකක් උනන්දුවෙන් තමන් අවට කෙරෙහි අවධානයක් යොමු කිරීම පමණයි ලේඛකයා විසින් කළ යුත්තෙ.

කෙටිකතාව තුළ කතාවක් තිබිය යුතුයි යන මතය ඔබ මේ නිර්මාණ සංග්‍රහයේදී බිඳ දමා ඇති බවක් පෙනෙනවා. ඇයි ඔබ එවැනි පෙලඹීමකට යොමු වුණේ?

කෙටිකතාව කියන සාහිත්‍ය ප්‍රවර්ගය ලංකාවේ ස්ථාන ගතවෙන්නෙ, ‘කතන්දරය’ කියන ආස්වාදනීය අත්දැකීමට සමීපව. ලෝක මට්ටමින් ගත්තත් කෙටිකතාව, මහා සාහිත්‍යය ලෙස සැලකූ නවකතාවෙන් සාකල්‍යයෙන්ම වෙනස් බව පෙන්වමින්, එහෙත් එහි පරිච්ඡේදයක් ලෙස වැඩුණක්. එනිසා ‘කතාව’ කෙටිකතාවේ දෘශ්‍ය රූපය විදිහට තමයි නිරූපණය වුණේ. පසුකාලීනව එය පත්තර පිටුවලින් පිටතට පැනල, ස්වාධීන නිර්මාණ අනන්‍යතාවක් ගොඩනගාගනිද්දී, නව සමාජය විසින් උත්පාද කළ, නව මිනිසා වටා කේන්ද්‍රගත උණා. එමගින් කෙටිකතාවේ ආරම්භක ස්වරූපයේ පැහැදිලි වෙනස්කම් ඇති වුණා. දීර්ඝ කෙටි කතන්දර වෙනුවට, වඩාත් කෙටි, සංක්ෂිප්ත වූ නිර්මාණ බිහිවෙන්න ගත්තා. හෙමින්ග්වේ, බෙෂාවික් සිංගර්, ඕ. හෙන්රි වගේ ලේඛකයන් කෙටිකතාවට නව ජවයක් එන්නත් කළා.

අන්න ඒ මොහොතෙදි ‘කතාව’ කියන ප්‍රපංචය වඩාත් ලිහිල් වී සිදුවීම්, නිර්මාණ තුළ බලවත් වෙන්න පටන් ගත්තා. ලංකාවේ කෙටිකතා මාර්ගය ආරම්භ වෙන්නෙ, කතාව පාදක ලෝක ආදර්ශයන් එක්ක. කතාවක් ලෙස පවතිද්දි, කෙටිකතාවේ ප්‍රධාන අංගය වුණේ චරිත විභාගය. අපේ ආරම්භක යුග කෙටිකතා, චරිත ඇසුරු කොට මතකයේ රැඳී තියෙන්නෙ ඒ නිසයි. නමුත් සිදුවීම් තුළ චරිත හැසිරෙන නූතන කෙටිකතාවේදී, චරිත දැරුවේ ද්විතීයික භූමිකාවක්. මං වඩාත් ආශාක්ත වුණේ මෙන්න මේ සිදුවීම් පාදක ප්‍රබන්ධ ක්‍රියාවලියට. මගේ කෙටිකතාවල සිදුවීම් තමා ප්‍රධාන. චරිත, සිදුවීමේ ප්‍රබලත්වය පිණිස උපකාරවන, අනුශාංගික උපකරණයක්. එනිසා, මා අතින් කතා කීමේ කලාවට අයිති බොහෝ උපක්‍රම වෙනස්කම්වලට භාජන වුණා.

එතැනදී ඔබ පාඨකයාට යම් කොටසක් ඉතිරි කර තිබෙනවා!

