2020/12/22 -සිළුමිණ පුවත්පතෙහි දීපානි අතිරේකයෙන් උපුටා ගන්නා ලදී
ග්‍රන්ථය - කොරෝනා කාලේ අභිරහස් ජීවිත
කර්තෘ - ටෙනිසන් පෙරේරා
සරසවි ප්රකාශනයකි
මිල රු. 400 (පිටු 207)
“තවත් දවසක අරුණෝදය සනිටුහන් කරමින් තිබියදී ජයලාල් යහනෙන් නැගිට්ටේ මහත් සැහැල්ලුවෙනි. මේ සමඟම ඔහුට නිවසේ සීනුව උස් හඬින් නාද වෙනු ඇසිණ. තවත් සිහිනයක් සැබෑ වී එළිදුටුවා සේය. ඔහු වහා දොර දෙසට නිදිගැට කඩමින් ගමන් ගත්තේ හදවතෙන්ම මෙසේ කියමිනි.
-දයාබර ඩොරීන් ඔබ එහෙනම් ඉතාලි ගියේ නෑ. ඒක හොඳයි. අපේ හුඟාක් වැරදි තැන් තිබුණා. අපි ඒවා හදා ගමු. ”
-කොරෝනා කාලේ අභිරහස් ජීවිත මැයෙන් ටෙනිසන් පෙරේරා විසින් රචිත උක්ත කෘතිය කොරෝනා වෛරස් සමය පිළිබඳ චරිත හැසිරවීමක් යැයි කෙනෙකුට සිතෙන්න පුළුවන් වුණත් මේ වනාහි මනුෂ්‍ය ජීවිතය පිළිබඳ කතා පුවතක් මිස වෙනත් දෙයක් නොවේ යැයි කතුවරයා පවසයි.
කතාවේ එන හඳුනාගැනීමට අනුව නමක් නැති එහෙත් සමස්ත මනුෂ්‍ය අධ්‍යාත්මයෙන් ම හඳුනාගත හැකි සියුම් මානවීය හැසිරීමක් ඇති වෛද්‍යවරයා ඒ නිසාම ගේහසිත ජීවිතය මහත් අභාග්‍යයකට ලක් කරගන්නෙකු බවට පත් වෙයි. මෙය බුමාටු දෙවියන්ගේ පැවැත්ම හා සමාන නොවේ දැයි කතුවරයා විමසයි. ඒ පිළිබඳව තවදුරටත් විස්තර කරමින් ඔහු පවසන්නේ මෙලොව ප්‍රධාන වශයෙන් දෙවියන් වර්ග දෙකක් සිටින බවයි. ඉන් එක් වර්ගයක් මිනිසාට යහපත ද අනිත් වර්ගය මිනිසාට අයහපත ද සිදු කරයි. නමුත් බුමාටු දෙවියන්ට එවැනි බලයක් නැත. එහෙත් යමක් කිරීමේ හැකියාව ද බුමාටු දෙවියන්ට ද ඇත. සැබෑ තථ්‍ය බලයක් නැකි මේ කියන බුමාටු දෙවියන් හා සමානව මේ කෘතියේ එන වෛද්‍යවරයා ද සිය කාර්යය වෙනුවෙන්ම කැප වුවෙකු බවට පත් වේ. පවත්නා වෛරස් සමය හමුවේ තමන්ට ද යමක් කිරීමට ඇති හැකියාව නිසා මුළුමනින්ම මිනිසුන්ට සේවය කිරීමේ පූර්ණ අභිලාෂයකින් යුක්තව ඔහු කටයුතු කරයි.
මෙහි පසුබිම වන කොරෝනා සමය තුළ මනුෂ්‍ය පැවැත්මේ උදාරත්වය, තෘෂ්ණාවෙන් ඇවිළුණ එහෙත් එදා මෙන් හැසිරීමට නොහැකි රෝගාතුර පසුබිමක වුව මුදල්ම හඹා යන විකාරරූපිත්වය, භික්ෂුව මෙන්ම නිරූපිකාව හැසිරෙන ඒ විරූපි සමාජය තුළ බිඳී යන සමාජ ප්රතිරූප පිළිබඳ වෘතාන්තයක ස්වරූපය මෙහි ලා දැකිය හැකි ය. එක්තරා ආකාරයකට අභිරහස් ජීවිත යැයි ගත හැකි තත්වයක් ද එකී චරිත විසින් ප්‍රකාශයට පත් කරනු ලබයි.
