සුජාතා හැරතවත් කොපිකාරයන් සිටීද?
පොත් හුටපට, නිර්මාණ කොල්ලකෑම් සහ නිර්මාණ චෞරයන් පිළිබඳ කතාවලින් කිසිදු අඩුවක් නැති ඈත මෑත ඉතිහාසයක් අපට හිමිය. එම ඉතිහාසය දැන් ටිකින් ටික ‘‘සාහිත්‍යමය කුණු ගොඩක්’’ සේ මතුවෙමින් තිබේ. එය මෙයට නොබෝ දිනකට පෙර ඇවිස්සුණේ සුජාතා අලහකෝන් නමැති ප්‍රබන්ධකාරියක විසින් ප්‍රබන්ධිත අනතුරුව සම්මානවලින් සම්මානිත ‘‘ඒත් අපි පියාඹමු’’ නමැති යොවුන් සාහිත්‍ය කෘතියට පින්සෙණ්ඩු වන්නටය. ඕනෑම කළු වලාවක රිදී රේඛාවක් තිබේ යැයි අපේ කටවහරේ තිබෙන කියමන තක්කෙටම හරියන්නේ මෙවැනි තැන්වලදීය. වැඩක් හිතුවටත් වඩා සාර්ථක වූ විට ලොක් නැති කටෙන් නිරායාසයෙන් පිටවෙන්නේ එක ගලින් කුරුල්ලෝ දෙන්නෙක් මරාගත්තා නමැති වචන ටිකය. සුජාතාට මුහුණු පොතෙන් සහ වෙනත් තැන්වලින් එල්ල වූ ගල් මුල්වලින් කුරුල්ලන් දෙන්නකු නොව කුරුලු රෑන් පිටින්ම මියයමින් සිටින බව අපට දැකිය හැකිය.
සුජාතා අලහකෝන්ට එල්ල කරන ගල් ප්‍රහාර වැදී මැරී වැටෙන්නන් අතර බටු කුරුල්ලන් පමණක් නොව රාජාලියන් සේ රඟන පක්ෂීහුද සිටිති. කොහොම නමුදු ගල් වදින්නට කලින්ම සුජාතා අලහකෝන්ගේ පෙර කී යොවුන් ප්‍රබන්ධය දැන් පාඨක අවකාශය පුරා පියාසර කර අවසන්ය. 2019 වසරේ ගොඩගේ අත් පිටපත් ඇගයීම් සම්මානයත්, 2020 දී ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් පිරිනමන ලද රජත පුස්තක සම්මානයත්, එසේම එම වසරේ ගොඩගේ සාහිත්‍ය උළෙලේදී හොඳම යොවුන් නවකතාවට හිමි සම්මානයත් ලැබුණු සුජාතාගේ යොවුන් ප්‍රබන්ධයට පියඹා යෑමට ඕනෑතරම් තටු ලැබී ඇති බව අමුතුවෙන් කිව යුතුද? ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද, චින්තා ලක්ෂ්මි ආරච්චි, ප්‍රේමසිරි මාහිංගොඩ නමැති පරිවර්තක පරිවර්තිකාවන්ගේ කෘතිවලින් ගෙඩි පිටින්ම කොටස් සොරාගෙන මුලින් සඳහන් කළ ප්‍රබන්ධයට තටු හැදූ බව සුජාතාවට එල්ල වන චෝදනාවයි. සුජාතාගේ මේ අටමඟල හසුවී ඇත්තේ පාඨකයකුටය. මෙය නම් ඇගයීමට ලක්කළ යුතු කරුණකි. මෙම පාඨකයාටද සම්මානයක් පිරිනැමීම සුජාතාට සම්මාන පිරිනැමූ ආයතනවල වගකීමකි. කෙසේ වෙතත් එමගින් පෙනෙන්නේ අපේ ලේඛකයන්ට සාහිත්‍ය විචාරක විශාරදයන්ට සාහිත්‍ය ඔස්තාර්ලාට වඩාත් තරමක් හෝ ඉහළින් අපේ පාඨක ජනයා සිටින බව නොවේද?
