වර්‍ෂ 2020ක් වූ නොවැම්බර් මස 01 වැනිදා ඉරිදා සිළුමිණ පුවත්පතේ දීපානි අතිරේකයෙන් උපුටා ගණන ලදියි
මං මේ කතාව මෙහෙම පටන් ගන්නම්. මේ බලන්න. මේ මොබයිල් ෆෝන් එක. මට නං මේක මාර ෆැන්ටසියක්. මගේ පහුගිය නවකතා කියවලා හුඟක් දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි ඇයි හැමදාම ඉතිහාසය ෆැන්ටසියක් කරගන්නෙ, ඇයි වර්තමානයට එන්නෙ නැත්තෙ කියළා. ඒත් මට ඇතිවුණ ප්‍රශ්නය තමයි වර්තමානයේ කොහෙද ෆැන්ටසියක් තියෙන්නෙ කියනෙක.
මම ආවෙ හැත්තෑවෙ දශකයෙ ඉඳලා. මගේ අම්මා, තාත්තා ඒ වගේම අපේ වයිෆ්ගේ අය, ඒ ගොල්ලො මාර විදිහට විජය- මාලිනී ට ඒ සිනමා සංස්කෘතියට ආදරේ කරපු අය. මම වුණත් එහෙමයි. විජය ගැන ඒ තරම්ම නොවුණත්, මාලනිගේ ඒ ලස්සනට සම කරන්න පුළුවන් ගැහැනියක් මට තවමත් හම්බ වෙලා නෑ. මාලනිගේ රූපය, ඒ නිසග හැකියාව සම කළ නොහැකියි. මම මාර විදිහට ඒ ගැන පුදුම වෙනවා. මගේ මේ අලුත්ම නවකතාව I.D වල මුල් කොටසට ගිහින් බලන්න. ඒ කතාව එතන නිර්මාණය වෙන්නෙ එ මාලනි- විජය ෆැන්ටසිය ඇතුළෙ.
අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඉතිහාසය ෆැන්ටසියක් කර ගත්ත එකෙන් මට පුළුවන් වුණා ඒක ඇතුළෙ පිනුම් ගහන්න. කොහොමත් පරිකල්පන ලෝකය කියන එකට මම ආසයි. ඒත් මගේ අලුත් නවකතාව ගැන කියනවනං මේක ඇතුළෙ මගේ ජීවිත කතාවත් තියෙනවා.
මගේ අම්මා නැහැ. අපේ ජීවිතේ ආර්ථික අපහසුකම් නිසා මට ඒ ලෙවල් කරන්න මගේ තාත්තට සිද්ද වුණා අපේ ගෙදර උකස් තියන්න. මම ක්ලැරිකල් එග්සෑම් එක කරලා රස්සාවකට යන්නෙම ඒ නිසයි. මං විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවෙ එහෙම පසුබිමක. ඒ විදිහට පෝස්ටල් ඩිපාර්ට්මන්ට් එකට ගිය මගේ මුල්ම පත්වීම ලැබුණෙ නුගේගොඩ පෝස්ට් ඔෆිස් එකට. එතනට දවසකට සිය දෙනෙක් ආව නම් අසූ දෙනෙක් ම ආවේ ටෙලිෆෝන් කෝල්ස් ගන්න. මේ කතාව ලියනකොට තමයි මට කල්පනා වුණේ එහෙම කාලයකුත් මම ගත කරල තියෙනවා නේද කියලා.
හිතල බලන්න අද අපිට ෆෝන් කෝල් එකක් කියන්නෙ කොයි තරම් සරල දෙයක් ද? එදා ටෙලිෆෝන් එකක් ගන්න පෝස්ට් ඔෆිස් එකට යන්න ඕනෙ. ඒත් එකවර ගන්න බෑ. පෝලිමේ ඉන්න ඕනෙ. මොකද කෝල් එක එන්නෙ ටෙලි කොම් එක්ස්චේන්ජ් එක හරහා. විදේශ ඇමතුමක් නම් ට්‍රන්ක් කෝල් එකක් විදිහට ගන්න ඕනෙ. පැය බාගයක්, පැයක් ඒ වෙනුවෙන් ඉන්න වෙනවා.
1995 දී එහෙම හිටපු අපි අද මේ ඉන්න තැන, ඇත්තටම මාර කන්ට්‍රාස් එකක්. වන්නිලැ ඇත්තො කියපු කතාව ඒක තමයි හරිම කතාව.
“මං කැලේ ඉපදුන නිකම්ම නිකම් වැද්දෙක්. දැන් මගේ වයස අවුරුදු 65 යි. මේ පොඩි කාලෙට මං ගොඩක් දේවල් දැක්කා. මං පුංචි කාලෙ ජීවත් වුණු ලෝකෙයි අද ලෝකෙයි අතර තියෙන්නෙ ලොකු වෙනසක්.
ඒ කාලේ පායපු ඉර නෙවෙයි අද පායන්නෙ. එදා දැක්ක අහස නෙවෙයි අද දකින්නේ. එදා හිටපු මිනිස්සු නෙවෙයි අද ජීවත් වෙන්නේ. මේ ඔක්කොම ගත්තහම මට හිතෙන්නෙ, මං ජීවත් වෙන්නෙ ලෝක දෙකක කියලයි.”
