පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

පුත්තා වස්තු -Puttha wasathu

 

කෘතිය- පුත්තා වස්තු

කර්තෘ - යස­ව­ර්ධන රුද්රිගු

ප්‍රකා­ශ­නය - දයා­වංශ ජය­කොඩි සහ සමා­ගම

මිල - රුපි­යල් 380 පිටු 184

විවාහ දිවියේ දරු­වෙකු පිළි­බඳ වූ බලා­පො­රො­ත්තුව කල් දැමී­මට ඔවුහු තීර­ණ­ය­ කරන්නේ වෙනත් අරමුණු වෙනුවෙනි. එහෙත් නොසිතූ ලෙස බිරි­ඳගේ කුස දරු­වකු පිළි­සිඳ ගනි. දරු කළ­ලය නැති කර ගැන්මට ප්‍රති­කර්ම කළ ද අව­සා­නයේ කිසි­වක් සාර්ථක නොවේ. ආබාධ සහි­ත දරු­වකු සමඟ ජීවිත් වන බිරි­ඳ­කගේ හා සැමි­යෙ­කුගේ ඛේද­වා­ච­කය පුත්තා වස්තු නව­ක­තා­වට පසු­බිම් වී ඇත.

Share:

වත පිරිත - Watha Piritha

 

කෘතිය- වත පිරිත

කර්තෘ - ආචාර්ය පුජ්‍ය

කඩ­ව­ත්ගම පිය­ර­තන නාමි­හිමි

ප්‍රකා­ශ­නය- කර්තෘ ප්‍රකා­ශ­න­යකි

මිල රපි­යල් 130

වත පිරිත ආචාර්ය කඩ­ව­ත්ගම පිය­ර­තන නාහි­මි­යන් විසින් සංස්ක­ර­ණය කරන ලද ග්‍රන්ථ­යකි.

බුද්ධ වන්ද­නාව පම­ණක් නොව දෛනි­කව ආග­මික වතා­වත් සිදු කිරී­මේදි භාවිතා කරන පිරිත් ද වත පිරිත පොතේ සඳ­හන් වේ. පිරි­වෙන් ශිෂ්‍ය භික්ෂූන් වහ­න්සේ­ලාට වත පිරිත වඩාත් යෝග්‍ය වේ. වඩාත් යෝග්‍යය.

Share:

මැලෝරි ටවර්ස්වල අලුත් වාර­යක් - Malory Towers

 


කෘතිය - මැලෝරි ටවර්ස්වල අලුත් වාර­යක්

පරි­ව­ර්ත­නය - චිත්‍රා අම­ර­සේන

ප්‍රකා­ශ­නය - සම­ය­ව­ර්ධන පොත්හල පෞද්ග­ලික සමා­ගම

මිල රුපි­යල් 475

පිටු - 206

1897 දී එංග­ල­න්තයේ උපන් ඉනිඩ් බ්ලයි­ටන් ලේඛි­කාව විසින් ලියන ලද කතා බොහො­ම­යක් විවිධ ලේඛක ලේඛි­කා­වන් විසින් සිංහල භාෂා­වට පරි­ව­ර්ත­නය වී ඇත. මැලෝරි ටවර්ස් ද ඈ විසින් ලියන ලද කෘතියකි. මැලෝරි ටවර්ස්වල අලුත් වාර­යක් කෘතිය චිත්‍රා අම­ර­සේන විසින් සිංහ­ලට පරි­ව­ර්ත­නය කර ඇත. සම වයස් දරු­වන් කණ්ඩා­ය­මක් මුල් කර ගනි­මින් මේ පොත ලියැවී ඇත.

Share:

ගමන -Gamana

කෘතිය - ගමන

කර්තෘ - සුනිල් ගාමිණි බණ්ඩාර

මිල - රුපි­යල් 750

පිටු - 326

ජීවි­තය ජය­ ගැ­න්මට විදෙස් ගත­වන තරු­ණ­යෙක් මුල් කර­ගෙන ‘ගමන’ නව­ක­තාව ලියැවී ඇත. ඔහු රට­කින් රට­කට යමින් ලබන අත්දැ­කීම්, ඒ පරි­ස­ර­යට මුහුණ දෙමින් බාධක අභි­යෝග ජය ගන්නා අකා­රය ගමන නව­ක­තා­වට පාදක වී ඇත. සරල බස් වහ­ර­කින් නව­ක­තාව ලියැවී ඇත. කතු­ව­රයා විසින් පාඨ­කයා ඇද­බැද තබා ගන්නා අයු­රින් කතා විකාශනය වේ.

Share:

ජීවි­තය නැව­තිලා - Jeewithaya nawathila

 ග්‍රන්ථය – ජීවි­තය නැව­තිලා 

කර්තෘ - නුව­ර­එ­ළියේ ෂෙල්ටන් හෙට්ටි ආරච්චි 

කර්තෘ ප්‍රකා­ශ­න­යකි මිල - රු. 275 


නිර්මා­ණා­ත්මක සහි­ත්‍යය යනු ජීවන අත්දැ­කීම් විසින් උප­ද­වනු ලබන සංවේ­දී­තා­වන්හි ප්‍රකා­ශ­න­යක් යැයි කීව ද වැරදි නැතැයි සිතමි. ඒ අනුව සාහි­ත්‍ය­ක­රු­වාගේ නිර්මාණ වික­සි­ත­වීම් යනු එකී ජීවන සංවේ­දී­තා­වන්ගේ ප්‍රති­නි­ර්මා­ණ­යක් යැයි නොකිව හැක්කේ ද? නුව­ර­එ­ළියේ ෂෙල්ටන් හෙට්ටි­ආ­ර­ච්චිගේ “ජීවි­ත­යය නැව­තිලා” නම් කෙටි­කතා සංග්‍ර­හය කිය­වී­මේදි අප ලද අත්දැ­කීම මෙවැ­න්නකි.

යම් මුද­ලක් තමන්ට ලැබුණු අයෙක් එය හරි­හැටි කළ­ම­නා­ක­ර­ණය කර­ගැ­නී­මට නොදත් තැන යළිත් අත මුද­ලක් නැත්තෙ­කුගේ තත්ව­යට පත් වේ. කතු­ව­රයා තමන් ලද ජීවන අත්දැ­කීම් පරි­ක­ල්ප­න­ය­කින් තොරව වැය කිරී­මට යාම නිසා සිදු කර­ගෙන ඇත්තේ ද ඊට නොවෙ­නස් දෙයක් වේ. තිල­ක­රත්න කුරු­විට බණ්ඩා­ර­යන් විසින් වඩා මැන­වින් ඒ ගැන පෙන්වා දී ඇත්තේ මෙසේ ය.

“දැඩි ප්‍රේම­ය­කින් බැඳුන විය­පත් අඹු­සැමි යුව­ළක් එකම වැඩි­හිටි නිව­සක වෙන වෙනම ජීවත් වෙති. දරු­වන් නැති­ක­මින් එකා­වන්ව සිටි බැවින් හුදෙ­ක­ලාව විසීම සංවේදි සැමි­යාට දරා­ගත නොහැක. කතා­ක­රුගේ අර­මුණ ඔහුගේ තනි­කමේ තරම කියා පෑමයි. එහෙත් එය ප්‍රබල ලෙස මතු කළ හැකි සිද්ධි දාම­යක් තෝරා ගැනී­මට කතා­කරු වෑයම් කර නැත.”

නැව­තීම ඇත්තේ කොතැන ද?

Share:

ශ්‍රීමත් අන­ගා­රික ධර්ම­පා­ල­තුමා -Srimath Anagarika darmapala thuma

ග්‍රන්ථය - ශ්‍රීමත් අන­ගා­රික ධර්ම­පා­ල­තුමා

 කර්තෘ - බන්දුල මාන­වඩු 

ඇස්. ගොඩගේ ප්‍රකා­ශ­න­යකි 

මිල - රු. 300


“දේව­ස්ථා­නය ඒ අව­ස්ථාව සඳහා විශේ­ෂ­යෙන් සරසා තිබුණි. 5.30 වීම­ටත් බොහෝ කලින් දේව­ස්ථා­නයේ සෑම ආස­න­යක්ම පිරී ගති. අන්තිමේ දී ධර්මා­ස­නයේ සිටම දොර දක්වාම ආලි­න්දය තුළ ආසන තබන ලදී. මේ කොට­සෙහි ද ජනයා එක්රොක්ව සිටි­යහ. ගරු එල් ස්ප්‍රේ තුමා විසින් ධර්ම­පාල මහතා පිර­සට හඳුන්වා දෙන ලදී. දෙසුම අව­සා­නයේ දී සභා­වෙන් අසන ලද ප්‍රශ්න කිහි­ප­ය­කට ධර්ම­පාල මහතා පිළි­තුරු දුන්නේ ය. දුන් පිළි­තුරු කෙළින්ම එල්ල කරන ලද ඒවා වූ අතර මහත් පැස­සුම් ලබා ගැනී­මට සමත් විය.” අමෙ­රි­කාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හීදී සිදු වු ධර්ම­පා­ල­තු­මන්ගේ ජීවන චරි­තය හා සම්බන්ධ මේ සිදු­වීම මීට පෙර ද බොහෝ අව­ස්ථා­වල දී ලිය­වු­ණකි. බන්දුල මාන­වඩු ද යළිත් එම සිදු­වීම් උපුටා දක්ව­මින් “ශ්‍රීමත් අන­ගා­රික ධර්ම­පා­ල­තුමා”යන හිසින් පොතක් ලියා තිබේ. පහත දැක්වෙන්නේ ඒ ආකා­ර­යට ඔහු විසින් උපු­ටා­ගත් තවත් එවැ­න්න­නකි. ඊට පසු­බිම් වන්නේ ධර්ම­පා­ල­තු­මන් ද සහ­භාගි වූ ජගත් ආග­මික සමු­ළු­වයි.

“ක්‍රිස්ති­යානි මිෂ­නා­රීන්ගේ ක්‍රම දියුණු කළ හැක්කේ කෙසේද? යන තේමාව යටතේ එතුමා පළ කළ අද­හස් බොහෝ දෙනාගේ සැල­කි­ල්ලට භාජ­නය වී තිබේ.”

එකල මහත් ව්‍යාප්ති­යක්ව පැවති මිෂ­නාරි ධර්ම­දූත ව්‍යාපා­රය ගැන එතු­මන් මෙසේ පවසා ඇත්තාහ. “ඔබ යැවිය යුත්තේ ප්‍රයෝ­ජ­න­වත් බවින් සම්පූර්ණ වූ මිනි­සුන් ය. ඔවුන් යා යුත්තේ අද දවසේ මිෂ­නා­රීන් යන ආකා­ර­යට නොවේ. ඔවුන් තුළ ආත්ම පරි­ත්‍යා­ගය, කරුණා ගුණය ඉව­සීම සේම යේසුස් ක්‍රිස­තුස් කෙරෙහි ශුද්ධ­ත්වය හා නිහ­ත­මා­නී­ත්වය ද තිබිය යුතු ය. චිකාගෝ නග­ර­යෙහි ඇති සුවි­ශාල ඝාත­නා­ගාර ශිෂ්ටා­චාර ලැජ්ජා­වට මෙන්ම ශාප­යක් වෙයි. එවැනි දේට ප්‍රති­ෂ්ඨාව සප­යන ක්‍රිස්ති­යානි ධර්ම­යක් ලංකා­වෙහි හෝ බුරු­ම­යෙහි, ජපා­න­යෙහි,චීන­යෙහි සිටින අපට වුව­මනා නැත. අපට අවශ්‍ය වන්නේ නිහ­ත­මානි වූත්, බැගෑ­පත් වුත් යේසු සමි­ඳුන්ගේ ඉගැ­න්වීම් ය. එසේ කියන්නේ දැනට අපේ ආගම තුළ ඒවා නැති බැවින් නොව ඒවා අපට වඩාත් අවශ්‍ය වන බැවිනි.”

