පියැසි කවුළුවෙන් දුටු ජීවිතය ඒ කෙසේද යත්...
2020/11/15 දින සිළුමිණ පත්‍රයේ දීපානි අතිරේකයෙන් උපුටා ගන්නා ලදියි
ග්‍රන්ථය - පියැසි කවුළුව
පරිවර්තනය - සුභාෂිණි චතුරිකා
සුභාවි ප්රකාශනයකි
මිල රු. 750 (පිටු 360)
“ජොසේ සරමාගෝ යනු නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද පළමු පෘතුගීසි පුරවැසියා ය. ඒ 1998 වසරේ දී ඔහුට වයස අවුරුදු 76 ක්ව තිබිය දී ය. ඔහුට ගෙවා දැමීමට සිදු වුයේ ඉතාමත් දුෂ්කර ජීවිතයකි. ආර්ථික අපහසුකම් නිසා නව යොවුන් වියේ දීම යාන්ත්‍රික ශිල්පියෙකු ලෙස සේවය කිරීම ඇරඹූ අතර තවත් වෙනත් වෘත්තීන් ගණනාවකම යෙදෙන අතරවාරයේ ඔහු නොනවත්වාම සාහිත්‍යයට පෙම් බැන්දේ ය.”
“ස්කයි ලයිට්” කෘතිය ලියු ජොසේ සරමාගෝ නම් ලේඛකයාගේ ජීවිතය ගැන සාමාන්‍ය අවබෝධයක් හෝ සිංහල පාඨකයාට තිබීමට පුළුවන්කමක් නැත. ඔහු ඒ තරමටම මෙරටට ආගන්තුකයෙකි. ඉහත කෘතිය සිංහල බසට නැගෙන්නේ ද පළමු වතාවට යැයි සිතමි. ඒ සුභාෂිණි චතුරිකා අතිනි. මෙම කෘතියේ අත් පිටපත බොහෝ කාලයක් අස්ථානගතව පැවත පසුව ඔහුට හමු වූවක් වන අතර තමාගේ මරණය දක්වාම මෙය මුද්‍රණයෙන් එළි දැක්වීමට ඔහු කැමති වී නැත. ඒ අනුව මෙය ප්‍රකාශයට පත් වන්නේ ඔහුගේ මරණයෙන් පසුව ය.
“සරමාගෝ කවියෙකි. නවකතාකරුවෙකි. ජනමාධ්‍යවේදියෙකි. නාට්‍ය පිටපත් රචකයෙකි. පරිවර්තකයෙකි. එසේම පෘතුගීසි සමාජවාදී පක්ෂයේ කමිටු සාමාජිකයෙකු ද වු ඔහු පෘතුගාලයේ කැපී පෙනුණු දේශපාලන ක්රියාකාරිකයෙකි. ඔහුගේ සාහිත්‍ය නිර්මාණ ද බොහෝමයක් ඔහු විශ්වාස කළ දේශපාලන ලක්ෂණ ඉස්මතු කිරීම සුලබ ලක්ෂණයක් බව කිව හැක.”
නාගරික සමාජ සංස්කෘතියක් හමුවේ මහත් සේ වෙහෙසින් ද, ඒ නිසාම උපන් අතෘප්තියෙන් ද යුතුව ජීවත්වන ඒ මිනිසුන්ගේ පැවැත්මේ වේදනාව විස්තර වී ඇති ආකාරය ඇත්තටම ඛේද ජනක ය. පරිවර්තිකාව හඳුන්වා දෙන අන්දමට එතෙක් කිසිදු ලේඛකයෙකු අත නොතැබු ඔවුන්ගෙ විවාහික ලිංගික බලහත්කාරය, සමරිසි ලිංගික සබඳතාවන් ගෘහස්ත අපයෝජනය, ගණිකා වෘත්තිය යන මේ සමස්ථාර්තය සමඟ හැසිරෙන චරිත සමුහයකින් යුත් නවකතාවක් බවට පියැසි කවුළුව පත් වේ.
පාළුවෙන් වියළී ගිය ඒ ශෝකි ජීවිත වල වේදනාව පිටවුයේ කෝපාන්විත වුත්, ඇතැම් විට මනුෂ්‍ය විරොධි වුත් හැඟීම් හා ක්‍රියාකාරකම් වේශයෙන් විය යුතුය. නමුත් “මේ සියල්ල පිළිබඳව කතා කිරීමට වෙනත් විදිහක් ඇත“ යි ඔහු ලියා ඇත. අනිත් අතට ඒ ජීවිත ඔහුගේ ජීවිතයන් පරිබාහිර වුවක් ද නොවන පසුබිමක “සරමාගෝ ගෙවා ඇත්තේ වියළි කාන්තාර මෙන්ම චණ්ඩ කුණාටු ද පසුකර ගෙවුණු ජීවිතයක් නිසා ඔහු එසේ කියනු ඇත.”