ඔව්. ලේඛකයාට වගේම පාඨකයාටත්, වඩවා ගත් නුවණක් තිබිය යුතුයි කියායි මං විශ්වාස කරන්නෙ. මගේ සාහිත්‍යය, ඊට යටත්වයි බිහි වෙන්නෙ. සාහිත්‍යය, උනන්දු සහගත පඨනය කිරීමක් මිස, අලසකම දුරු කරගැනීමේ කියවීමක් නෙමෙයි. ලේඛකයා පාඨකයා කෙරෙහි විශ්වාසක් තබා, සිය ප්‍රබන්ධ කාර්යයේ නිරත විය යුතුයි. පාඨකයාට සියල්ල අවබෝධ කරවමින් ‘එකල්හි මත්ස්‍ය සමූහයා නම් මෙකල්හි බුදුපිරිසය.’ කියා කතාවේ මුල මැද අග සමෝධානයකට යාම ප්‍රබන්ධවේදයට අයිති නැහැ. වර්තමාන සාහිත්‍යය, පාඨකයාගේ සාහිත්යික අවබෝධය කෙරෙහි විශ්වාසයකින් යුතු ප්‍රබන්ධානන්දයක් ලෙස ගොඩනැංවීමයි කළ යුත්තෙ. පාඨකයාගේ උනන්දු සහගත පඨනයට බාධාවන, අනවශ්‍ය මැදිහත් වීම්වලින් කතුවරයා ඈත්ව සිටිය යුතුයි.

Share:

Eth api Piya bamu ( එත් අපි පියාබමු )

 එත් අපි පියාබමු 

උපුටා  ගැනීම සති අග අරුණ 

මෙවර රජත පුස්තක සම්මානය දිනු යොවුන් නවකතාව ලියු සුජාතා අලහකෝන්

නවකතා රචිකාවක සහ කිවිඳියක ලෙස මෙරට පාඨක සමාජය තුළ අවධානයට ලක්ව සිටින සුජාතා අලහකෝන් රචනා කළ ප්‍රථම යොවුන් නවකතාව වන ‘ඒත්, අපි පියාඹමු’ කෘතිය මෙවර රජත පුස්තක සම්මානයට පාත්‍රව ඇත. ගොඩගේ ප්‍රකාශනයක් ලෙස පළවී ඇති එය 2019 ගොඩගේ අත්පිටපත් තරගයේ ප්‍රශස්තම යොවුන් නවකතාව ලෙසද ඇගයීමට ලක් වූ කෘතියකි. මෙයට පෙර කතුවරිය විසින් ‘සඳක් පුරා කවි ලියන්න’ නමැති කාව්‍ය සංග්‍රහයක් මෙන්ම ‘පාට කළ මිනිස්සු’ සහ ‘නිහඬ හඬ’ නමින් නවකතා ද්විත්වයක් රචනා කර ඇත.

ඔබේ යොවුන් නවකතාවට මෙවර රජත පුස්තක සම්මානය හිමිවීම ගැන මොකද හිතෙන්නෙ?

මේ ඇගයීම වඩාත් ඵලදායක පැත්තකට යොමුවෙනවා දකින්නයි මම කැමති. ඒනිසා, සතුටුයි කියලා නවතින්නේ නැතිව ඊට වඩා යමක් මට කියන්න තියෙනවා. ‘ඒත්, අපි පියාඹමු’ කියන නමින් පළවෙලා තියෙන මේ යොවුන් නවකතාවේ තේමාව හරි ප්‍රබලයි. කතාව ලියැවිලා තියෙන්නේ ළමා නිවාසයක සිද්ධියක් ගැනයි. ඒක ඇත්ත සිද්ධියක්. ළමා නිවාසයක පාලිකාවක් මට එවලා තිබුණු ලියුමක් කියවන්න ලැබුණාට පසුව තමයි අදාළ සිද්ධිය ගැන තවදුරටත් විස්තර හොයලා බලලා මම මේ කතාව ලියන්නේ. රජත පුස්තක සම්මානය හරහා පොත වැඩි වැඩියෙන් ජනතාව අතරට යෑමත් සමග මට ලැබෙන ප්‍රසිද්ධියට වඩා මේ ළමා නිවාස කෙරෙහි රටේ බලධාරීන්ගේ අවධානය යොමුකරවා ගන්න අවස්ථාවක් ලැබෙනවා නම් වටිනවා කියලා මම හිතනවා.