කෙසේ නමුදු බුද්ධිමය දේපළ කාර්යාලයේ ලිපිගොනුවලට පමණක් සීමාවිය හැකිව තිබුණු කතා කීපයක් සුජාතා නිසා එළියට පැන්නේය. කුමන ගැටලු ඇති වුවද එමගින් අපේ රටේ දුප්පත් සාහිත්‍යයට සුජාතා කර ඇත්තේ අමිල මෙහෙවරකි. ඒ සඳහා ඇයට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය. තුවක්කු බටය හිස මත තබා තමන්ගේ නමට අනුන්ගේ ගේ පද රචනා ලියාගැනීමේ ඇඟ ලොමු ඩැහැ ගන්වන කතාද, කිසිදු හිරිකිතයක් නැතිව අනුන්ගේ නිර්මාණවලට තමන්ගේ වග වාසගම දමාගත් සමහර මහාචාර්යවරුන් හා ටියුෂන්කාරයන් පිළිබඳ කතාද අප දැනගත්තේ සුජාතාට පින්සිදු වන්නටය. නිල බලය, ධන බලය, වාචාල බලය, දුර්ජන බලය, වසඟ කරගැනීමේ බලය නමැති පංච බලයෙන් සන්නද්ධව සමහර නිර්මාණ චෞරයන් සුජාතාට එරෙහිව අවි අමෝරා ගැනීමද මෙකී ජවනිකා අතර අපේ රසනහර ප්‍රබෝධයට පත්කරන අපූර්ව ජවනිකාය.
මෙවැනි අපූර්ව ජවනිකා කෙරෙහි අවධානය යොමුකිරීමට පෙර සුජාතා අලහකෝන් එහෙන් මෙහෙන් එකතු කර සාර සංග්‍රහවාදී ප්‍රබන්ධයක් ගෙතීමට හේතුවූ කරුණු කිමක්දැයි සොයා බැලිය යුතුය. අපි එය ඇගෙන්ම විමසීමු.
‘‘මං කුඩා කාලේ ඉඳලම ගොඩාක් පොත්පත් කියවනවා. ඒ පොත්වල රස තැන් මගේ මතකේ හිටිනවා. ඒ වගේම ඔය පොත්වල තිබෙන හරවත්, රසවත් කොටස් මං වෙනම පොතක සටහන් කරගන්නවා. ඒක මගේ පුරුද්දක්. ඒ පුරුද්ද දැන් මට නරක විදියට බලපා තිබෙන බවයි පේන්නේ. සවිඥානිකව හෝ අවිඥානිකව එහෙම කියවූ පොත්වල කොටස් මගේ ප්‍රබන්ධයට එන්න ඇති. ඇත්තෙන්ම මට ඕන වුණේ ළමා නිවාසයක සිදුවන ළමා අපචාර පදනම් කරගෙන නිර්මාණය කළ මගේ කෘතිය සමාජගත කරන්නයි. ඒ, ළමා නිවාසවල විවිධ අපචාරවලට ලක්ව දුක් විඳින ළමයින් ගැන සමාජ හඬක් මතුකරන්නයි මට අවශ්‍ය වුණේ. ඒත් මා මතුකළ ඒ තේමාව පැත්තකට දමලා මට සමාජජාලා මාධ්‍ය මගින් පහර දෙන්න පටන් අරන් තියෙනවා. මං හිතාමතා කාගෙවත් කෘතියක් පිටපත් කරන්න කල්පනා කළේ නැහැ. නමුත් මගේ අතින් වරදක් වෙලා තියෙනවා.’’
