පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

Ridum piri Piri madum (රිදුම් පිරි පිරිමැදුම්)


‘රිදුම් පිරි පිරිමැදුම්’ කාව්‍ය සංග්‍රහය

උපුටා  ගැනීම සති අග අරුණ

 පිරිමින්ගේ හදවතට සහ පුරුෂ ඇසට හසු නොවන ගැහැනු හැඟීම් තියෙනවා

මෙවර රජත පුස්තක සම්මානය ඔබේ කාව්‍ය සංග්‍රහයට හිමිවීම ගැන දැනෙන හැඟීම ගැන කිව්වොත්?

සම්මානය හිමිවීම පිළිබඳව සතුටක් තියෙනවා. එහෙම සතුටක් නැහැ කිව්වොත් මම පෘථග්ජන මනුස්සයෙක් නෙවෙයිනෙ. හැබැයි ඒක ආභරණයක් කරගෙන බැබළෙන්න අදහසක් මට නැහැ. මෙයට පෙර අවස්ථාවකදිත්, පළමුවෙනි රජත පුස්තක සම්මාන උළෙලටත් මගේ කවි පොතක් නිර්දේශ වුණා. මෙවර ඒ සම්මානය මට ලැබුණා. මේ පොතට වඩා හොඳ පොතකට ඒ අවස්ථාව අහිමිවෙලා, මේ පොතට සම්මානය ලැබුණා නම් මට ඒ ගැන සතුටු වෙන්න බැහැ. සම්මානය ලැබුණේ තිබුණු පොත් අතරින් හොඳ පොතට නම් මට ඒ ගැන සතුටු වෙන්න පුළුවන්.

මේ වගේ සම්මානයක් කිවිඳියකට වැදගත් වෙන්නේ ?

කවියෙදි කවියා හෝ කිවිඳිය වශයෙන් බෙදීමක් අවශ්‍ය නැහැ කියලා මතයක් තියෙනවා. මම ඒ අදහසත් සියයට පනහක් පිළිගන්නවා. හැබැයි, ලංකාව වගේ රටක කිවිඳියකට ඇගයීමක් ලැබෙනවා කියලා කියනකොට එතැන යම් විශේෂයක් තියෙනවා කියලත් මට හිතෙනවා. බටහිර රටවල්වලට සාපේක්ෂව ලංකාව වගේ රටවල්වල කවියට හෝ ලේඛන කලාවට යොමු වන කාන්තාවන් අඩුයි. මේ රටවල්වල කාන්තාවන් ලිවීමට හෝ නිර්මාණකරණයට යොමු වෙන්නේ බොහොම විශාල බාහිර කුටුම්භ වගකීම් හෝ වෘත්තීය වගකීම් සහ වෙනත් බාහිර කාරණා සියල්ල අතරෙයි. ඒ සියල්ලත් සමග කාන්තාවක් කවි ලියන්න පෙලඹෙන්නේ ඇය තුළ ඇති සහජ වුවමනාව, එහෙමත් නැත්නම් ඇතුළාන්තයෙන් නිරායාසයෙන් මතු වන වුවමනාව නිසායි. ලංකාව වගේ රටක අපට කිවිඳියක් කියන කෙනාව කියවාගන්න වෙන්නෙ එවැනි පසුබිමක් තුළයි. දකුණු ආසියානු රටවල්වල ඒ තත්ත්වය කිසියම් අභියෝගාත්මක ස්වරූපයක් ගන්නවා. ඒ අතරින් ලංකාව වගේ රටක ගැහැනියක් ලිවීම කියන්නෙ යම් තරමක විස්මයක් බවටත් පත්වෙනවා.

‘රිදුම් පිරි පිරිමැදුම්’ කාව්‍ය සංග්‍රහය ගැන ඔබ පෞද්ගලිකව තෘප්තිමත්ද?

මම කවියට ප්‍රවේශ වෙන්නෙ ‘යුග ස්ත්‍රී’ නමැති පළමුවෙනි කාව්‍ය සංග්‍රහය හරහායි. බොහෝ අය ඉන්පසුව මාව හඳුන්වා දුන්නෙ මේ අපේ යුග ස්ත්‍රී කියලයි. ඒ විදිහට මගේ පළමුවෙනි පොත හරහා මම යම් අනන්‍යතාවක් සලකුණු කළා කියලා මම විශ්වාස කරනවා. ඒ පොතත් සමගම මේ වනවිට ප්‍රකාශයට පත්වෙලා තියෙන කවි පොත් හතරම සැලකිල්ලට ගත්තාම පෞද්ගලිකව මා වඩා තෘප්තිමත් වෙන්නෙ මේ කෘතිය ගැනයි. කලින් පළ වූ කෘතිවල ඇතැම් කවි වෙනස් විය යුතුයි කියා හෝ ඒවා ගැන පසුතැවීමක් හෝ මට නැහැ. එහෙත්, ඒවා තවදුරටත් සංස්කරණය වෙන්න තිබුණා කියලා මට දැන් හිතෙනවා.

මේ කෘතියේ එක් නිර්මාණයකින් ඔබ කියන පරිදි, “ගැහැනු විතරක් කියවන හැඟීම්” තිබෙනවාද?