මේ වගේ සම්මානයක් ඔබට වැදගත්ද?

සම්මානය වැදගත් කියලා මම හිතනවා. කිසියම් ඇගයීමකින් පසුව එතැනින් එහාට ඇති වන උද්‍යෝගය තව තවත් හොඳ නිර්මාණ කිරීම සඳහා උත්තේජනයක් සපයන බවයි මගේ අදහස. ඒ වගේම, එවැනි ඇගයීමක් ඔස්සේ තවත් අයගේ අවධානයත් ඒ වෙත යොමු වෙනවා. එතකොට ඇගයීමට ලක් වන පුද්ගලයා පමණක් නෙවෙයි, අනෙක් අයත් මෙවැනි කටයුතුවලට දක්වන උනන්දුව වැඩි වෙනවා. ඒනිසා ඕනෑම ප්‍රශස්ත කෘතියකට මෙවැනි ඇගයීමක් ලබාදීම හොඳ දෙයක්.

හැබැයි, ඒ කෘතිවල අපේක්ෂිත ගුණාත්මකභාවය නැත්නම් සහ ඒවා නිවැරදිව ඇගයීමට ලක් කරලා නැත්නම්, ඇති වන තත්ත්වයත් භයානකයි. එහෙම වුණාම ඒ පොත් මිලදී ගන්නා අය අපේක්ෂා භංගත්වයට පත්වෙනවා.

මෙයට පෙර කවි සහ නවකතා රචනා කළ ඔබ යොවුන් නවකතාවක් වෙත යොමුවුණේ ඇයි?

මේ මගේ පළමුවෙනි යොවුන් නවකතාව. මෙවැනි කෘතියක් රචනා කරන්න ඕන කියලා මට හිතුණේ මම අර කලින් කියපු ඇත්ත සිද්ධිය පසුපස තිබුණු බැරෑරුම් සහ බරපතළ ඛේදවාචකය හඳුනාගත්තාට පසුවයි. මම මේ කතාව සඳහා අවශ්‍ය ආකාරයට ඇත්ත සිද්ධිය සහ කතාවේ ප්‍රධාන චරිතය හෙවත් කතා නායිකාව වන දැරියකගේ ජීවිතය ආශ්‍රිත සමහර කරුණු සම්බන්ධයෙන් යම් යම් වෙනස්කම් කරලා තියෙනවා. මම මේ කතාව යොවුන් නවකතාවක් විදිහට ලියන්න හිතුවෙ වැඩිහිටියන්ට මේ වගේ දෙයක් ගැන ලියලා වැඩක් නැහැ කියලා හිතුණු නිසායි. සමාජයේ මතවාද සහ නීතිරීති හදන්නෙත් ඒ අය, කඩන්නෙත් ඒ අය, අපයෝජන කරන්නෙත් ඒ අය. පොතට පාදක කරගෙන තියෙන ඇත්ත සිද්ධිය සිදුවුණාට පසුව මම ඒ ගැන අදාළ වගකිවයුතු හැම නිලධාරියකුටම කතා කළා. පරිවාස, ළමාරක්ෂක ඇතුළු හැම අංශයකටමත් කතා කළා. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔබතුමාලා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලා මම ඒ අයගෙන් ඇහුවා. ඒ අය හොඳ හොඳ උත්තර දුන්නා. හැබැයි, ඔවුන් ඒ සම්බන්ධයෙන් කිසිම දෙයක් කළේ නම් නැහැ. ඒ අයත් වැඩිහිටියොනෙ. ඊට පස්සෙ මට හිතුණා අවසානය පොඩ්ඩක් වෙනස් කරලා මේ සිද්ධිය කතාවක් වශයෙන් ලියන්න ඕන කියලා.

එයින් අදහස් වන්නේ ඔබ යළිත් වැඩිහිටියන් වෙනුවෙන් කිසිවක් නොලියන බවද?