අන­ගා­රික ධර්ම­පා­ල­තු­මන්ගේ චරි­තා­ප­ද­නය හුදු සුපේ­ශල, අභි­ව­න්ද­නීය ප්‍රති­රූ­ප­යක් එසේ නැත්නම් පිළි­ම­ය­කට සීමා කිරීම වර්ත­මා­න­යට අදා­ළව කොහෙත්ම ප්‍රති­ඵ­ල­දායි කට­යු­ත්තක් නොවේ. මක්නි­සාද යත් එතු­මාගේ චරි­තය විසින් අපට ඉගැන්වූ සමාජ දේශ­පා­ලන කිය­වීම, නව නිද­හ­ස්වාදී දේශ­ය­කට අවශ්‍ය ආර්ථික දර්ශ­නය මෙන්ම පුද්ගල චර්යාව සතු සැබෑ නිද­හස හුදු අභි­ව­න්ද­න­යක දී ප්‍රකා­ශ­යට පත් නොවන බැවිනි. අපේ බෞද්ධ­කම පවා අද ඇත්තේ එවැනි ඉර­ණ­ම­කට යටත්ව ය. ජාති­යක් වශ­යෙන් අප ආර්ථික වශ­යෙන් පම­ණක් නොව දාර්ශ­නික වශ­යෙන් ද අන්ත දුගී භාව­යක් තුළ ගිලී ගොස් සිටින්නේ කාල­යක සිට ය.

එසේ හෙයින් මෙවැනි කෘති­යක් හමු වූ තැන දී හුදු සාද­කා­ර­යක් වැනි කරුණු දැක්වී­ම­කට යන­වාට වඩා අපේ අද­හස් ප්‍රකාශ කිරීම් පුළුල් විම­ර්ශ­න­ය­කට යෑම අවශ්‍ය වේ. හුදෙක් කෘති­යට පම­ණක් සීමා නොකොට පළල් සමාජ සංවා­ද­යක් කරා යන ගම­න­කට එය අව­ස්ථා­වක් කර­ගත යුතු ය.

ධර්ම­පා­ල­තු­මන්ගේ චරි­තය හුදු අභි­වා­ද­න­යක් නොවිය යුතුය.

Share:

විනි­වි­දිමි තල් වැට- Viniwidimi Thalweta

 ග්‍රන්ථය - විනි­වි­දිමි තල් වැට 

කර්තෘ - එස්. කේ. ඒ. එස්. සේනා­නා­යක 

මිල - රු. 400


වෘත්ති­යෙන් රේගු නිල­ධා­රි­යෙකු වන එස්. කේ. ඒ. එස්. සේනා­නා­යක විසින් උතුරු දේශයේ සේව­යට යොමු වූ සිය වෘත්තීය ජීවි­තය තුළ දී කළ කලා­පීය නිරී­ක්ෂ­ණයේ ප්‍රති­ඵ­ල­යක් හැටි­යට ලිය­න්නට යෙදු­ණකි “විනි­වි­දිමි තල් වැට” කෘතිය. උතුරු පළාත පුරාම මෙරට ජාතික උරු­ම­යට අදාළ පුරා විද්‍යා සිහි­ව­ටන බොහො­ම­යක් අද පව­තින්නේ අනා­ර­ක්ෂිත අව­දා­න­මක ය. මූල­ධ­ර්ම­වාදී ජාති­වා­ද­යත්, ප්‍රාදේ­ශී­ය­වාදී දේශ­පා­ල­න­යත් නිසා එය අද­ටත් නොනැ­වතී සිදු­වන සිද්ධීන් සමඟ බැඳි පවතී යැයි කීමෙන් කිසිදු වර­දක් සිදු නොවේ.

“යුද්ධ­යට පෙර උතුරු ධීවර කට­යුතු සහ රේගු සමුද්‍ර කට­යුතු සම්බ­න්ධී­ක­ර­ණය කර තිබු සන්නි­වේ­දන පද්ධ­තිය සඳහා අවශ්‍ය ගෑස් ලාම්පු හැම­න්හිල් දුපතේ සවි­කර තිබී ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා වරාය අධි­කා­රිය මගින් මෙම ලාම්පු සඳහා ගෑස් ලබා දීම ශ්‍රී ලංකා රේගුව වෙත පවරා දී තිබූ බව වාර්තා වේ. ඒ වෙනු­වෙන් මස­කට රු. 5 ක මුද­ලක් රේගුව වෙත ගෙවී­මට වරාය අධි­කා­රිය කට­යුතු කොට ඇති බවත් විශ්‍රා­මික රේගු අධ්‍යක්ෂ පී. එච්. ලිය­නගේ මහතා පව­සයි.”

“සිය­ව­ස­කට පමණ පෙර මෙය ලාදුරු රෝගීන් නවතා තැබීම සඳහා වෙන්කර තිබූ බව ජන­ප්‍ර­වා­දයේ සඳ­හන්ව ඇත. එසේම 1970 වර්ෂයේ බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව වෙත තාව­කා­ලි­කව පවරා ඇති හැම­න්හිල් ෆෝර්ට් බළ­කො­ටුව ජනතා විමුක්ති පෙර­මුණේ නාය­ක­යාව සිටි රෝහණ විජේ­වීර මහ­තාව සිර­කර තැබී­මට ද යොදා­ගෙන තිබේ. මෙම අලං­කාර බළ­කො­ටුව පෞද්ග­ලික අංශ­යට බාර නොදී රජය විසින් පව­ත්වා­ගෙන යා යුතු බවට රෝහණ විජේ­වීර මහතා

විසින්, සිර­කර තැබූ සිර මැදි­රියේ අංක 3 හී බිත්ති­වල ලියා තැබූ ආකා­රය අද ද දක්නට ලැබේ.”

“මෙම සිර මැදිරි සංචා­ර­ක­යන්ගේ නවා­තැන් සඳහා වෙන්කර දීමට නාවික හමු­දාව කට­යුතු කර ඇත. තවද ඔවුන්ට අවශ්‍ය නම් සිර­ක­රු­වන් ලෙස සිටීමේ පහ­සු­කම් ද (මෙහි උත්ප්‍රා­සය වන්නේ “සිර­ක­රු­වන් ලෙස සිටීමේ පහ­සු­කම්” යන්න ය.) ලබා දේ. සිර­ක­රු­වෙ­කුගේ ඇඳුම්, පිගාන හා කෝප්පය වෙනු­වෙන් දින­කට රු. දහ­සක් අය කරනු ලබන අතර නව යොවුන් වියේ පසු­ව­න්නන් මෙහි නේවා­සි­ක­යෙකු වීමට කැමැ­ත්තක් දක්වන බව පෙනේ.”

සිය වෘත්තීය ජීවි­තය ප්‍රයෝ­ජ­න­යට ගනි­මින් මෙවැනි තොර­තුරු රැස් කිරීම් බ්‍රිතාන්‍ය සිවිල් නිල­ධා­රීන් සිදු කොට ඇති බවත් ඒවා ගත යුත්තේ තොර­තුරු රැස් කිරීම් වලින් ද එහාට ගිය

හැදෑ­රීම් වශ­යෙනි. එවැනි පසු­බි­මක මෙවැනි කෘති වඩාත් ප්‍රති­ඵ­ල­දායි ගැඹු­ර­කින් ඉදි­රි­පත් වීම අව­ශ්‍ය­යෙන්ම විය යුත්තක් වේ. මක් නිසාද යත් හුදු තොර­තුරු වලින් එහාට ගිය පුළුල් කිය­වී­මක් වර්ත­මාන පාඨ­කයා තමන් මිල දී ගන්නා කෘති­ය­කින් බලා­පො­රොත්තු වන බැවිනි.

මේ තල් වැටය.

එය ද අපේ වංශ කතා­ව­ ම ය.

Share:

සරණ සොය­මින - Sarana Soyamina

ග්‍රන්ථය - සරණ සොය­මින 

කර්තෘ - රන්ජිත් ධර්ම­කීර්ති

 සඛිල ප්‍රකා­ශ­න­යකි 

මිල - රු. 480


ජෝන් ග්‍රේ විසින් ලියන ලද “වුමන් ආ ෆ්‍රොම් වීනස් මෙන් ආ ෆ්‍රොම් මාස්” (කාන්තාවෝ සිකු ග්‍රහ­යා­ගෙනි පුරු­ෂයෝ අඟ­හ­රු­ගෙනි.) ග්‍රන්ථයේ පැව­සෙන අන්ද­මට කාන්තාවෝ සහ­ජ­යෙන්ම සුල­ලිත ය. මුදු මොළොක් ය. පුරු­ෂ­යන් හැඩි දැඩි ය. එඩි­තර ය. එසේ හෙයින් මේ දෙපා­ර්ශ්වය සම්බන්ධ විය යුත්තේ සියුම් වැට­හී­ම­කිනි. අව­බෝ­ධ­ය­කිනි. තොල්ස්තෝ­යිගේ ඇනා කැර­නිනා එක් අව­ස්ථා­වක දී තමන්ට ද නොවැ­ට­හෙන ආකා­ර­යට ඇති කර­ගන්නා හැගී­ම්බර සම්බ­න්ධ­තා­වක් අව­සා­නයේ දී සිය ගේහ­සිත පැවැත්ම සමඟ ගැටු­මක් බවට දුර දිග යෑම හේතු කොට­ගෙන දුම්රි­ය­කට පැන සිය දිවි නසා ගත්තා ය. ඒ විෂම මාන­සි­ක­ත්වය කුමක් ද?

රන්ජිත් ධර්ම­කී­ර්තිගේ “සරණ සොය­මින” නව­ක­තාව ගැහැ­නි­යගේ විශේ­ෂ­තාව හා විෂ­මතා වෙනු­වෙන් ඇති කර­ගත් පරි­ක­ල්ප­නා­ත්මක තත්ව­යක් මත පිහි­ට­මින් ලියු­වක් බව ඔහු­ගේම අද­හස් අනුව පෙනී යයි. ඇනා කැර­නිනා ව ඔහු ඊට උදා­හ­ර­ණ­යක් හැටි­යට ගනියි. නව­ක­තාවේ එන සඳ­ලතා බොහෝ ආර්ථික ගැහැට මැද රබර් කිරි කපා ජීව­ත්ව­න්නි­යකි. එහි ම අනිත් ගැහැනු චරි­තය වන අපර්ණා මැණිකේ ප්‍රභූ පවු­ලක ඉපිද ගායන ශිල්පය ප්‍රගුණ කොට නිරූ­පණ ශිල්පි­නි­යක හැටි­යට බොහෝ ආදා­යම් ඇතිව එහෙත් අස­හ­න­කාරී ලෙසින් ජීව­ත්ව­න්නි­යකි. මේ වනාහි සර­ණක් නැති­ය­වුන් සර­ණක් සොය­මින් යන ගම­නක් ලෙසින් කතු­ව­රයා දකියි. ඔහු­ගේම වචන වලට අනුව “මෙම නව­ක­තාව ගොඩ නැගී­මේදි ඉහත ඇනා කැර­නිනා වැනි කාන්තා චරි­ත­වල විශේ­ෂතා ජෝන් ග්‍රේ පව­සන විෂ­මතා මසි­තට බල පෑ බව කිව යුතු ය.”