සුජාතා කියන හැටියට පරසන්තක පොත්වල කොටස් මතකය මගින් සවිඥානිකව හෝ අවිඥානිකව ඇයගේ කෘතියට පිවිස ඇත. මේ නම් අගේ ඇති මතක ශක්තියකි. පොත්වල පදාස පිටින්ම මතක හිටින මෙවන් චරිත නම් පරම දුලබය. සුජාතාවන්ට පාසල්වල ශිල්ප සතර ඉගෙන ගන්නා ළමයින්ගේ මොට වූ මතක ශක්තිය ප්‍රවර්ධනය සඳහා ආණ්ඩුව මගින් වගකීමක් පවරන්නේ නම් එය අනාගත පරපුරට ඉමහත් වාසනාවකි. අනෙක් අතට සුජාතාගේ මතක ශක්තිය පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක පර්‌යේෂණයක් කිරීම ඵලදායක වැඩක් වනු ඇත. අප දන්නා පරිදි 2004 දී ජවිපෙන් තරග කර මාතලේ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට යාමට පෙර ඇය ගුරුවරියකි.ඇගේ මේ මතක ශක්ති පාඩම ඇය තමන්ගේ සිසු කැළට බෙදුවා නම් ඇගේ නම ලියැවිය යුතුව තිබුණේ පී. ද ඇස්. කුලරත්නලා වැනි ගුරුවරුන්ගේ ලැයිස්තුවේය. එහෙත් ඇය ළමුන්ට උගන්වා ඇත්තේ ගුරු මුෂ්ටිය තබාගෙන බව අපට සිතේ.
එහෙත් ඇයගේ මතක ශක්තිය පිළිබඳ අපට නම් යම් පරහක් ඇතිවේ. ඒ ඇගේ කෘතියට පදාස පිටින් එක් වූ පරසන්තක පුස්තක කොටස් ඇයට තමන්ගේ නොවන බව අමතක වූයේ කෙසේද? සුජාතා කියන හැටියට ඇය උත්සාහ කළේ ළමා නිවාසවල ළමා අපචාර පිළිබඳ හඬක් නැගීමලු. ඇයට ඒ සඳහා හඬක් නැගීමට නම් ඕනෑතරම් මාධ්‍ය මගින් එය කළ හැකිව තිබුණි. කෙසේ වතුදු ඇය ළමා අපචාර ගැන කියන්න ගොස් සාහිත්‍ය අපචාරයක් නම් කර තිබෙන බව පැහැදිලිය. කෙසේ වුවත් සුජාතා වරද වරදක් සේ දැකීම මහරුය. එහෙත් ඇයගේ මතක ශක්ති ප්‍රවාදය නම් නොතරම්ය.
සුජාතාට ගලක් ගසා අත සෝදා ගැනීමට තැත් කළ උපුල් ශාන්ත සන්නස්ගලට බුද්ධිමය දේපළ තමන් සන්තක කරගැනීම පිළිබඳ චෝදනා රැසක් තිබේ. ඉන් එක් චෝදනාවක් නම් පියසේන කහඳගම නමැති මෙරට සිටි ප්‍රවීණතම ජනශ්‍රැතිවේදියා දුක් මහන්සියෙන් සොයා රචිත ‘‘ප්‍රාදේශීය ව්‍යවහාර’’ නමැති මහඟු ග්‍රන්ථයෙන් ඔහු ගැන සඳහනක් නොමැතිව සන්නස්ගල සහ තවත් නමැත්තකු නමින් ප්‍රකාශිත ‘‘ව්‍යාකරණ විමංසා’’ නමැති කෘතියට කරුණු උපුටා ගැනීම පියසේන කහඳගමගේ සූරීන් රාවයට 2001 සැප්තැම්බර් 16 දා ලියූ ලිපියකින් සන්නස්ගලට මෙසේ චෝදනා කරයි.
‘‘උපුල් ශාන්ත සන්නස්ගල සහ අනිල් පෙරේරා නමින් පළකරන ලද ‘‘ව්‍යාකරණ විමංසා’’ (දෙවන සංස්කරණය 1999 පෙබරවාරි) 606 පිටුවේ සිට 627 දක්වා ප්‍රාදේශීය ව්‍යාකරණ හඳුන්වා දී ඇත. එය ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ තමන්ගේ අධ්‍යයනයක් සේ පාඨකයාට හැඟෙන පරිදිය. එහෙත් එය ඔවුන්ගේ අධ්‍යයනයක් නොවේ. මගේ අවසරයකින් තොරව ප්‍රාදේශීය ව්‍යවහාර පොතෙන් වංචනික ලෙස සොරාගත් තොරතුරු තමන්ගේ යැයි හැඟෙන ලෙස ඉදිරිපත් කොට විද්‍යාර්ථීන් නොමග යැවීම ව්‍යාකරණ විමංසාවේ මුළාවේ තවත් එක් පැතිකඩක් පෙන්වයි.’’