-මෙවැනි කතාවක් බොහෝ දුරට සාහිත්‍ය රූපකයක් යන හඳුනාගැනීමට ගොනු කරගත හැකිය යනුවෙන් පෙන්වා දෙන කතුවර ටෙනිසන් පෙරේරා පෙන්වා දෙයි.
ඊට සමානුපාතිකව ගාර්ෂියා මාර්කේස් සාකච්ඡාවක දී “සියවසක හුදෙකලාව” නම් නවකතාව ගැන කී එය රූපකාර්ථවත් සාහිත්‍ය නිර්මාණයක්ය යන්න ද මතු කොට පෙන්වයි. මාර්කේස්ගේ එකී කෘතිය අනුව නොගියත්, තමන්ගේ මෙම නවකතාව ද එක්තරා ආකාරයක රූපකාර්ථවත් සාහිත්‍ය නිර්මාණයක් ලෙසින් ගැනීමට කතුවරයා තුළ ඇති කැමැත්ත පැහැදිලිව පෙනී යයි. ඔහුගේම වචන වලින් කියනවා නම් එය මෙසේ ය.
“මේ කෘතිය හුදෙක්ම කොරෝනා වසංගතය ආශ්‍රය කරගත් නවකතාවක් පමණක් නොවේ. එය ඇසුරු කරමින් පරිකල්පනය කරන ලද විචිත්‍ර සාහිත්‍යමය ප්‍රති නිර්මාණයකි. ස්ත්‍රී පුරුෂ ජීවිතයේ අනේක ඇඬුම්, කෙඳුරුම් හා අපේක්ෂා භාෂාමය රූපකයකට නැගීමකි.” ඒ අනුව නවකතාවක් වශයෙන් මේ ඇත්ත යැයි මේ මායාව යැයි වටහාගත නොහැකි අන්තරීක්ෂයක් වැනි තලයක් අප හමුවේ තබන්නේ ය. එය අද්භූතමය තත්වයක් නොවේ දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. ඊට හේතුව මේ කාල වකවානුව තුළ දී ජන විඥානය සේවය කරන්නේ සත්‍යයට වඩා යථාර්ථයේ සම්මත සීමාවෙන් ඈතට ගිය යථාර්ථය යැයි පැහැදිලි කෙරෙන ආස්ථානයකටය යන්න කතුවරයාගේ සිතීම යැයි පැහැදිලි ය. අනිත් අතට එහි ඇත්තේ දැනෙන සුළු සාංකාවකි. “කුටුම්භය තුළට කොටු වී අවට වන්නේ කුමක් දැයි අනුන්ගේ ඇස් වලින් බැලීමටත්, එය ඇදහීමටත් අණ නිකුත් වු සමයක ජීවත් වූ අපට නිදහස් පරිකල්පනයක් මතු කරගැනීම පහසු නැත.” එනිසා අප හමුවේ ඇත්තේ සැඟවුණ යථාර්ථයක් යැයි කතුවරයා විශ්වාස කරයි. ඉදින් එවැනි පසුබිමක “ලේඛකයාට මේ සැඟවීගත් යථාර්ථය දැඩි ආයාසයෙන් පාදා ගැනීමට මහත් දුකක් විඳ ගැනීමට සිදුවෙනු අැත.”
කෙසේ වෙතත් කතුවරයාගේ පරිකල්පනය බොහෝ විට සාංකාවෙන් පිරි අද්භූතයක් ලෙසින් පාඨකයාට හැඟී යාම නොවැළැක්විය හැක්කක් යැයි සිතමි. නමුත් ඒ අද්භූතයම අවසාන විග්රහයේ දී ජීවිතයේ නාමයෙන්ද ඔබට පවසන වෘතාන්තය තුළ බොහෝ මානුෂීය සංවේදීතාවන් මතු වේ. එමෙන්ම හමු වේ. එහි ඇති වේදනාව, ප්‍රහර්ෂය හෝ සාංකාව හුදෙක් කතුවරයාගේ පෞද්ගලික අත්දැකීම් ලෙසින් නොව පොදුවේ මානව පැවැත්ම නම් සංවේදීතාවෙන් උපන් වේදයිතන් බව පැහැදිලි ය.
එසේ ගත් කළ කොවිඞ් 19 නම් වෛරසයෙන් උපන් මේ වේදනාකාරි සමය පොදුවේ අප හඳුනන මනුෂ්‍ය පැවැත්මට අදාළව වෙනස් ආකාරයක ඉගැන්වීමක් නොවන්නේ දැයි සිතා බලනු වටී.
0 Comments:
Post a Comment