කාන්තා චරි­ත­වල පවත්නා විශේ­ෂතා මෙන්ම විෂ­මතා ඒ කෙසේද යත්, “ලොව ඈත ඉති­හා­සයේ ද, කාන්තා­වන් මුල් වූ මෙවැනි ඛේද­වා­චක වාර්තා වී ඇත. හෝමර්ගේ ඉලි­යඞ් කාව්‍යයේ එන ට්‍රෝයි පුරයේ හෙලන් නිසා දස අවු­රුදු යුද්ධ­යක් ඇවිළේ.” ඒ අනුව යමින් ඔහු සට­හන් කරන්නේ පුරා­තන ග්‍රීසියේ ඇන්ටි­ගනී, ඊජි­ප්තුවේ ක්ලියෝ පැට්රා, ශේක්ස්පි­යර්ගේ කාන්තා චරිත මෙන්ම ලංකා පුරා­වෘ­ත්තයේ එන කුවේ­ණිය වුව අර කිය­න්නට යෙදුන විශේ­ෂතා මෙන්ම විෂ­මතා පෙන්වා දෙති. ඊට අදා­ළව තමන් අතින් නිර්මිත කාන්තා චරිත සම්බ­න්ධ­යෙන් ධර්ම­කී­ර්තිගේ හඳු­නා­ගැ­නීම මෙසේ ය.

“ඔව්හු මුළු මහත් කාන්තා සංහ­තිය මුහු­ණ­පාන ආර්ථික සංස්කෘ­තික හා අධ්‍යා­ත්මික සුළි සුළ­ඟ­කට අසු වුවෝ නොවෙත් ද?”

ඒ අනුව තමන්ගේ උත්සා­හය වූයේ එකී ජීවන අර­ග­ල­යට මුහුණ දෙමින් සිටිය දී ඔවුන්ගේ චින්ත­නය වේෂ්ටා­වන් හා මනෝ­භා­ව­යන් සැක­සෙන ආකා­ර­යට මෙම චරිත විකා­ශ­නය කිරීම යැයි ඔහු පව­සයි. එසේ නිර්මිත චරිත විසින් කියන්නා වූ ඒ කතාව කියවා පාඨ­කයා කම්ප­න­යට පත්ව නම් එය එහි සාර්ථ­ක­ත්ව­යට හේතු­වක් ලෙසින් ඔහු දකී.

නව­ක­තා­ක­රුවා සහ ඔහුගේ නව­ක­තාව විසං­වා­ද­ය­කට පත් වන්නේ මෙතැ­න­දීය. නව­ක­තා­වක අව­සාන නිෂ්ප­ත්තිය වන්නේ හුදෙක් කම්ප­න­යට පත් වු පාඨ­ක­යෙක් ද?

නව­ක­තා­වක් යනු හුදු

කම්ප­න­යක් දැන­වී­මක් ම ද?

Share:

රස පොළොව- Rasa Polawa

 ග්‍රන්ථය - රස පොළොව

 කර්තෘ - ලීලා­නන්ද වික්‍ර­ම­සිංහ

 ඇස් ගොඩගේ සහෝ­ද­රයෝ ප්‍රකා­ශ­න­යකි 

මිල - රු. 800 


“අරු­න්දතී ලොකු අම්මා ගැන විනි­ශ්චය කිරී­මේදි ඔබ ඉක්මන් නොවනු ඇතැයි මම සිතමි. මා සිතන විදි­හට ජීවි­තය මිනිසා විසින් පන­වන ලද කුල සිරිත් වැනි තහංචි මැද මැනිය නොහැකි දෙයක් බව ය. එය දේශය අව­ස්ථා­වට ගැළ­පෙන පරිදි කාලය විසින් වෙනස් කරනු ලබන බැවින්ය යනු මගේ විශ්වා­ස­යයි.”ලීලා­නන්ද වික්‍ර­ම­සිංහ සිය “රස පොළොව” නව­ක­තාව සම්බ­න්ධ­යෙන් මතු කරන උක්ත අද­හස කෘතියේ පෙළ­ගැස්ම සම්බ­න්ධ­යෙන් කිසි­යම් වු මඟ පෙන්වී­මක් සිදු කරයි. මිනි­සාගේ ජීවන පැවැත්ම අර­භයා මිනිසා තුළම පවත්නා මාන­සික විතැ­න්වීම මුහු­කුරා ගිය දැනු­ම­කින් විම­සීමේ වුව­ම­නාව පෙන්වා දීම­ටදෝ ඔහු අග්ගඤ්ඤ සුත්‍ර දේශ­නා­වෙන් ද සුදුසු ලෙසින් උද්ධෘ­ත­යක් තෝරා­ගෙන තිබේ. එයම ඔහුගේ නව­ක­තා­වට විදග්ධ ප්‍රවේ­ශ­යක් බවට පත් කොට තිබේ.

ඒ අනුව ජුලි­යස් රාජ­සිංහ වතු යායේ ඉහළ කොටසේ සිටි­මින් අවට බල­මින් උන් තැනම දණ ගසා­ගෙන, මුහුණ දෑතෙහි සඟ­වා­ගෙන තමා තුළ නැඟ එන ආවේ­ග­යන් මැඬ ගැනී­මට තැත් කර­මින් එක්ව­නම ආ අද­හ­ස­කින් පිබි­දෙන්නේ ගුරු­පාට රන්වන් රස පොළොව සිප එහි රසය දිව ගා බලයි. එය සිදු වන්නේ ද අර කීව විදග්ධ ප්‍රවේ­ශය තුළම ය. නමුත් ඒ පසු­බිමේ ම අරු­න්දතී ලොකු අම්මා සිය මුහු­කුරා ගිය ජීවන සංවේ­දි­තාව ප්‍රකා­ශ­යට පත් කරන්නේ මේ අයු­රිනි.

“මම ජීවි­ත­යෙන් බාග­යක් ගිහිල්ලා කඩා වැටිච්ච ගැහැ­නි­යක් රංග. බර­ප­තළ අස­නී­ප­ය­කින් පෙළෙන කෙනෙක්.....රංග මිනි­හෙක් ගෑනි­යෙක් අතර ආදර සම්බ­න්ධ­යක් නොවන සෙනෙ­හ­සක් වෙනත් ආකා­ර­යක සම්බ­න්ධ­යක් තියෙන්න බැරි ද?” ඇගේ ඒ විම­සීම තුළ ඇත්තේ ද අර කීව විදග්ධ විම­සී­මම නොවේ­දැයි සිතා බැලීම වටී. කෙසේ වුව අරු­න්දතී ලොකු අම්මාගේ ඇතු­ළා­න්තය ප්‍රකාශ වන්නේ අප්ස­රා­ගෙන් ද?

“අරු­න්ද­තීගේ චරි­තයේ අව­ශේෂ ලක්ෂණ සමඟ සම­පාත කර බලන විට ඇය කාම ලෝක­යක අත­රමං වූ සරාගි ගැහැ­නි­යක ලෙස හැඳි­න්වීම අසා­ධා­රණ යැයි මට සිතේ. ඇගේ ස්ත්‍රීත්වය භාවිතා කොට ඇත්තේ ලොව තුළ අව­පා­ත­යට ඇදී ගොස් වස­ඟ­යට පත් වන මනු­ෂ්‍ය­ත්වය පිළි­බිඹු කරන

සංකේ­තා­ත්මක මොඩ­ල­යක් ලෙසින් ද?”

තමන් වෙනු­වෙන් අරු­න්දතී මතු කරන ප්‍රශ්නය හා සමා­න­වම අරු­න්දතී වෙනු­වෙන් අප්සරා මතු කරන ප්‍රශ්නා­ර්ථය ද අව­සා­නයේ දී ස්ථාන­ගත වන්නේ රස පොළොව රස විනි­ශ්චය සමඟ බව පැහැ­දිලි ය. ලීලා­නන්ද වික්‍ර­ම­සිං­හගේ ආඛ්‍යා­නය පුරාම බල­ප­ව­ත්වන්නා වූ ඔහුගේ නිර්මා­ණා­ත්මක භාෂා

ශෛලිය ගැන ද අද­හ­සක් පැව­සීම අව­ශ්‍යම තත්ව­යක් වේ. පහත එන උද්ධෘ­තය ඒ බව ඔහුට මොන­වට පෙන්වා දෙනු ඇත.

“පෑළ දිග අහස දෙස බැලූ මට පෙනුනේ සඳ පළු­වට මඳක් ඈතින් තනි­ත­රු­වක් දිලෙ­මින් තිබෙන බව ය.....ඒ අරු­න්දතී තාර­කාව ය. මෙසේ ඉර­බටු තරු­වක් වී බැස ගියත් එය හෙට උදෑ­සන පහන් තරු­වක් වී පෙර­දිග අහසේ පායනු ඇත. එහෙත් අරු­න්දතී ලොකු අම්මා නැවත එන්නේ නැත.”

“රස පොළොව” නව­ක­තා­වක් හැටි­යට මෙසේ යැයි විවිධ ආකා­රයේ සාහි­ත්‍ය­යික කිය­වීම් හෝ උද්ධෘත මගින් ආටෝප සාටෝප කොට පෙන්වා දිය යුත්තක් නොවේ. එය වනාහි නිස­ඟ­යෙන් අපට දැනෙන අපේ ජීවි­තත් සමඟ හුස්ම ගන්නා කතා­වකි.

රස පොළො­වක රසය,

එය පම­ණක් ම ද ජීවි­තය..?

Share:

ලංකාවෙ පරණම මහජන පුස්තකාලෙ

 



ලංකාවෙ පරණමමහජන පුස්තකාලෙ2020/09/18 වන දින අරුණ පුවත්පතෙහි වරුණ  අතිරේකයෙන් උපුටා ගන්නා ලදියි සඳරැසී සුදුසිංහ

ජීවිතයේ කුමන මොහොතකදී, කවරෙකු විසින් හෝ මේ පැනය ඔබෙන් අසන්නට ඉඩක් ඇත. ඊට ඔබ සතුව නිවැරදි පිළිතුරක් වේ නම් ඔබගේ දැනුම් අගයට තවත් ලකුණක් එකතු වනු නොඅනුමානය. ‘‘ලංකාවේ ප්‍රථම මහජන පුස්තකාලය කුමක්ද?’’ යන්න ඒ පැනයයි. ඊට පිළිතුර සොයා අපි කන්ද උඩරටට ගමන් ඇරඹීමු.

වස්සානය සෙංකඩගල අහසට අයිතිය ලියාගත් දින අතරතුර වැහි වලාවන් ගිමන් හරිනා පැහැබර දවසක දළදා මාලිගාවට ඉහළ උඩවත්ත කැලය දෙස සිට ඉරු රැස නුවර නගරය මධ්‍යයට බැස ඇවිදිමින් හිඳී. ඓතිහාසික සෙංකඩගල පුරයට තරු ලකුණක්වන් ලංකාවේ ප්‍රථම පුස්තකාලය දළදා සෙවණේ වැජඹෙන්නේ තම දිවියේ සුවිශේෂී ක​ඩඉමක් පසු කිරීමේ මංගල්‍යයද අත්විඳිමිනි. පොත් ගුලක දිගු ආයුෂ මානව සංහතියේ ජීව ගුණය විදහාපාන කැඩපතක් බවට අවිවාදිතය. ඊට අභිමානවත් සජීවී උදාහරණයක් බවට මහනුවර ඩී.එස්. සේනානායක මහජන පුස්තකාලය පත්වී සියවසකුත් පසුකොට ඇත.

බෝගම්බර බන්ධනාගාරයට මුහුණලා පිහිටි මහරු පොත්ගුල ලෝකයේ හොඳ නරක යන බෙදීම පැහැදිලි කිරීමට එකම බිමක තැනූ ආදර්ශයක් බඳුය. දැන් මා හිඳින්නේ මහනුවර ඩී.එස්. සේනානායක මහජන පුස්තකාලය ඉදිරිපිටය. උස කුලුනු සහිත පුස්තකාල ගොඩනැගිල්ල වාස්තු විද්‍යාත්මක අතින්ද තම පුස්තකාල පෞරුෂයට අගයක් එක්කොට ඇත.