මෙම නිර්මාණ කොල්ලය තම පියාගේ මරණය ඉක්මන් කළ බව කහඳගම සූරීන්ගේ පුත්‍රයා වන ප්‍රබෝධ කහඳගමගේ ප්‍රකාශ කරයි.
කලුරිය කළ මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ ග්‍රන්ථ කීපයක් අනවසරයෙන් මුද්‍රණය කරන ලදැයි චෝදනා කළ මහාචාර්යවරයාගේ පාර්ශ්වයෙන් සන්නස්ගලට එරෙහිව නඩු පවරනු ලැබිණි. දිවංගත මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ බිරිඳ ලලිතා සරච්චන්ද්‍රද සන්නස්ගලට එරෙහිව උසාවි ගියාය.
සුජාතාට ගැසූ ගල්මුල්වලින් මතුවූ කරුණු අනුව සත් සමුදුර චිත්‍රපටයට මහගමසේකරයන් රචිත ගේය පද රචනා දෙකෙන් එකක් වන ‘‘පිපුණු කුසුම පරවූවා’’ ගේය පද රචනාවේ රචකයා සේ මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂ මහාචාර්ය සිරි ගුණසිංහ තම නම යොදා තිබේ. මෙම සමහර කොල්ලකෑම් හුදෙක් විවේචනවලට සීමා වුවද නිර්මාණ කොල්ලය පිළිබඳ සිදුවීම් නඩු හබ දක්වා ගිය අවස්ථාද ඕනෑතරම් තිබේ. ප්‍රවීණ ලේඛක බොබී ජී. බොතේජු ඒ පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කර තිබේ. ඔහු හෙළිකරන කරුණු අනුව මෙරට ප්‍රකට ලේඛකයකු වූ මලල්ගොඩ බන්දුතිලකද නිර්මාණය කොල්ලයක් පිළිබඳ වරක් උසාවිය මගින් වරදකරුවකු කරනු ලැබීය. ඒ 1962 දීය. මුල් කාලයේ යතුරු ලියන්නකු සේ රැකියාව කළ මලල්ගොඩ බන්දුතිලකට යතුරු ලියනය සඳහා ‘‘දිව විපරියාස’’ නමැති අත් පිටපතක් ලැබුණි. ඒ එහි කතුවරයා වූ විජේසුරේන්ද්‍ර නමැත්තකු මගිනි. පොත යතුරු ලියනය කළ කතුවරයාට පොතේ යතුරු ලියනය කළ පිටපත කතුවරයාට ලබාදුන් බන්දුතිලක මුල් පිටපත තමා ළඟ තබා ගනිමින් එය ‘‘චිත්‍රමාලි’’ නමින් ගුණසේන සමාගම ලවා තමන්ගේ නමින් මුද්‍රණය කරවීය. පොතේ සැබෑ කතුවරයා වූ විජේසුරේන්ද්‍ර නඩු මගට ගියේය. නඩු විභාගයේදී ඇසූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දීමට බන්දුතිලක අපොහොසත් විය. එහෙත් සැබෑ කතුවරයා නොපැකිලව පිළිතුරු දුන්නේය. එහෙයින් ඔහු නඩුව දින්නේය. පොතේ කතුවරයා හැටියට රාජ්‍ය ලේඛනාගාරයේ ලියාපදිංචි කළ බන්දුතිලකගේ නම අහෝසි කිරීමටත්, විජේසුරේන්ද්‍රගේ නම ලියාපදිංචි කිරීමටත් උසාවිය නියෝග කළේය. මෑත කාලයේ නිර්මාණ කොල්ලය පිළිබඳ වාර්තා වූ තවත් නඩුවක් නම් ප්‍රකට සරසවි ඇදුරකු වූ ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිට එරෙහිව පැවරූ නඩුවයි. ප්‍රකට පරිවර්තිකාවක සහ ලේඛිකාවක, පරිපාලන නිලධාරිනියක වූ අභාවප්‍රාප්ත පද්මා එදිරිසිංහ කොළඹ පුරාණය ගැන ගුවන් විදුලියේ කළ කතා පෙළක් පටිගත කර තමන්ගේ නමින් පොතක් හැටියට ප්‍රකාශයට පත්කිරීම සෙනෙවිට එල්ල වූ චෝදනාවයි. ඔහු චෝදනාවට වරදකරු විය.