පැහැදිලිවම තියෙනවා. ඒ හැඟීම් පිරිමින්ගේ හදවතට සහ පුරුෂ ඇසට අහුවෙන්නෙ නැහැ කියලයි මම හිතන්නෙ.මම ඒ කවියෙන් කියන්න උත්සාහ කරන්නෙ ස්ත්‍රිය කියවා ගැනීම වෙනම කටයුත්තක් වන බවයි. පුරුෂයා විසින් කවිය තුළ ස්ත්‍රිය ස්ථානගත කරලා තියෙන්නේ වෙනම තැනකයි. ඉතිහාසයේ සංදේශ කාව්‍ය තුළ ස්ත්‍රියට හිමි තැන, ස්ත්‍රිය තබා තිබෙන තැන සහ එදා සිට අද දක්වා ගලාගෙන ආපු කවියේ ගමන් මග පුරා අද වෙනකොට පවා බොහෝ පුරුෂයන් හෙවත් කවියන් අතින් ලියැවෙන කවිය තුළ ස්ත්‍රිය රඳවා තිබෙන තැන පැහැදිලියි. කාරණා සැලකිල්ලට ගන්නකොට මට හිතෙනවා පුරුෂයාට කවදාවකවත් ස්ත්‍රිය හරියට කියවා ගන්න පුළුවන් වෙලා නැහැ කියලා. සමාජයේ සම තැන කියන කාරණය ගැන නෙවෙයි මම මේ කතා කරන්නෙ. නිර්මාණය තුළ ස්ත්‍රියව තවදුරටත් තබා තිබෙන්නේ ශෘංගාර වස්තුවක් හෝ ආදර වස්තුවක් කියලා කියන තැනයි. එතැනින් එහා ඇගේ අවශ්‍යතා, ඇගේ ශක්‍යතා, ඇගේ හැඟීම් කියවා ගැනීම, ඇගේ ඇතුළාන්තය හැදෑරීම වගේ කාරණා කවියන්ගේ කවිවල දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්.

කවිය සම්බන්ධයෙන් අද සිදුකෙරෙන විචාරය පිළිබඳව සෑහීමට පත්විය හැකිද?

ලංකාවේ කවිය ගැන කතා කරන ඇතැම් අය බොහෝවිට බටහිර කවිය ඒ සඳහා ආදේශ කරගන්නවා. බටහිර කවිය ප්‍රගුණ නොකර ලංකාවේ කවි කිවිඳියන්ට කවි ලියන්න බැහැ කියලා විචාරකයන් යැයි කියාගන්නා අපේම කණ්ඩායමක් විශ්වාස කරනවා. අපේ කවි කිවිඳියන්ට කිසියම් ආකාරයක හැදෑරීමක් තියෙන බව ඒ කණ්ඩායම දන්නෙ නැහැ. කොහොම වුණත් මගේ කවියේ හැඩරුව සැකසෙන්නෙ කවිය උපදින මොහොතෙදියි. මම සෘජු ප්‍රකාශන කරනවාද, මගේ කවිය සුමටව ලියනවාද කියලා මම කලින් තීරණය කරන්නෙ නැහැ. ඒ කාරණය තීරණය වෙන්නේ අදාළ අනුභූතිය අනුවයි. මගේ කවිය විඳින රසිකයාට අදාළ සන්නිවේදනය සහ වින්දනය ලැබෙනවා නම් මට සෑහීමකට පත්වෙන්න පුළුවන්. මගේ කවිය ලියැවෙන්නේ ඔවුන් වෙනුවෙන් කියලයි මට හිතෙන්නේ. කොහොමත්, මම කවි ලියන්නේ විචාරකයන්ට නෙවෙයි.

මේනුක විතාන

මෙවර රජත පුස්තක සම්මානය දිනු කාව්‍ය සංග්‍රහය පබැදු අනුරාධා නිල්මිණි

නව පරපුරේ කිවිඳියක, නවකතා රචිකාවක මෙන්ම මාධ්‍යවේදිනියක ද වන අනුරාධා නිල්මිණි විසින් රචිත සිව්වැනි කාව්‍ය කෘතිය වන ‘රිදුම් පිරි පිරිමැදුම්’ මෙවර රජත පුස්තක සම්මානයෙන් පිදුම් ලබා ඇත. සන්ථව ප්‍රකාශනයක් ලෙස පළවී ඇති එම කෘතිය මේ වනවිට මෙවර ගොඩගේ හා විද්‍යෝදය සාහිත්‍ය සම්මාන සඳහාද නිර්දේශිතය. ‘යුග ස්ත්‍රී’ සහ ‘වත් සියපත්’ සහ ‘මදහසක මැදියම’ යන කාව්‍ය සංග්‍රහයන් ඔස්සේ මෙරට කාව්‍ය ක්ෂේත්‍රය තුළ සිය අනන්‍යතාව සටහන් කළ ඇය මෙයට පෙරද රජත පුස්තක මෙන්ම ගොඩගේ සාහිත්‍ය සම්මාන අවසන් වටය සඳහා නිර්දේශ හිමිකර ගත්තාය.

Share:

0 Comments:

Post a Comment

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235

Blog Archive