‘‘පුතා උණ බලාගෙන යන්න. අතන ටැප් එකෙන් අත් සෝදා ගන්න. මේ පොතේ විස්තර ලියන්න.’’

හිතට නැගුණු ක්ලපනාවන් සැණෙකින් අමතක කරමින් ඇසුණු කටහඬට හිස ඔසවා බැලීමි.

උස, මහත ශරීරයෙන් යුත්, එසේම මානව දයාවෙන්ද උස් මහත් වූ ආරක්ෂක කුටිය අසල වූ කාලවර්ණ වූ මිනිසා පුස්තකාලයට සුදුසුම ප්‍රියමනාප පිළිගැනීමක් කරමින් සිටියේය.

‘‘පුතාල පොත් ගන්නද?’’

කලෙක සිට දන්නා හඳුනන අයකු ලෙස ඇසුවේය.

‘‘මට පුස්තකාලයාධිපතිනිය මුණ ගැහෙන්න ඕනේ.’’

මුවින් වචන පිටවුණි.

‘‘අර දකුණු පැත්තේ තියෙන දොරෙන් ඇතුළට යන්න’’ ඔහු අත දිගුකොට පෙන්වූවේය.

අලංකාර පුස්තකාල උද්‍යානයේ සිරි නරඹමින් අපි පුස්තකාලයාධිපති කාර්යාලයට පිවිසුණෙමු. පළවෙනි ශ්‍රේණියේ පුස්තකාලයාධිපතිනියක් වූ එච්.එම්.පී. හේරත් මහත්මිය ළෙන්ගතු සිනාවකින් පිළිගත්තාය. පැමිණි කාරණය දැන ගැනීමත් සමගම ඇය පුස්තකාල චාරිකාව අරඹන්නට විය.

‘‘ඩී.එස්. සේනානායක පුස්තකාලය කියන්නේ මහනුවර මහජන පුස්තකාලය. මේ පුස්තකාලය මේ රටටම ඓතිහාසික වශයෙනුත් වැදගත් වෙනවා.’’

බොහොම නැවතිල්ලේ පුස්තකාලයාධිපතිනිය පුස්තකාලයේ ආගිය කතාව අප හමුවේ තබන්නීය.

‘‘මේ පුස්තකාලේ පටන් අරගෙන තියෙන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිත කාලයේදී. 1841 අවුරුද්දේදි පටන් ගත්තු මේ පුස්තකාලේ තමයි ලංකාවේ මුල්ම මහජන පුස්තකාලේ විදිහට වාර්තා වෙන්නේ. මේක පටන් අරන් තියෙන්නේ ප්‍රධාන නාගරික පුස්තකාලය කියන තේරුමෙන්. ‘CENTRAL TOWN LIBRARY’ කියන නමෙන්. ඒ කාලෙදි පුස්තකාලය ඇති කරලා තියෙන්නේ උඩරට පළාතේ සේවයට ආපු බ්‍රිතාන්‍ය නිලධාරීන්ටයි, සොල්දාදුවන්ටයි SUBSCRIPTION LIBRARY ඒ කියන්නේ ග්‍රාහක පුස්තකාලයක් විදිහට. මුලින්ම මේ පුස්තකාලේ පිහිටුවලා තියෙන්නේ ත්‍රිකුණාමල වීදියේ. ඒ කියන්නේ දැන් ඩී.එස්. සේනානායක වීදිය විදිහට හඳුන්වන්නේ ඒ වීදියම තමයි. බ්‍රිතාන්‍ය පාලනය අඩපණ වෙන්න පටන් ගැනීමත් එක්ක මේ පුස්තකාලය නඩත්තු කරන එක, පවත්වාගෙන යන එක අමාරු වෙනවා. එතැනදී එයාලා තීරණය කරලා තියෙනවා මේ පුස්තකා​ලේ මහනුවර නගර සභාවට පවරන්න. ඒ තීරණයෙන් පස්සේ 1920 අවුරුද්දේ ඔක්තෝබර් පළමුවෙනිදා නිල වශයෙන් මහනුවර නගර සභාවට පවරා දීලා තියෙනවා. ඒ කියන්නේ දැන් තියෙන නගර සභාව නෙවේ, 1866 යටත්විජිත කාලයේ පිහිටු වූ නගර සභාවට. ලංකා සැසි වාර්තාවල සඳහන් වෙලා තියෙන හැටියට, ඒ කියන්නේ CEYLON SESSION AL PAPERS අංක XX {1921} දරන වාර්තාව යටතේ මේ සිදුවීම වාර්තා කරලා තියෙනවා.’’

හේරත් මහත්මිය පුස්තකාල අතීත කතාවස්තුව පැහැදිලිව කියා දෙන්නීය. ඕනෑම අඳුර වලාවක සැඟවුණු රිදී රේඛාවන් ඇත්තේය, යන කියමන සනාථ කරමින් බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයෙන් ලැබුණු යහපත්, අයහපත් උරුමයන් අතරට යහපත් යන වර්ණයෙන් යුත් මහජන පුස්තකාලය උරුම වීමේ කතාව අවසාන වුවද එහි මල්වරය සම්බන්ධ කතාවස්තුව තවමත් හේරත් මහත්මියගෙන් පිටවූවේ නැත. යෝධ කියවීම් ශාලාව පසු කරමින් ඇය නැවත අතීතයට ඇවිද යන්නට විය. ඒ අතරේ මහනුවර නගර සභාවට පවරන ලද පුස්තකාලය තම ඡන්ම භූමිය අතහැර වර්තමාන භූමියට පිවිසිය අයුරුද එහි විය.

‘‘මේ පුස්තකාලය නගර සභාවට පවරලා අවුරුදු විසි නවයක් වෙද්දි මේ පුස්තකාලය පිහිටලා තිබුණු ත්‍රිකුණාමල වීදියෙ භූමියෙන් පුස්තකාලේ අද වෙනකොට පුස්තකාලේ තියන තැනට ගේන්න කටයුතු කරලා තියෙනවා. ඒකේ මුල්ම පියවර විදියට 1950 අවුරුද්දේ මේ වර්තමාන ගොඩනැගිල්ලට මුල්ගල තියනවා. ඒ ලංකාවේ මුල්ම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා අතින්. ඊට අවුරුදු දොළහකට පස්සේ 1962 ඔක්තෝබර් 20 ලංකාවේ මුල්ම ආණ්ඩුකාරතුමා වෙච්ච විලියම් ගොපල්ලව මහත්තය අතින් විවෘත කරලා තියෙනවා. ඩී.එස්. සේනානායක මහජන පුස්තකාලය කියල නම් කරලා තියෙන්නේ ​මේ ගොඩනැගිල්ලට මුල්ගල තිව්වේ එතුමා නිසා, එතුමාව සිහිවෙන්න. මේ පුස්තකාලේ මුල්ම පුස්තකාලයාධිපති වෙලා ඉඳල තියෙන්නේ එම්. මුදන්නායක. දෙවනුව ඊශාදින් භායි කියන පුස්තකාලයාධිපති. මේ වෙනකොට පුස්තකාලය පාලනය වීම සිද්ධ වෙන්නේ නගරාධිපතිවරයා හා නාගරික කොමසාරිස්ගේ නියෝගයන්ට යටත්ව හා පුස්තකාල උපදේශක මණ්ඩලයක් මූලික වෙලා.’’

පුස්තකාල ගොඩනැගිල්ලට මුල්ගල් තැබූ පුද්ගලයා සිහි කිරීම එතුමාගේ නම යෙදීමට තරම් එවකට පුස්තකාල පරිපාලනය කෘතවේදී වී ඇත. මුල අමතක නොවීමේ ගුණයම මානව සංහතියේ කෙතරම් උදාර වූ ගුණයක්ද?

සැබෑ ලෙසටම මෙම පුස්තකාලය ආරම්භ කොට අවුරුදු 179ක් ගෙවී ඇත. එහෙත් බ්‍රිතාන්‍යයන් විසින් නිල වශයෙන් මහනුවර නගර සභාවට පුස්තකාලය පවරා දුන් දිනය විමසූ විට එදින සිට 2020 ඔක්තෝබර් පළමු වැනිදාට අවුරුදු සියයක් සපිරේ. පළමු උපත මෙන්ම දෙවැනි උපතද අභිමානයෙන් සමරන්නට ලංකාවේ ප්‍රථම මහජන පුස්තකාලය යන කිරුළ දරනා ඩී.එස්. සේනානායක පුස්තකාලය වාසනාවන්ත වී ඇත. උඩරට කිරුළක් වූ පුස්තකාලය සතු වත්කම, පහසුකම්ද එසේම අපමණය.

‘‘අපේ පුස්තකාලය සතුව ශාඛා පුස්තකාල වගේම කියවීම් ශාලා ගණනාවක් තියෙනවා. මාවිල්මඩ, අරුප්පල, මහාවැලි උයන, නවයාල තැන්න, වට්ටාරන්තැන්න, අස්ගිරිය, මහයියාව, නෙළුම් පොකුණ ආදී තැන්වල මේ ශාඛා පුස්තකාල පිහිටලා තියෙනවා. ඒ වගේමයි අපිට හුඟක් ආඩම්බරෙන් කියන්න පුළුවන් දෙයක් තියෙනවා තව. ලංකාවේ මුල්ම ළමා පුස්තකාලයත් ආරම්භ කරලා තියෙන්නේ මේ පුස්තකාලෙන්ම තමයි. 1983 අවුරුද්දේ ජුනි මාසේ 13 වැනිදාවක මේ ළමා පුස්තකාලේ පටන් ගත්තේ ඊ.ඇල්. සේනානායක ළමා පුස්තකාලය යන නමින්. මේ ළමා පුස්තකාලය සතුවත් ශ්‍රවණාගාරයක් තියනවා. ඒ වගේම කුඩා දරුවන්ගේ අධ්‍යාපනය, විනෝදාශ්වාද වැඩසටහන් නිරන්තරයෙන්ම අපි ක්‍රියාත්මක කරනවා. මේ ප්‍රදේශයේ ජීවත් වෙන වගේම මහනුවර නගර සභා සීමාව තුළ අධ්‍යාපනය ලබන දූ දරුවන්ට මේ ළමා පුස්තකාලය භාවිත කරන්න පුළුවන්. අපි ළමා පුස්තකාලෙටත් වැඩි අවධානයක් යොමු කරනවා. පුංචි දරුවන්ගේ ආකල්ප යහපත් වෙන තරමට මේ සමාජය ලෝකය යහපත් කරන්න පුළුවන්. අපේ මහජන පුස්තකාලය සතු පහසුකම් අතර ආසන පන්සියයක් තියෙන වායුසමීකරණය කරලා තියන ශ්‍රවණාගාරයක් තියනවා. 1989 අවුරුද්දේ තමයි මේ ශ්‍රවණාගාරය ඉදිකරලා තියෙන්නේ. ඒත් එක අවාසනාවන්ත සිද්ධියකටත් මේ පුස්තකාලය මුහුණ දුන්න. ඒ 2007 අවුරුද්දේදි මේ ශ්‍රවණාගාරය ගිනිගත්ත. ලංකාවේ විතරක් නෙවේ ලෝකේ විවිධ රටවල ජනමාධ්‍ය මේ සිද්ධිය වාර්තා කරලා තිබුණ. 1995 අවුරුද්දේදී ජපන් රජයෙන් දෙමහල් පුස්තකාල ගොඩනැගිල්ලක් ලබාදීල තියනවා.’’

විශාල පොත් රාක්ක අතරින් ඇවිද යන වත්මන් පුස්තකාලයාධිපතිනිය අපට එහි විවිධ වූ පුස්තකාල විද්‍යාවට ආවේණික ලක්ෂණද මතක් කර දෙයි. පුස්තකාලයේ සේවය කරනා නිලධාරීන් ඇතුළු සියලුම සේවකයන් තම තමන්ගේ රාජකාරියේ නියැළෙමින් සිටිති.