තරමක් අතීතයට යනවිට අපට පෙනෙන්නේ අනුන්ගේ නිර්මාණවලින් කොටස් පිටපත් කරගැනීම පිළිබඳ චෝදනාව එල්ල වූ නිර්මාණකරුවන් කීපදෙනකු සිටින බවය. කුමාරතුංග මුනිදාස කුකවි වාදයෙන් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ටද එවැනි චෝදනාවක් කළේය. මෙරට ප්‍රමුඛ පෙළේ නවකතාවරුවකු වූ ඩබ්ලියු. ඒ. සිල්වාටද එම චෝදනාව එල්ල විය. ඒ 1919 මාර්තු 1 වැනිදා සිට ‘‘සිරිසර’’ සඟරාවේ කොටස් වශයෙන් පළකර අනතුරුව 1922 දී පොතක් වශයෙන් ප්‍රකාශිත ඔහුගේ ‘‘ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජිනිය’’ නමැති ප්‍රබන්ධය ඉංග්‍රීසි ප්‍රබන්ධ රචක රයිඩර් හැගාර්ඩ්ගේ "She" නමැති නවකතාවේ පිටපතක් යන්නය. එම චෝදනාව පිළිබඳ සිල්වා මහතා සඳහන් කර තිබෙන්නේ මෙවැන්නකි.
‘‘ලක්ෂ්මිය වැනි චරිතයක නිර්මාණය මට අභිමත වූයේ රයිඩර් හැගාර්ඩ්ගේ She නමැති නවකතාව කියවීමෙනි. She අබිරහසකි. ලක්ෂ්මීද එවැනිම අබිරහසකි. එපමණක් විනා ඒ ඉංගිරිසි පොතෙන් මගේ පොතට ගැනුණු කිසිවක් එනම් කතා වස්තුවෙන්වත්, සන්දර්භයෙන්වත්, අලංකාරාදියකින්වත් යටත් පිරිසෙයින් වචන මාත්‍රයකින්වත් ගැනුණු කිසිවක් නැතේ.’’
(උපුටා ගැනීම ‘‘කතා රජ කතාව’’ ඩබ්ලියු. ඒ. සිල්වා චරිතය - මාතර කේ. එච්. ඒ. ධර්මසේකර - 1963, 129 පිටුව.)
ඩබ්ලියු. ඒ. සිල්වාගේ මෙම කෘතිය පැලෑනේ වජිරඥාන නාහිමියන් ලියා ඔහුගේ නමින් පළකළ කෘතියක් බවටද තවත් චෝදනාවක් එල්ල විය.