ලියනවා. මම කියන්නේ මෙවැනි තේමාවක් ඔස්සේ වැඩිහිටියන්ට නවකතාවක් ලියලා වැඩක් නැහැ කියන එකයි. මගේ ඊළඟ නවකතාව ලියලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් විදිහේ තේමාවක් ඔස්සේයි. හැබැයි, මේ තේමාව ගත්තාම ළමයි සම්පූර්ණයෙන්ම මේ තත්ත්වයට ඇද දැම්මේ වැඩිහිටියොමනෙ. පාලකයොත් වැඩිහිටියො, අපයෝජන කරන්නෙත් වැඩිහිටියො, නීතිරීති තියෙද්දි ඒවා ක්‍රියාත්මක නොකරන්නෙත් වැඩිහිටියො. ඒ කියන්නෙ දැන දැනම මේ තත්ත්වයට ඉඩදීලා තියෙන්නෙත් වැඩිහිටියොනෙ. ඒනිසා මේ වගේ තේමාවක් යොවුන් පාඨකයන්ට දුන්නොත් ඔවුන් හෝ මේ තත්ත්වය ගැන හිතයි කියන අදහස මා තුළ තිබුණා.

කියවීම අඩුවී ඇතැයි කියැවෙන පසුබිමක පොතකින් මෙවැනි දෙයක් සමාජගත කරන්න පුළුවන්ද?

අද පොත් කියවන්නේ නැහැ කියලා ඇතැමුන් අපේ තරුණ පරපුරට දෝෂාරෝපණය කළාට, ඇත්තම කතාව ඊට වෙනස් කියලයි මම හිතන්නෙ. දැන් තියෙන ආර්ථික අපහසුතා මැද බොහෝ අයට පොතක් ගන්න අමාරුයිනෙ. තවමත් පොත්වලට ආදරය කරන මිනිස්සු මම දැකලා තියෙනවා, අපිත් මාතලේ පොත් ප්‍රදර්ශනයක් කරනවා ‘මහතලා’ කියලා. එක එක තරාතිරමේ පිරිස් ඒ පොත් ප්‍රදර්ශනයට එනවා. ඒ බොහෝ අය ආසාවෙන් පොත් අතගාලා, පෙරළලා බලනවා. හැබැයි, සල්ලි දීලා ඒ පොත් ගන්නෙ නැහැ. පොඩි ගාණකට තියෙන පොතක් තමන්ගෙ දරුවට අරන් දෙනවා හැර තමන් වෙනුවෙන් පොතක් ගන්න ඒ බොහෝ අය පෙලඹෙන්නෙ නැහැ. ඒ, ඔවුන් කියවන්න අකමැති නිසා නෙවෙයි. දැන් ලංකාව පුරාම පුස්තකාල රාශියක් තියෙනවා. හැබැයි ඒ බොහෝ පුස්තකාලවලින් නිසි ප්‍රයෝජනයක් ගැනෙනවද කියන එක ප්‍රශ්නයක්. පුස්තකාලවල පොත් ගොඩ ගහගෙන ඉන්නවා වෙනුවට ජංගම පුස්තකාල හදලා ගම්වලට පොත් යවන ක්‍රමයක් සකස් කරනවා නම් ඉතා වටිනවා.

පොතකින් යම් සමාජ බලපෑමක් කරන්න පුළුවන් කියා ඔබ විශ්වාස කරනවාද?

ඔව්, ඒක කරන්න පුළුවන්. ඒ ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. අපි පොඩි කාලයේ ඉඳලාම පොත් කියෙව්වා. අද අපි යම් මට්ටමක ඉන්නේ එදා එහෙම පොත් කියවපු නිසා කියලා මම හිතනවා. ඒ කාලයේ පළවූ සෝවියට් පරිවර්තන සියල්ලම වගේ අපි කියෙව්වා. ඒ පොත්වලින් අපේ ජීවිතවලට බොහෝ දේවල් එකතු වුණා. පසු කාලයක ආපු වෙනත් දියුණු මාධ්‍යවලින් ලබාගන්න දේවල්වලට වඩා වටින බොහෝ දේවල් අපි එදා පොත්වලින් ලබාගත්තා.

Share:

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235

Select your Catogory

Blog Archive