‘‘අපේ පුස්තකාලය ඇතුළේ ප්‍රධාන අංශ ගණනාවක් තියෙනවා. ප්‍රධාන කියවීම් ශාලාව, පොත් බැහැර දීමේ අංශය, විමර්ශන අංශය, පුවත්පත් කියවීම අංශය, වාර සඟරා අංශය වගේම ශ්‍රවණ හා කථන ආබාධිත පුද්ගලයන් සඳහා වන බ්‍රේල් අංශයකුත් තියනවා. 2010 අවුරුද්දේදි මේ බ්‍රේල් අංශය ආරම්භ වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා අන්ධ බල මණ්ඩලයේ සයිට් සේවක කාන්තා සංවර්ධන මණ්ඩලයෙන් ලැබුණු බ්‍රේල් පොත් එකතුව ඒ සඳහා විශාල සවියක් වෙලා තියෙනවා. ඒ වගේම 1998 අවුරුද්දෙදී ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයත්, මහනුවර නගර සභාවත් අතර සහයෝගිතා වැඩසටහනක ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දියානු පොත්පත් හා තොරතුරු ඇතුළත් ඉන්දියන් කොර්නර් එක ලැබුණ. 2005 අවුරුද්දේදි මහනුවර නගර සභාවත්, ඇමරිකානු තානාපති කාර්යාලයේ සහයෝගීතා වැඩසටහනකින් ඇමරිකන් කෝනර් එක ලැබිල තියෙනවා. ඒ වගේම තවත් වැදගත්ම දෙයක් තමයි අපේ ඒ ජංගම පුස්තකාලය. මේ පුස්තකාලය අපිට පරිත්‍යාග කරේ මහනුවර සිංහ සමාජය. මේ ජංගම පුස්තකාලයේ ගමන් වපසරිය නුවර නගරයේ ඉඳලා කිලෝමීටර ගණනාවක් දුරට යනවා. ඒ අතර කඳුරට ගුවන්විදුලිය, මාවිල්මඩ වැඩිහිටි නිවාසය වගේ ස්ථාන ගණනාවකටත් සේවය සපයනවා. ඒ වගේම අපි මේ ප්‍රදේශයේ තරුණ ප්‍රජාව වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඉංග්‍රීසි පාඨමාලා, රොබෝ ඉංජිනේරු තාක්ෂණය, ව්‍යවසාය පුහුණු, වීඩියෝ කතා නිර්මාණ, පරිගණක මෘදුකාංග භාවිතය. පරිසර වැඩසටහන් ආදියත් ඒ අතරේ තියෙනවා.’’

පුස්තකාලයක තොරතුරු අතර වටිනාම වස්තුවත්, තොරතුරත් පොත්පත්ම මිස අන් කවරක්ද? පුස්තකාල විද්‍යාවට අනුව පුස්තකාලයක පොත්පත් ඇතුළු ද්‍රව්‍යයන් සුවිශේෂී කොටස් වර්ගීකරණයන්ගෙන් යුක්තය.

ඉතා දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන ලංකාවේ ප්‍රථම මහජන පුස්තකාලය සතු වටිනා දුර්ලභ පොත් රාශියකි. ඒ අතර Ruins cities of Ceylon ග්‍රන්ථය හෙන්රි ඩබ්. කේට් විසින් ලංකාවේ ඉපැරණි නටබුන් නගර පිළිබඳ රචනා කොට 1897 වසරේදී ප්‍රකාශ කරන ලද ග්‍රන්ථයකි. එසේම ජෝර්ජ් බාන්ස් විසින් ලංකාවේ ඉතිහාසය හා සමකාලීන වර්තමාන තත්ත්වය පිළිබඳ දක්වමින් 1857 වසරේදී ප්‍රකාශයට පත්කළ Ceylon past and present ග්‍රන්ථයද මෙම දුර්ලභ එකතුවට වටිනාකම් තිළිණ කරමින් හිඳී. සර් ජේම්ස් විසින් රචිත Crisiiltiy in Ceylon ලංකාවේ ක්‍රිස්තියානි ආගමේ ව්‍යාප්තිය පිළිබඳ ලියවුණකි. 1898 වසරේදී ප්‍රකාශ කරන ලද ‘මහියංගණ විහාරය’ ග්‍රන්ථය අඹගස්වැවේ රතනජෝති හිමියන් විසින් ප්‍රකාශ කරන ලද්දකි. එසේම ඇලෙක්සැන්ඩර් කනින්හැම් විසින් රචිත ඉන්දියානු පුරාවිද්‍යාව පිළිබඳ කළ අධ්‍යයන පිළිබඳ රචිත Archaeological Servay of India ග්‍රන්ථය 1871 වසරේදී ප්‍රකාශ වූවකි. එසේම මෙහි ඇති දුර්ලභතම තොරතුරු එකතුවට අමිල වූ වටිනාකමකින් යුත් සිතියම් එකතූන් රැසක්ද වේ.

‘‘ඩී.එස්. සේනානායක පුස්තකාලයේ පොත් වර්ගීකරණය සිද්ධ වෙන්නේ ඩිවි දශම වර්ගීකරණයට අනුව අපේ සමස්ත පුස්තකාල පවුල සතුව මේ වෙනකොට සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන භාෂා තුන ඇතුළුව පොත්පත් එක්ලක්ෂ අනූ තුන්දහස් හත්සිය පනස් දෙකක ප්‍රමාණයක් තියෙනවා. ඒ අතර විශ්වකෝෂ, ශබ්ද කෝෂ, වාර්ෂික ග්‍රන්ථ, පුස්කොළ පොත් එකතුව, දුර්ලභ පොත් එකතුව, නීති අණපනත්, තොරතුරු තාක්ෂණ එකතුව, මහනුවර හා ලෝක උරුම නගර කෘති, පුවත්පත් ලිපි එකතුව, දේශීය හා වි​දේශීය ආයුර්වේද ග්‍රන්ථ වගේ විවිධ එකතූන් තියෙනවා. අපි මේ වෙද්දි පොත්පත් සොයා ගැනීමේ පහසුව පාඨකයන්ට ලබාදෙන්න අවශ්‍ය නවීන තාක්ෂණික ක්‍රම භාවිත කරනවා. අපේ පොත්වල තොරතුරු දත්ත පද්ධතිය සඳහා අපි ‘කොහා’ කියන මෘදුකාංගය අපේ පුස්තකාලයට භාවිත කරලා තියෙනවා. අපි පාඨකයන්ගේ සාමාජික කාඩ්පතත් මේ වෙනකොට ඉලෙක්ට්‍රොනික් කාඩ්පතක් විදිහට හඳුන්වල දීල තියෙනවා.’’

ලංකාවේ ප්‍රථම නාගරික පුස්තකාලයේ සාමාජිකත්වය ලබාගන්නේ කෙසේදැයි යන්න විමසීමේදී ඒ සඳහා නියමිත ක්‍රමවේද ගණනාවක්ද වේ.

‘‘මේ පුස්තකාලේ සාමාජිකත්වය ලැබෙන්නේ නගර බල ප්‍රදේශයේ හා නගර සීමාවෙන් පිටත්, සැතපුම් දහයක් ඇතුළත ස්ථිර පදිංචිය ඇති අයට වගේම නගර සීමාවේ පදිංචි හෝ නගර සීමාව තුළ රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු අයෙක් හෝ නගර සීමාව ඇතුළත ජාතික හෝ ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබන සිසුන්ට.’’

ඩී.එස්. සේනානායක මහජන පුස්තකාලය ආරම්භයේ සිට අද දක්වා පත්වී සිටින ප්‍රධාන පුස්තකාලයාධිපතිවරුන් ගණන දස දෙනෙකි. හේරත් මහත්මිය යනු ඒ දසවැනි පුරුකය. අද වනවිට මෙම පුස්තකාලයේ සේවය කරමින් සිටින සමස්ත පුස්තකාලයාධිපතිවරුන් සංඛ්‍යාව විසි දෙදෙනකු වන අතර, සමස්ත සේවක මණ්ඩලය හැට හතකි. මේ පිරිස මෙන්ම මෙතෙක් මෙහි සේවය කළ සියලු දෙනාටම ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය. ඔවුන්ගේ දහඩිය මහන්සිය, දැනුම නොවන්නට මෙවන් උරුමයක් මෙලෙස අභිමානවත්ව දකින්නට ඉඩක් නොලැබෙන්නට තිබිණි.

අවුරුදු සීයකට එහා ගිය අභිමානවත් අතීතයක් මෙන්ම සවිමත් මුදුන් මුලක් හිමි ඩී.එස්. සේනානායක පුස්තකාලය සෙංකඩගල පුරයට පමණක් නොව, සමස්ත මානව වර්ගයාටම මනුෂ්‍යත්වය බෝකරන්නා වූ දැනුම් බල කේන්ද්‍රයකි. සීමාවක් තුළ හිඳිමින් තම සේවාවන් ඉටු කළද එහි දැනුම නමැති කිරණ මුළු ලෝකයා වෙතම ගමන් කරන්නේය. ලෝකයාට පියාපත් සපයන මෙවන් පොත්ගුල් නිර්මාණය කළ සියලු ආදිතමයන්ට මෙන්ම මෙම ලංකාවේ ප්‍රථම මහජන පුස්තකාලයට හුස්ම දුන් බ්‍රිතාන්‍යයන්ටද අපේ ගරුත්වය හිස නවා පිදිය යුතු වන්නේමය.

සඳරැසී සුදුසිංහ

Share:

සම්පර්ක-රාජ ශ්‍රී පීරිස්

 

සම්පර්ක

රාජ ශ්‍රී පීරිස්



සම්පර්ක යනු එකට බැඳීම, සන්ධි වීම, එක්සත් වීම, ආකර්ෂණය වීම වැනි අරුත් දෙන්නකි. සම්පර්ක තුළ විශ්මිතා රුචිරානි සමරකෝන්ට උපන්දා සිට මුහුණ පෑමට සිදුවන අභියෝග අභිභවා යන ගමනේ කතාව ලියවී ඇත. ඒ ඔස්සේ කතා කෙරෙන ඇගේ ශාරීරික ස්වරූපය, කුටුම්භ පසුබිම, සුබවාදී වන්නක් නොවේ. ගත්කතුවර රාජ ශ්‍රී පීරිස් ලියූ සම්පර්ක නවකතාව අරටුව ප්‍රකාශන වෙතින් මුද්‍රණයෙන් නිකුත් වී ඇත.

Share:

මං අහිංසකයි-සිරිසේන රත්නායක

 

සිරිසේන රත්නායකගේ පරිවර්තනය

මං අහිංසකයි

ධනාත්මක චින්තනය, ධර්ම ග්‍රන්ථ මෙන්ම, නවකතා ලේඛකයකු ද වන සිරිසේන රත්නායකගේ නවතම පරිවර්තන කෘතිය මං අහිංසකයි පහන් ප්‍රකාශනයක් ලෙසින් එළිදක්වා ඇත. බටහිර සමාජයේ එක් පැතිකඩක් විදහාපාන මෙය සාරා රෝස්ගේ Innocent නම් කෘතියේ සිංහල පරිවර්තනයයි. එහි ජීවත්වන තරුණ තරුණියන් සතුව පවත්නා නිදහස ඔවුන්ගේ අභාග්‍යයට හේතුකාරණා වී ඇති ආකාරය වක්‍රව කියාපාන සාහිත්‍ය නිර්මාණයකි. ඔවුන් ලබන නිදහස නිසා ජීවිතය අවුල් කරගන්නා අවස්ථාවන් පිළිබඳ විවරණයක් මෙහි වේ.