මාර්ටින් වික්‍රමසිංහගේ මඩොල් දූව සහ රෝහිණිය වැනි ප්‍රබන්ධ ඉංග්‍රීසි ප්‍රබන්ධකරුවන්ගේ නිර්මාණවල පිටපත් බවට තවත් සමහරු චෝදනා කරති. රෝහිණිය ‘‘ස්කැරමෞච්’’ නමැති කෘතිය ඇසුරින් කළ එකක් බවට ද චෝදකයෝ චෝදනා කරති. මහාචාර්ය මිණිවන් පී. තිලකරත්න ලියූ රුසියානු සාහිත්‍යය නමැති කෘතියේ සඳහන් කරන්නේ ගුණදාස අමරසේකරගේ රතු රෝස නමැති කෙටිකතාවේත් සෝවියට රුසියානු විප්ලවයට පෙර එරට සිටි ගාර්ෂිංගේ ‘‘රතු මල’’ නමැති කෙටි කතාවේත් බොහෝ සමානකම් තිබෙන බවය. මහාචාර්යවරයා සඳහන් කරන්නේ මෙම කෙටිකතා දෙකෙහි කතා වස්තුව, කතාව ඉදිරිපත් කරන ආකාරය අතින් කිට්ටු සමානකමක් තිබෙන බවය. අපට පෙනෙන හැටියට අපගේ මෙම ලේඛකයෝ බෙහෙවින් අපරදිග සාහිත්‍යය ඇසුරු නිසුරු කළහ. එයින් ඔවුන්ගේ කෘතිවලට එකී අපරදිග ප්‍රබන්ධවල ආභාෂය ලැබෙන්නට ඇත. ලංකාවේ පමණක් නොව ලෝකයේද නිර්මාණ චෞරයන් පිළිබඳ තොරතුරු ඕනෑතරම් තිබේ. ඉංග්‍රීසියෙන් Plagiarism යනුවෙන් ගූගල්හි පරීක්ෂා කරන විට නිර්මාණ කොල්ලයට සම්බන්ධ වූ බව කියන ලෝක ලේඛකයන් රැසක් පිළිබඳ තොරතුරු ගලාගෙන එයි. මාර්ටින් ලූතර් කිං, ටී. එස්. එලියඩ්, ජේ. කේ. රෝලිං, ඩැනී බ්‍රවුන්, ඩොරිස් කර්නිස් ගුඩ්වින් ආදී ලේඛකයන් රැසකට චෝදනා එල්ල වී තිබේ. මාර්ටින් ලූතර් කිංගේ ආචාර්ය උපාධි නිබන්ධනය වෙනත් කෘතියකින් පිටපත් කර තිබෙන බව තහවුරු වී තිබේ. අවසාන වශයෙන් බලන කල මාර්ක් ට්වේන් කියන හැටියට හැම සාහිත්‍ය කෘතියක්ම මොන විදිහක හෝ පිටපත් කිරීමකි යන කතාව තහවුරු වන සාධක නම් ඕනෑ තරම් තිබේ. එහෙත් සැබෑ නිර්මාණයක් නම් කිසිසේත්ම පිටපතක් විය නොහැකිය.
සන්නස්ගලටත් සරච්චන්ද්‍රගේ, ගම්ලත්ගේ, කහඳගමගේගේ නිර්මාණ හොරකම් කිරීමේ චෝදනා තියෙනවා
මහාචාර්ය
සිරි ගුණසිංහටත් චෝදනා
අපි සම්මානය අත්හිටෙව්වා
සම්මානය හා මුදල
යළි අපට දුන්නා
අනුරසිරි හෙට්ටිගේ
ව්‍යාපෘති සම්බන්ධීකාරක
ගොඩගේ සම්මාන උළෙල
සමන්ත ඉන්දීවර සමරසිංහ
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය
‘‘සුජාතා අලහකෝන්ට අපේ ආයතනයෙන් පිරිනැමූ රජත පුස්තක සම්මානයත්, ඊට අදාළ ත්‍යාග මුදලත් නැවත බාරදී තිබෙනවා. ත්‍යාග මුදල වූ රුපියල් දෙලක්ෂ පනස්දහස පොත් ප්‍රකාශකයන්ගේ ගිණුමට බැර කර තිබෙනවා.’’
‘‘ගොඩගේ ආයතනය සුජාතාට ලබාදුන් හොඳම යොවුන් නවකතාවට හිමි සම සම්මානය අත්හිටුවා තිබෙනවා. කොරෝනා ඇඳිරි නීති කාලයෙන් පසු ඇයට අප ආයතනය පිරිනැමූ සම්මානයත්, ත්‍යාග මුදලත් නැවත බාරදීමට එකඟ වෙලා තිබෙනවා.’’
0 Comments:
Post a Comment