තවද “ඔහු තුළ පසු කලෙක ඇතිවු සාහිත්‍යයික ආවේශයන් සියල්ලම එහි ඇත. එය හරියට ඉදිරියේ දී එළි දැක්වීමට නියමිතව තිබූ ඔහුගේ කෘතිවල සිතියමක් මෙනි. තරුණ හාදයෙකුට මේ තරම් පරිණතත භාවයකින් ඒසා විශ්වාසයකින් යුතුව ලිවීමට හැකි වූයේ කෙසේ ද? ....ඔහුගේ ප්‍රඥාව සහ එසේ සියුම් ලෙස චරිත ගොඩ නැංවීමට කිසිඳු වැදගැම්මකට නැත්තාක් මෙන් පෙනෙන බොහෝමයක් සිදුවීම් තුළ ඇත්තා වු ගැඹුරත්, සාමාන්යයත්වයත් මතු කරගැනීමට නොකැලඹුණු සැහැසි බවකින් යුතුව කිසියම් සංවාදයක් ගොඩනැගීමට ඔහු සතුව තිබූ හැකියාව ඔහු ලබා ගත්තේ කොතැනින්ද?”
ජොසේ සරමාගො පදනමේ සභාපතිනිය ව පිල්දෙල් රියෝ පවසන අන්දමට එය මෙසේ ය.
“රස්සාව යාන්ත්‍රික ශිල්පියෙකු එවකට කාර්යාල සේවකයෙක් වු ඔහු කුලී නිවාස සංකීර්ණයක ජීවත්වන දුගී වැසියන්ගේ මුළු විශ්වයම සිය භාරයට ගැනීමට තරම් නිර්භීත වුයේ ය. ඒ හුදෙක් ඔහුගේ සහජ ඥානය සහ පෙසෝවා, ශේක්ස්පියර් ඒ සාද කෙරොස්, දිදරො සහ බිතෝවන් වැන්නවුන්ගේ සෞන්දර්යාත්මක ඇසුර නිසා ය.”
තවද තමන් වෙත නැමුණු සංයමයෙන් ගත කරන්නා වු ජීවිත සුළු කාලයකට හෝ කඩා බිඳ දැමීම සඳහා ආදරය සොයා යෑමේ වුවමනාවෙන් සිටින්නා වූ නිදහස් හුදෙකලා මිනිසුන් පියැසි කවුළුව නමින් සිංහලට පරිවර්තනය වන මෙම කෘතිය තුළ ප්‍රතිනිර්මාණය වෙමින් හැසිරෙනු දැකිය හැකි ය. එවැනි ජීවිත විවරණයක් හුදෙක් ජොසේ සරමාගෝ නම් කර්තෘත්වය වෙතින් ද එහාට ගිය සිතියමක් තවද අපේම වන සිතීමක් වෙනුවෙන් අප හමුවේ තබන්නා වු කියවීමක් වන්නේ ය. නමුත් ඒ වෙනුවෙන් ඔහු ගත් උත්සාහය, ධෛර්යය තවදුරටත් ඔහු වෙත ම රැඳී පවතිනු ඇත. එය එසේ ප්‍රතිනිර්මාණය කිරීමේලා ඔහුට වූ කුසලතාව මොහොතකටවත් ඔහුගෙන් එහාට නොයනු ඇත.
“මගේ මුළු ජීවිත කාලයේදීම මා දැන සිටි ඥානවන්තම මිනිසා කියවීමට හෝ ලිවීමට දැන සිටියේ නැත. හිමිදිරි පාන්දර හතරට ප්‍රංශ භූමියට ඉහළින් නව දවසක් උදාව එකෙල මෙකෙල වෙමින් තිබෙන මොහොතේ, ඔහු වැතිර සිටි පිදුරු මෙට්ටයෙන් ඈත් වී, දුසිම් බාගයක් ඌරු රංචුව තණ පිට්ටනියට රැගෙන යයි. තම බිරිඳ සමඟ ඔහු බඩ වියත රැක ගන්නේ ඒ ඌරු රැළ විසින් උපද්දන පැටවුන් මගිනි.” 1998 වසරේ නොබෙල් ත්‍යාගය පිළිගනිමින් ඔහු කළ දෙසුම ආරම්භ වන්නේ එසේ ය.
ජීවිතය කොයි තරම් දුරට පරමාදර්ශ විරහිත, ඒ තරමටම පරමාදර්ශ නිර්මාණය කරන පාළු එමෙන්ම අසීමිත අත්දැකීමක් දැයි වටහා ගැනීමට නම් අප අපවම අත්හැර අපේම පැවැත්ම දෙස බැලිය යුතු ය. ජොසේ සරමාගෝ කර ඇත්තේ ද එයයි.
0 Comments:
Post a Comment