Share:

සොඳුරු සිතක් -නිරෝෂනී රසාදරී පෙරමුණ

 


නිරෝෂනී රසාදරී පෙරමුණගේ

සොඳුරු සිතක්

ජනප්‍රිය නවකතා රචිකාවක වන නිරෝෂනී රසාදරී පෙරමුණගේ අලුත් ම නවකතාව ‘සොඳුරු සිතක්’ පහන් ප්‍රකාශනයක් ලෙසින් එළිදක්වා ඇත.

නොයෙකුත් හැලහැප්පීම්වලින් ගහන ගැටුම් මැද ගලා යන, සතුටින් කෙළවර වන රසවත් ආදර කතාවකි.

Share:

ජ්‍යොතිෂය සහ බෞද්ධයා -ගාමිණි දිසානායක

 



ගාමිණි දිසානායකගේ

ජ්‍යොතිෂය සහ බෞද්ධයා

ප්‍රවීණ මාධ්‍යවේදියකු වන කැනඩාවේ පදිංචි ගාමිණි දිසානායක විසින් රචිත ‘ජ්‍යොතිෂය සහ බෞද්ධයා’ කෘතිය වෙළෙඳපොළට නිකුත් කර ඇත. පෙරදිග ශාස්ත්‍රයක් වන ජ්‍යොතිෂය බටහිර දාර්ශනික අදහස් සමග තුලනය කිරීමක් මෙම ග්‍රන්ථය තුළින් දැකිය හැකිය. විවාහ පොරොන්දම් සම්බන්ධව සඳහන් කරද්දී කතුවරයා බුදු සමයෙහි දේශනාවන්ට ද එය සංසන්දනය කර පෙන්වා දී ඇත. ඇතැම් කරුණු සාකච්ඡා කිරීමේ දී ඇතුළත් කර ඇති ගීත කොටස් සහ රසබර කතා පුවත් මෙම කෘතිය රසවත් කිරීමට යොදාගෙන ඇත.

Share:

2020 නොබෙල් ත්‍යාගයෙන් පුද ලද කිවිඳිය -ලුවිස් මාගරට් ග්ලූක්

 

2020/09/18 වන දින අරුණ පුවත්පතෙහි වරුණ  අතිරේකයෙන් උපුටා ගන්නා ලදියි 

වසන්ත විජේරත්න
2020 නොබෙල් ත්‍යාගයෙන් පුද ලද කිවිඳිය

අන්තර්ජාතික ජනමාධ්‍ය පමණක් නොව ලෝකයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවධානයෙන් සිටි සතියක් ගෙවී ගියේය. ඒ නොබෙල් සම්මාන උළෙලයි. මෙහි විශේෂත්වය වන්නේ ජාත්‍යන්තර සම්මාන ප්‍රදානෝත්සව අතර ඉහළම හා ගෞරවනීයම සම්මාන ප්‍රදානය නිසා පමණක් නොව එය දින හයක කාලයක් පුරාම පැවැත්වීමයි.

මෙවර එය ආරම්භ වූයේ පසුගිය 5 වන සඳුදා කායික හෝ වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාග ප්‍රදානයත් සමගිනි. අඟහරුවාදා භෞතික විද්‍යාව සඳහාද, බදාදා රසායන විද්‍යාව වෙනුවෙන්ද, බ්‍රහස්පතින්දා සාහිත්‍යකරණය සඳහාද සම්මාන ප්‍රදානය සිදු කෙරිණි. සිකුරාදා සාමය සඳහා වන නොබෙල් ත්‍යාගය ප්‍රකාශයට පත්කෙරුණු අතර 12 වන සඳුදා දිනය යෙදී තිබුණේ ආර්ථික විද්‍යා ක්ෂේත්‍රය වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් අනුස්මරණ රක්ස්බෑන්ක් ත්‍යාගය වෙනුවෙනි.

1901 දී ඇරඹුණු නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පසුගිය බ්‍රහස්පතින්දා පිරිනමන ලද්දේ 101 වැනි වතාවටය.

නොබෙල් ත්‍යාගය කෙරෙහි පවතින දැඩි ලෝක අවධානය නිසාම එයට දැඩි වගකීමක්ද දරන්නට සිදුවී තිබේ.

අදාළ ත්‍යාගලාභියා තෝරා ගැනීමේ කමිටුව ස්වීඩන් නොබෙල් කමිටුවේ නියෝජිතයන්, ලොව පිළිගත් සාහිත්‍ය හා භාෂා විශේෂඥයන්, පෙර වතාවල සාහිත්‍ය ත්‍යාගය දිනා ගත් පුද්ගලයන්, සම්මානලාභී සාහිත්‍යධරයන් ඇතුළු 18 දෙනකුගෙන් සමන්විතය. එසේම සම්මාන ප්‍රදානයෙන් වසර 50 ක් ගෙවෙන තුරු කමිටුවේ සංයුතිය හා වෙනත් විස්තර බාහිර මාධ්‍යවලට හා පුද්ගලයන්ට හෙළි කිරීමෙන් වැළකීම ඔවුන්ගේ දැඩි වගකීමක් විය.

ත්‍යාගයට සුදුසු නම් තෝරාගැනීම ආරම්භ කරන්නේ පෙර වසරේ සැප්තැම්බර් මාසයේ සිටමය. අදාළ වසරේ ජනවාරි 31 ට පෙර ඒවා කමිටුව වෙත ලැබී තිබිය යුතුය. ඉන් අනතුරුව එම නම් විශ්ලේෂණය කරනු ලැබේ. අප්‍රේල් මාසය වන විට ඉන් නම් 15-20 ක් තෝරාගෙන අවසන් ලැයිස්තුව පටු කරමින් රහස්‍ය ව තිබුණි. ලැයිස්තුව සකස් කරන්නේ ඉන් අනතුරුවය. ජූනි-අගෝස්තු කාලය තුළ අදාළ නම් හිමියන් පිළිබඳ තොරතුරු එක්රැස් කරනු ලැබේ.

ඔක්තෝබර් මාසය වන විට ත්‍යාග හිමියා කවුද යන්න තෝරා අවසන් වේ. ඒ අනුව ඔවුන්ට ඒ පිළිබඳව දන්වා යවනු ලැබේ. දෙසැම්බර් 10 වනදා නොබෙල් දිනයේ ස්ටොක්හෝම් නුවර පැවැත්වෙන උත්සවයකදී අදාළ ත්‍යාගය පිරිනැමීම සිදුවේ. ඊට ඩිප්ලෝමා සහතිකයක්, රන් පදක්කමක්, ත්‍යාගයේ මූල්‍යමය වටිනාකම සඳහන් කරන ලද ​ලේඛනයක් ඇතුළත්ය. මෙවර නොබෙල් සාහිත්‍ය තරග හිමියා නිවේදනය කරන ලද්දේ ස්වීඩන් ඇකඩමියේ ස්ථිර ලේකම් මැට්ස් මාම් විසිනි.

2018 වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගයද පිරිනමනු ලැබුවේ 2019 වසරේදීය. ඊට හේතු වූයේ 2018 තේරුම් කමිටුවේ සාමාජිකාවකගේ සැමියාට ලිංගික අඩන්තේට්ටම් පිළිබඳ චෝදනා එල්ල වී තිබීම හේතුවෙනි. ඒ අනුව මෙවර නොබෙල් සම්මානය දිනාගනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදයේ කිවිඳියක වන ලුවිස් මාගරට් ග්ලූක් ය.

ලුවිස් ග්ලූක් නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ලද 16 වන කාන්තාවයි. එමෙන්ම 1993 වසරේදී ටෝනි මොරිසන්ගෙන් පසු නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ලැබූ දෙවන ඇමරිකානු කාන්තාවද ඇය වන්නීය.

‘‘සාම්ප්‍රදායික මිථ්‍යා කතාවන්, සොබාදහම හා ස්ව අත්දැකීම් ආශ්‍රයෙන් ප්‍රබන්ධ නිර්මාණය කිරීමේ ඉහළ පරිකල්පන හැකියාවක් ඇය පෙන්නුම් කරනවා.’’

සිය හඳුන්වාදීමේ දේශනයේදී කමිටු ප්‍රකාශකයා නිවේදනය කළේය.

මීට පෙර පුලිට්සර් සම්මානය, ගූගන් හෙයිම් ත්‍යාගය, ඇමරිකානු ජාතික සම්මානය, බුලින්ජන් ත්‍යාගය, ජාතික විචාරක සම්මානය, ජාතික මානුෂීය සම්මානය ආදී ඇගයීම් ගණනාවකට ඇය පාත්‍ර වී ති​බේ. එසේම 2003, 2004 වසර දෙකේදීම වසරේ ඇමරිකානු කිවිඳිය වූයේද ඇයයි.

හංගේරියානු සංක්‍රමණිකයකු වූ ඩැනියෙල් ග්ලූක් හා රුසියන්-යුදෙව් සම්භවයක් සහිත බියට්‍රිස් ග්‍රොස්බිගේ දියණියක ලෙස 1943 ජූලි 22 වනදා ඇය උපත ලැබුවේ ලුවිස් එලිසබත් ග්ලූක් නමිනි. ඒ නිව්යෝර්ක් නගරය ආශ්‍රිත ගමකදීය. ඇගේ මව එරට වෙස්ලි විද්‍යාලයේ උපාධිධාරිණියක වූ අතර පියා සාර්ථක ව්‍යාපාරිකයකු විය.

‘‘ලේඛකයකු වීමේ ආශාවෙන් සිටි මගේ පියාට එය මගහැරුණේ ව්‍යාපාරික කටයුතු හේතුවෙන්. එහෙත් ඔහු හා මගේ මව මටත් මගේ සොයුරියන් තිදෙනාටත් රාත්‍රී නින්දට යනවිට පැරණි ග්‍රීක කතන්දර කියා දීමට පුරුදු වී සිටියා. එය මගේ ලේඛන ජීවිතයට තදින්ම බලපෑවා. එකල මගේ ප්‍රියතම කාලය වුණේ රාත්‍රී නින්දට යන වේලාවයි.’’

ඇය පසුකලෙක කියා තිබුණි.

1961 දී ඇය ජෝර්ජ්ය. හෙවිලට් උසස් විද්‍යාලයට හා 1962 දී සාරා ලෝරන්ස් විද්‍යාලයට ඇතුළු වූවාය. නමුත් ANOREXIA NERVOSA නම් ආහාර මාර්ගය ආශ්‍රිත රෝගය වැලඳීමෙන් ඇගේ පාසල් ගමනට බාධා සිදුවූයේය.

‘‘එය මට මානසික පීඩාවක් වුණා. එසේම එම රෝගය මට ජීවත් වන්නට හා වැඩිදුර සිතන්නට ඉගැන්නුවා.’’

පසුකලෙක ග්ලූක් කොලොම්බියා පොදු අධ්‍යාපන ආයතනයේ රාත්‍රී පන්තිවලට සහභාගි වූවාය. එහිදී ලියෝනි ඇඩම්ස් හා ස්ටැන්ලි ක්‍යුනිස්ට් වැනි කවීන් හඳුනා ගන්නට ඇයට හැකියාව ලැබිණි.

සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය 1968 වසරේදී එළිදැක්වූ අතර එය නම් කර තිබුණේ 'FIRST BORN' නමිනි. ඇගේ නිර්මාණයන්හි ප්‍රමුඛ ලක්ෂණයක් වූයේ සාම්ප්‍රදායික යෙදුම් හා විශේෂණ බහුල වශයෙන් ඒවායේ අඩංගුව තිබීමයි.

ඇගේ දෙවන නිර්මාණ සංග්‍රහය වන්නේ 1975 දී ප්‍රකාශයට පත් කෙරුණු 'THE HOUSE OF MARSHLAND' ය. 'THE GARDEN' ඇගේ ඊළඟ කාව්‍ය එකතුවයි. ටික කාලයක් නිහඬව සිටි ග්ලූක් 1980 දී DESCENDING FIGURE ප්‍රකාශයට පත් කළාය.