දැන් ආපහු මගේ කතාව. එදා ටෙලිවිෂන් තිබ්බට අම්බලන්ගොඩ අපේ ගමේ හිටපු මට වැඩිපුරම බලපෑවේ රේඩියෝ සංස්කෘතිය. ඒත් අපේ ගෙදර රේඩියෝ එකක් තිබුණෙ නෑ. අල්ලපු ගෙදර තිබුණා. මං හිතන්නේ මේ අසූ ගණන්වල අන්තිම වෙන්න ඕනේ. එදා වෙළඳ සේවයේ දවල් එකත්, එකහමාරත් අතර ජිප්සීස්ලගෙ පැය බාගයක වැඩ සටහනක් ප්‍රචාරය වුණා. ඒනට මං මාර ආසයි. කුරුමිට්ටෝ සිංදුවේ ඉන්ට්‍රඩක්ෂන් එකෙන් තමයි ඒක පටන් ගත්තෙ. මම ඒක ඇහුවා. අල්ලපු ගෙදර තාප්පෙට හේත්තු වෙලා.
ඒ කාලේ පෙම්වතියන්ට ලියුම් ලියපු කාලයක්. ඒක මාර අමාරු වැඩක්. ලියුම පටන් ගන්නෙ කොහොමද? ඒක මාර ප්‍රශ්නයක්. කොහොම හරි ලියාගෙන අන්තිමට දෙන්න කලිං අපි කොච්චර දේවල් හිතනව ද? එයා මුකුත් හිතයි ද? ආපහු දමල ගහයි ද? එහෙම නැත්තං ගනී ද? ඒ ප්‍රශ්න හරි බරපතලයි.
බැරි වෙලාවත් ලියුම ගත්තොත් ඒ ලියුම හරිම තමයි. අපි මාළිගාව හදල ඉවරයි.
ඒත් අද ඒක ෆෝන් එකෙන් යවන ටෙක්ස්ට් එකක් විතරයි. අර ෆැන්ටසිය අද අපිට අහිමියි. මේ ෆෝන් එක ඒ හැම ෆැන්ටසියක්ම මේක ඇතුළට අරගෙන. ඒ නිසා මේ ෆෝන් එක නැතුව අද අපිට පවතින්න බැහැ.
හිතල බලන්න මේ සෙල් ෆෝන් එක එන්න කළිං අපි දුරකතනයෙන් කතා කලා. ඒකෙ රැහැනක් තිබුණා. ඒත් අද කිසිම රැහැනක් නෑ. සම්බන්ධයක් නෑ. ඒත් පුදුමාකාර සම්බන්ධයක් ඒකත් එක්ක අපි ඇති කරගෙන තියෙනවා. සමහර වෙලාවට කවුරු හරි කතා කරද්දි එයා ඉන්න තැන කිව්වා වුණත්, මට හිතිලා තියෙනවා මේ ඇමතුම එන්නෙ වෙනත් ග්‍රහ ලෝකෙකින් ද දන් නෑ කියලා. අපිට හිතාගන්න බැරි විදිහට මිනිස්සු මිනිස්සු අතර ලින්ක් කරන තැනට මේ ෆෝන් එක ඇවිල්ලා තියෙනවා. ඒක මොන වගේ ෆැන්ටසියක් ද? සාමාන්‍ය ජීවිතයේ ලිංගිකත්වයත් මේ ෆෝන් එක වෙනස් කරලා තියෙනවා.
ලෝකයේ වුණත් වර්චුවල් සෙක්ස් පවා මේ ෆෝන් එක හරහා නිර්මාණය වෙලා තියෙනවා. මේවා සමාජ වෙනස්කම් නෙවෙයි ද?
මේ ටෙක්නොලොජි එක ඇතුලෙ සිද්දවුණ වෙනස්වීම් තමයි මට මේ නවකතාව ලියන්න බලපෑවේ. සැබෑව සහ ව්‍යාජය හඳුනාගන් එකත් මේ ෆෝන් එක වෙනස් කරලා තියෙනවා.
ඒ දෙක හුවමාරු කරගන්න එකත් අපි මේ ෆෝන් එකෙන් කරනවා. මේ ටෙක්නොලොජි එකේ අවසානයක් නෑ. මේ පොතේ එන කවීෂගේ මරණය ඒක ඇත්තක් වුණත්, නැතත් ඒක ඇත්තක් නොවේ යැයි විහ්වාස කරගෙන ජීවත් වෙන්නට මේ අවසානයක් නැති ටෙක්නොලොජි එකෙන් අවස්ථාව ලැබිලා තියෙනවා. මේ පොත සම්මත විදිහට අවසන් කරන්න මට පුළුවන්කමක් නැහැ.
ඒ අන්තිමට එන ටෙක්ස්ට් එක කාගෙන්ද කියල හරියටම කියන්න මේ ටෙක්නොලොජි එක ඇතුලෙ අපිට බැහැ. ඒක හංසිගෙන් වෙන්න බැරි ද? මොකද හංසිගේ ලිංගික මාත්සර්යය නදීව ටාගට් කරලටි තියෙන්නෙ.
එහෙමත් නැත්නම් කවීෂගේ එකවුන්ට් එක හැක් කරලා වෙන කෙනෙක් ටෙක්ස්ට් කරනවා වෙන්න බැරි ද2 මේ අවසානයක් නැති ටෙක්නොලොජි එක ඇතුලෙ අපිට නිශ්චිත අවසානයක් දකින්න බැහැ.
මේක ඉවරයක් නැති හීනයක්. ඒකයි මං කියන්නේ මේ ෆෝන් එක මට මාර ෆැන්ටසියක්ය කියලා.
0 Comments:
Post a Comment