1967 වසරේදී ඇය චාල්ස් හර්ට්ස් (කනිෂ්ඨ) සමග විවාහ වුවද එය දික්කසාදයකින් කෙළවර විය. 1977 දී සිය ලේඛන සගයා වූ ජෝන් බෲනෝ සමග නැවතත් විවාහ වූවාය. ඔවුන් දෙදෙනාගේ පුත්‍රයා නෝවා බෲනෝය.

තවත් කිවිඳියක වූ එලන් බ්‍රයන්ට් හා ඇගේ සැමියා ෆ්‍රැන්සිස් වොයිට් සමග මෙම දෙපළ නිව් ඉන්ග්ලන්ඩ් කුලිනරි ඉන්ස්ටිටියුට් ආයතනය ආරම්භ කළ අතර එහි අධ්‍යක්ෂ මණ්ඩලයේද ඔවුහු කටයුතු කළෝය.

ග්ලූක්ගේ DESCENDING FIGURES ග්‍රන්ථයට විවිධ විවේචන එල්ල වූයේය.

‘‘ඇය දරුවන්ට වෛර කරන්නියක්.’’

ප්‍රකට කවියකු වූ ක්‍රෙග් කුෂ්මා චෝදනා කළේ එහි DROWNED CHILDREN නම් කාව්‍ය පන්තිය උදාහරණයට දක්වමිනි.

1984 වසරේදී විලියම්ස් කොලේජ්හි ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දේශකයකු ලෙස කටයුතු කරන ලෙසට ඇයට ඇරයුමක් ලැබිණි. ඇගේ පියාගේ අභාවය සිදුවූයේ ද මෙම කාලසීමාවේදීය. 1985 දී THE TRIUMPH OF ACHILLIS එළිදක්වනු ලැබුවාය.

1990 වසරේ ARARAT හා 1992 දී THE WILD IRIS නම් නිර්මාණ ප්‍රකාශයට පත් කෙරිණි.

1993 දී පුලිට්සර් සම්මානය ලබාගැනීම සඳහා ඇයට උපකාරී වූයේ මෙම නිර්මාණයි. උද්‍යානයක මල් පැළෑටි, උයන්පල්ලා සහ ඒ වෙත පැමිණෙන වන දෙව්දුවකගේ සංවාදයක් හරහා නිර්මාණය වී ඇති THE WILD IRIS කාව්‍යකරණයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සලකනු ලැබේ.

VITA NOVA (1999) THE SEVEN YEARS (2001) AVERNO (2006) A VILLAGE LIFE (2009) ඇගේ තවත් නිර්මාණ සංග්‍රහ කීපයකි. 2014 වසරේදී එළි දැක්වුණු FAITHFULL AND VIRTUAL NIGHT කෘතිය වෙනුවෙන් ග්ලූක් වෙත ජාතික ග්‍රන්ථ සම්මානය පිරිනැමිනි.

2016 වසරේදී ඇයට එක්සත් ජනපද ජාතික මානුෂීය ගෞරව පදක්කම පිරිනමන ලද්දේ ඒ සඳහා පැවැති උත්සවයකදී එවක ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා විසිනි.

කේම්බ්‍රිජ්හි වාසය කරන ලුයිස් ග්ලූක් දැනට යේල් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක ලෙස කටයුතු කරයි. එහෙත් ඇගේ ප්‍රධාන ආදායම් මාර්ගය ග්‍රන්ථකරණයයි. කාව්‍ය ග්‍රන්ථවලට අමතරව ඒ සම්බන්ධ විචාර කිහිපයක්ද ඇය රචනා කර තිබේ. ග්ලූක්ගේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 1-5 ත් අතර වේ යැයි සැලකේ.

නොබෙල් ත්‍යාගය දක්වා ඈ පැමිණි ගමන ඉතා කටුකය. එහි වැඩිපුර තිබුණේ කටු පඳුරු හා ගල් බොරළුය. රෝග පීඩාවන්, වියෝවීම් හා අපහාස, චෝදනා එමටය. ඒ සියල්ල දරා ගනිමින් ඇය පැමිණි ගමන අවසානයේදී ජයග්‍රහණය කර තිබේ.

වසන්ත විජේරත්න

Share:

අකුරු කියවන්න පුළුවන් වුණාට සාහිත්‍යයික කියැවීමක් තියෙනව ද?

 2020/09/18 වන දින සිළුමිණ පුවත්පතෙහි දීපානි අතිරේකයෙන් උපුටා ගන්නා ලදියි 


අකුරු කියවන්න පුළුවන් වුණාට සාහිත්‍යයික කියැවීමක් තියෙනව ද?

ක්තෝබරය කියවීමේ මාසය වශයෙන් සම්මත වී තිබේ. ලංකාව අද වනවිට සාක්ෂරතාවයෙන් ඉහළ රටක් හැටියට සැලකේ. ඔක්තෝබරයේ කියවීමේ මාසයත් සමඟ ඇති වන කතා බහක් වන්නේ අකුරු කියවන්නට පුළුවන් වු පළියට අපේ රටේ සැබෑ සාහිත්‍යයික කියවීමක් තියෙනවා ද කියන එකයි. බැලූ බැල්මට එහි යම් උහතෝකෝටික බවක් දැකිය හැකි වුණ ද එය ප්‍රබල විමසීමක් මතු කරන ප්‍රශ්නයක් යැයි හැඟෙන හෙයින් ඒ පිළිබඳව ගුරුවරු, නිලධාරීන් මෙන්ම ජනමාධ්‍යවේදීන් හැටියට අත්දැකීම් ඇති සාහිත්‍යධරයන්ගෙන් මත විමසීමක් කිරීමට අපි කල්පනා කළෙමු.

පරිපාලන ක්ෂේත්‍රයේ වෘත්තීය අත්දැකීම් සහිත සුනිල් සරත් පෙරේරා ගීත රචකයෙක්, කවියකු මෙන්ම සාහිත්‍යධරයකු ද වේ. ඉදින් එවැන්නක් වේ නම් ඊට අදාල ප්‍රධාන පෙලේ අධ්‍යාපන ආයතනයක් හැටියට විශ්වවිද්‍යාලය වගකිව යුතු නොවේදැයි ඔහු විමසීය. ඒ අනුව ඔහු අවධාරණය කරන්නේ සැබෑ ලෙසින්ම පිළිගත් සාහිත්‍ය ගවේෂණයක් ඔවුන් අතින් ඉටු විය යුතු බවයි.

“ඒත් එහෙම නොකර හුදෙක් තමන්ගේ පණ්ඩිතමානී බව පෙන්නනන ඇති කරන කලබැගෑනි තමයි අපිට දකින්න ලැබෙන්නෙ. ඒකට හෙඳම උදාහරණය තමයි පහුගිය දවස්වල ඇති කරපු ගේය පද කෝලාහල ය. මොකක්ද මේ ගේය පද කියන්නෙ. මම විශ්වාස කරන හැටියට ගීතයක් කියන්නේ අර්ථ පූර්ණ රචනයක්. අද එතනට ගීතය වර්ධනය වෙලා තියෙනවා. එහෙම තියෙද්දී ගායනා කෙරෙන පද කියන අර්ථයෙන් ගීත රචනයකට ගේය පද කියන එකේ තේරුමක් තියෙනව ද? මේ ගැන නාමෙල් වීරමුනිගේ පුංචි තියටර් එකේ තිබුණ කතා බහකදී ගුණදාස අමරසේකර කිව්වා ගේය පද ගැන නං මම දන් නෑ. ගාය පද කියළ නං දන්නවය කියලා. මේ නිසා වෙන්නෙ ගීත රචනයක් හැම විටම ගායනා කරන කියන තැනට ලඝු වෙන එකනෙ. ඉතින් එහෙම බැලුවම හොඳම ගේය පද කාරයො තමයි කට්ටඩි මිනිස්සු. වැදි ජනතාව අතරත් තේරුමක් කියන්න බැරි ගේය පද තියෙනවා. මං අහන්නේ මේ වගේ තේරුමක් නැති සංවාද වලික් පුළුවන්ද ජනතාව අතර කියවීමේ වර්ධනයක් ඇති කරන්න.”

ජනමාධ්‍යවේදිනියක හැටියට අත්දැකීම් ඇති කරුණා පෙරේරා ප්‍රකට ගත් කතුවරියකද වේ. ඇයට අනුව නම් සාක්ෂරතාවය යනු එකක් ය. කියවීම යනු තවත් එකක් ය.

“සාක්ෂරතාවය කියන්නේ කියවීමේ හැකියාව නම් ලේඛකයින්ට ලොකු වගකීමක් තියෙනවා ඒ ගැන. ඒ කියවන්න ඉන්න පිරිස වෙනුවෙන් මොනවද අපි දෙන්නෙ කියන කාරණේ උඩ තමයි ලේඛකයින්ට ඒ වගකීම පැවරෙන්නෙ. අනිත් කණ්ඩායම තමයි ගුරුවරු. පත්තරේ දිග ඇරගෙන ප්‍රවෘත්ති කියවන එක නෙවෙයිනෙ සාහිත්‍යයික කියවීම කියන්නෙ. අන්න ඒක තමයි සාක්ෂරතාවය. සාහිත්‍යය කියවීමක් කියන්නෙ. ගැඹුරු අරුත් මතු කරගනිමින් කරන කියවීමකට. අපි පොඩි කාලේ කුමාරොදයෙන් පටන් ගත්ත ඒ කියවීම තමයි අපිව ලොකු මහත් කළේ. අන්න ගුරුවරයා මතුවන තැන. නමුත් ප්‍රශ්නෙ තමයි එහෙම ගුරුවරු අද ඉන්නව ද කියන එක.”

“මා දකින තව දෙයක් තමයි සාහිත්‍යය කියන්නෙ වෘත්තීය අධ්‍යාපනයක් නෙවෙයි. සාහිත්‍ය ගුරුවරයා කියන්නේ තාක්ෂණවේදියෙකුත් නෙවෙයි. සාහිත්‍ය කියවීම කියන්නෙ ජීවිතය කියවීමක්. මොන විෂය කළත්, මොන වෘත්තියක හිටියත් ඒ ජීවිත කියවීම අවශ්‍යයි. පරණ පොතක් වුණත් අපි අද කියවනවා කියන්නෙ ඒක අලුතින් හිතීමක්. ඒ පරණ තැන ඉඳගෙන නෙවෙයි අපි ඒක අද කියවන්නෙ. ඒකයි මං කියන්නෙ සාක්ෂරතාව කියන්නෙ එකක්. සාහිත්‍යයික කියවීම කියන්නෙ තවත් එකක්.”

වෘත්තියෙන් ගුරුවරයකු වන ප්‍රීති බණ්ඩාර ධනපාල ප්‍රකට සාහිත්‍යකරුවෙකු ද වෙයි. ඔහුට අනුව නම් කියවීමේ අඩුවක් නැත.

“පොදුවේ ගත්තම කියවීම පිරිහිලාය කියල මං නං හිතන්නෙ නෑ. ඉතිං එහෙම නං මෙච්චර පොත් ප්‍රකාශනයක් සිද්ද වෙන්නෙ කොහොම ද? අද පොත් ප්‍රකාශන සමාගම් කොච්චර තියෙනව ද? ඒක ලොකු ව්‍යාපාරයක්. එදා වගේ නෙවෙයි කර්තෘ ප්‍රකාශන පවා අද වැඩිපුර දකින්න පුළුවන්. ප්‍රතිශතයක් හැටියට ගත්තම කියවන පිරිස සියයට 20 ක් වගේ වෙන්න පුළුවන්. ඒත් කියවන පිරිසක් එහෙම ඉන්නවා. සමාජ මාධ්‍ය හරහා අද වෙනකොට වෙනම ආකාරයක කියවීමක් ඇති වෙලා තියෙනවා විය හැකියි. ඒ නිසා පොත පත අළෙවියට යම් බලපෑමක් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඒත් කියවන ප්‍රතිශතයක් ලංකාවෙ ඉන්නවා, ඒකෙ පිරිහීමක් නෑ. ඒකයි මගේ තර්කය.”

“උදාහරණයක් විදිහට සිනමා ශාලා අද වේගයෙන් වැහීගෙන යනවා. මහනුවර ගත්තොත් ප්‍රධාන පෙලේ සිනමා ශාලා හැම එකක්ම වගේ වැහිලා ගිහින්. චිත්‍රපට රසිකයා අද ඉන්නෙ යු ටියුබ් එකේ. එදා වගේ දුර රූපය, සමීප රූපය ඒවා අදාල වෙන්නෙ නෑ චිත්‍රපටියක් බලන්න. එදා තිබුණ සිනමාව හා බැඳුන ඒ අධ්‍යයනය වගේම සමාජ සංස්කෘතිය අද නෑ. නමුත් පොත් සාප්පු එහෙම වැහිලා ගිහිං තියෙනව ද? හැම නගරයකම බැංකු තියෙනවා වගේ ප්‍රධාන පෙලේ පොත් සාප්පුත් තියෙනවා. මම නං හිතන විදිහට කියවීම නැතිවෙලාය කියල අපිට මතුපිටින් විතරක් බලලා කියන්න බැහැ.“

මිනිසාගේ ජීවිතයේ පැවැත්ම ගංගාවක් වැන්න. එය හිතන්න බැරි තරමට කලින් ගලා නොගිය අලුත් දිශා වලට වේගයෙන් ගලා බසී. මේ තමයි පැවැත්මේ විවිධත්වය. හිතන්න බැරි ආකාරයට එය යොමු කිරීමයි මැවුම්කරුවාගේ බලාපොරොත්තුව. එය (ජිවිතය) සකස් කළ ගමන් මාර්ගයක ගමන් කරන්නට කපා ඇති ඇල මාර්ගයක් නොවේ.” අප එය උපුටා ගත්තේ තාගෝර්ගේ ගෝරා නම් නවකතාවෙනි. සාහිත්‍යයික කියවීම යනු එවැනි ජීවිතාවබෝධයක් ලබා දෙන විශිෂ්ට වූ අත්දැකීමකි.

Share:

මියුලු නුවරත් විසාලාවක් -නිශාන්ත මල්ලවආරච්චි

 






කෘතිය - මියුලු නුවරත් විසාලාවක්

කර්තෘ - නිශාන්ත මල්ලවආරච්චි

ප්‍රකාශක - ග්‍රැෆිකෙයා ප්‍රකාශකයෝ

මිල - රු : 250

කවියට තැනක් නැතැයි, කවි පොත් අලෙවි වන්නේ නැතැයි ඇතැමුන් මැසිවිලි නැගුව ද කවියෝ තම නිර්මාණ කරති, කාව්‍ය සංග්‍රහ පළකරති. වර්තමානයේ පත්තර පිටු අතරත්, මුහුණු පොතහරහාත් කවි ලියන්නෝ දවසින් දවස හමුවේ. අලුත් කවි හමුවේ. විවිධ මාතෘකා ඔස්සේ ලියැවුණ නිර්මාණ හමුවේ. ඒ කෙසේ වුවත් වර්තමාන ආර්ථික රටාව තුළ මේ සමාජයේ කවියෙකුට තැනත් නැති වෙන්නට පුළුවන. වර්තමානයේ ගීත රචකයකුට මෙන් කවියෙකුට ලොකු මිලක් නැත. කවියට ඇබ්බැහි වූවන් ඒ නිර්මාණයෙන් සෑහීමකට පත් වෙනවා විනා මුදල් ඔස්සේ දුවන්නේ නැත .මහා ලොකු මුදලකට විකිණෙන්නට කවි ලියන්නේ වත්, ලියූ කවි වලට මේ සමාජය තුළ මුදල් උපයන්නටවත් හැකියාවක් නැත. මේ එවන් කවියෙකුගේ පාපොච්චාරණයකි. මාතෘකාව “කවියෙකුගේ ආත්ම ප්‍රකාශය“. “කවි ලියලා මොකක්ද ඇති වැඩේ. ලියන්නකෝ හිට් වෙන සිංදුවක්.“

හිත් ගැබේ කිති කැවි සිය දහස් වාරයක්

කවි මලක් පුදන්නට අවැසිමයි දිගු කලක්

නුඹේ සරදම් සිනා විටෙක හද පෑරුවත්

කවියෙකුට කවි පොතක් කියන්නෙම මී විතක්...

ලාබ සිල්ලර වදන් බාල තනුවට අරන්

කාක කැල කෑ ගසති කොවුල් ස්වර යට කරන්

සවන්පත් අගුලුලන රැප් රෙගේ හඬ මැදින්

අපට සැනසිය හැකිද දරු පැටවු වටකරන්..

ගෙයි කුලිය විදුලි බිල් බෝ උසයි ණය කන්ද

මාස් අග පඩිපතට දරන්නට පුළුවන්ද

අගනුවර පොත් සැලක කවි පොතකි මන නන්ද

සොඳුර මම නොදැනුවත්වම වුණා උපනන්ද..

පැටෙවු ලොකු මහත් වුණු දිනක මතු කිසියම්

අසයි නුඹගෙන් සොඳුර පියෙකුගේ වත්කම්

පොත් රාක්කේ කොනක තබමි කවි සිත්තම්

දයා දසේ දියන්, උන්ට මගෙ කවිකම්!

විවාහ වන වයස පැමිණි විට කවුරුත් අසන්නේ කවදා ද බඳින්නේ කියායය. ඒ සමාජයේ හැටිය. සියල්ල සම්පූර්ණ වුවත් නොවූවත් දෙහිතක් බැඳුන පසු විවාහ වන්නේ අද කාලේ හැටියට කරන්නට පුළුවන් උපරිම වියදම් දරාය. දැන් ඉස්සර මෙන් ලෙහෙසියෙන් විවාහ මංගල උත්සවයක් ගැනීම පහසු නැත. එසේ වුවත් කොහොම හරි උත්සවයක් ද ගෙන එක් වහලක් යටට වූ පසු පැමිණෙන සතුටත් දුකත් මෙන්ම අනෙකුත් දහසකුත් එකක් ප්‍රශ්න විද දරා ගන්නට සිදු වන්නේ ද ඔවුන්ටමය. අතමිට සරු නොවූ විට විඳින්නට වන ගැහැට අපමණය. ඒ ගැහැට වැඩි වන්නේ දරු මල්ලන් ද සිටින විටය. කුලි නිවෙසක දිවි ගෙවන්නට වේ නම්, දෙදෙනාගෙන් එක් අයෙක් පමණක් රැකියාව කරන්නේ නම් මේ ගැහැට වැඩිය. කවියා ද එවන් පවුලක අත්දැකීමක් ලියන්නේ මෙලෙසිනි.

මාතෘකාව “විවාහ මංගල්‍යයෙන් අනතුරුවය“.

දුප්පත්කමේ පතුලේ සිටින කතකයා පවසන්නේ විවාහයෙන් කලක් ගිය තැනදි කුටුම්බය තුළ අසන දකින අත්විඳින ජීවිතය පිළිබඳය. කවි පන්තියේ අවසන් කොටසේ දී එය කියන්නේ

මෙලෙසිනි.

“කුලියට ගත් මාල වළලු මංගල තැලිපිළි

පෙට්ටගමේ පතුලෙ ඉදන් නගාවි මැසිවිලි

වේල් පොටෙන් පිසිය හැකි ද අග හිඟ කඳුළැලි

කටු යහනට ඉතින් කුමට ප්‍රේමයෙ සැරසිලි..

සාද තෙපුල් බමන ගීත උඩු හුළගට වැද

මැකී ගිහින් දැන් ඇසෙන්නේ දරුවගෙ කටහඬ

ඇල්බම් පොත පාගා ණය පොත තටු පිරි මැද

ඉගිල්ලෙමින් සොඳුර අපට සිනා සලන රඟ...

කවියන්ගේ භාෂාව විවිධාකාරය. ඔවුහු විවිධ සමාජ ඇසුරු කරමින් 'විවිධ සංස්කෘතීන්ගෙන් පෝෂණය ලබමින් තම භාෂාව පෝෂණය කර ගනිති. “මියුලු නුවරත් විසාලාවක්“ කාව්‍ය සංග්‍රහයේදි නිශාන්ත මල්ලවආරච්චි ද එසේ යැයි සිතේ. ආදරයක් හදේ ඇති වූ විට එය කියන්නේ අපට ඇති හොඳම ආදරණීය වචනයෙනි. මනු කියවන රස්සාවේ යෙදෙන්නාට නිතර භාවිතා වන වචන තම ප්‍රේමයේ විඳුම, රිඳුම කියන්නට ද යොදා ගනි. නිශාන්ත කවියා ලියූ“මනු කියවන නිලධාරියාගේ අප්‍රකාශිත ප්‍රේමය“ ඊට නිදසුනකි.

“ජලාශයක් වුව පිරෙන තරමට

පෙම පුරෝගෙන නුඹ සොයා එමි

හදේ ඉසියුම් රැහැන් විනිවිද

අධි බලැති පෙම සිතින් පුද දෙමි...

එබෙන තුරු කවුලුවෙන් පුන් සඳ

මනුව කැරකෙන බව ගනිමි

නුඹේ වැඩි සැර බැල්ම අබියස

හදේ බල්බය නිවාලමි...

සිතින් නුඹ තෙකලාම බව දැන

මසිත් එකලා දුක දරා ගමි

මනු තැටිය සේ සසැලෙනා සිත

මුවින් සඟවා බිල තබා යමි...

පේන කණු‘තර පිපුණු හද පෙම

විසන්ධිව පසුබා ඉවත යමි

එළැඹෙනා මස යළිදු දිනයක

විදුලි සැර හදවතින් විඳගමි...

කවිය පිළිබඳ නිරන්තර අභ්‍යාසයේ යෙදෙන තරුණ කිවියකු වන නිශාන්ත ගේ කවි නිසදැස් ආරට වඩා සඳැසට ළඟය. ඔහුට මේ කවි මගෙහි තව බෝ දුර යා හැකිය.

Share:

ගෝඨාභය ආගමනය (විජයග්‍රහණය පෙළගැස්ම)-මාධව මිහිඳුකුල

 

කෘතිය - ගෝඨාභය ආගමනය (විජයග්‍රහණය පෙළගැස්ම)

කර්තෘ - මාධව මිහිඳුකුල

ප්‍රකාශක-පෙරඹර ප්‍රකාශනයකි

මිල - රුපියල් 600

පිටු - 126

 

රටේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ඉහළ ජනවරමක් ලබා රටේ නායකත්වයට පැමිණිම දක්වා පසුබිම් වී ඇති කතාව මෙන්ම ඒ වටපිටාවේදි මුහුණ දෙන්නට වූ අභියෝගයන්, මාධ්‍ය හැසිරීම ආදී වූ බොහෝ තොරතුරු මෙම කෘතියේ අඩංගු වේ. කිහිප වරක්ම කොටින්ගේ බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවා ගැනීම, තවත් විටෙක කොටි ඩයස්පෝරාව ගෝඨාභය රාජපක්ෂ අන්තර්ජාතික අධිකරණය වෙත ගෙන යෑමට උත්සාහ දැරීම, එය ව්‍යර්ථ වීම ආදී කරුණු රාශියක් මෙම කෘතියේ අඩංගු වේ.

Share:

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235

Blog Archive