පොත් කියවන්නන් ගේ කැටපත් පවුර (සති අන්ත පුවත්පත් වල පලවුන ලිපි)

ළමා සාහිත කෙතේ වැපිරෙන බාල ළමා කතා

 2020/12/22 - අරුණ පුවත්පතෙහි වරුණ අතිරේකයෙන් උපුටා ගන්නා ලදී 

ඉන්දික සංජීව විතාන 

ළමා සාහිත කෙතේ වැපිරෙනබාල ළමා කතා

‘‘පහම සීයයි.... පහම සීයයි.... කඩේ පොළේ නැති ගාණට. මගෙන් විතරයි....’’

ගමට ඒම සඳහා පිටකොටුව බස්නැවතුමේ බස් රථයක ඉදිරිපෙළ අසුනක වාඩි වී සිටි මගේ දෑස් එකවරම යොමු වූයේ බස් රථයට ගොඩ වූ සංචාරක වෙළෙන්දා දෙසටය. නානා වර්ණයෙන් යුතු පොත් රැසක් අතැතිව පැමිණි ඔහු රියැදුරු අසුන අසල සිට ගත්තේය. කාටත් පෙනෙන පරිදි තමා අතැතිව තිබූ පොත් සියල්ල අවානක හැඩයට සකසාගත් ඔහු එකිනෙක පෙන්වමින් විස්තර කරන්නට විය.

‘‘මේ පොතක් කඩේ රුපියල් හැටක් වෙනවා. එතකොට මේ පොත් පහට රුපියල් තුන්සීයයි. අද මම දෙන්නෙ පහම සීයට. දැනුම තමයි හොඳම ආයෝජනය හිත හිත ඉන්නෙපා අරන් යන්න....’’

බස් රියේ සිටි බොහෝ දෙනෙක් ඔහුගේ චතුර කථිකත්වයට වශී විය. උණු කැවුම් මෙන් පොත් සියල්ල අලෙවි විය. මගේ අසුනේ අනෙක් පස ඉඳ සිටි කුඩා දරුවාටද ඒ අම්මා සීයේ පොත් පහක් ගෙන දුන්නාය.

කුඩා දරුවා මහත් ආශාවෙන් තුරුලු කරගත් පොත් එකිනෙක පෙරළා බැලුවේය. මගේ ඇස්ද දරුවාගේ ඇස් සමග පොතේ පිටුවක් පිටුවක් පාහේ අකුරක් අකුරක් පාසා ගමන් කළේය. මිනිත්තු කිහිපයකින් මගේ ඇස් ඒ පොත් සියල්ල කියවා හමාර කළේය. නානා පැහැයෙන් යුතු පරිගණක සිතුවම් තිබුණ ද එකම පොතකවත් හරවත් කතන්දරයක් තිබෙනු මම නම් නොදුටුවෙමි. මොහොතකට දරුවන්​ගේ ඇස හා හිත රවටන්නට මේ අයුරින් ලාබෙට පොත් විකුණන එක අපරාධයක් කියා මට සිතුණේ ඒ කතාවකින් දරුවකුට ගත හැකි දෙයක් නොදුටු නිසාමය.

ඒ අනුව ළමයින් තුළ ඇති ග්‍රහණය කර ගැනීමේ හැකියාව ප්‍රයෝජනයට ගෙන ඇතැමුන් නිසරු පොතපත ළමයින් අතට පත් කිරීමේ ව්‍යාපාරයක යෙදී සිටියි.

සියල්ල විකුණාගත හැකිවූයේ මගීන් සියලු දෙනාම ළඟ සිටි හෝ ගෙදර ඉන්නා දරුවන්ට ඒවා මිලදී ගත් නිසාය. වැරදී ඇත්තේ එතැනය. දරුවන්ට පොත් පත් ගෙන යන හැම කෙනෙක්ම ඒ පොත්වල ඇති සුදුසු නුසුදුසු බව දන්නේ නැත.

ඒ නිසා ළමයින්ට කියවීමට සුදුසු ළමා සාහිත්‍යය කෘති තෝරා බේරා ගෙන පළ කිරීම සම්බන්ධයෙන් අපේ රටේ කුමන හෝ මිනුමක් තිබිය යුතුය. නැති නම් විනාශ වන්නේ ළමා මනසේ නිර්මාණශීලිත්වයයි. මොට වන්නේ ළමයෙකුගේ ලේඛන හැකියාව සහ සිතීමේ කලාවයි.

ළමයා වෙනුවෙන් කතන්දරයක් ලිවීමට පෙර ළමයාගේ ස්වභාවය ගැන අවබෝධයක් ලබාගත යුතුය. විවිධ රටවල විද්වතුන් මෙන්ම අපේ රටේත් ළමා මනෝ විද්‍යාව පිළිබඳ විශේෂඥයන්, අධ්‍යාපනඥයන් ඒ සම්බන්ධයෙන් මතයන් ඉදිරිපත් කර ඇත.

ළමා කෘති රචනයේදී ලේඛකයා තමන් ආමන්ත්‍රණය කරනු ලබන්නේ කුමන වයස් පරාසයක දරුවන්ට ද යන්න සුවිශේෂීව හඳුනා ගත යුතුයි. ළමයා තම අදහස් ප්‍රකාශ කිරීමට ඉතා කැමැතිය. චිත්තරූප මැවීමේ ශක්තියක්, බුද්ධිමය කුතුහලය ඇතිකරවන ස්වභාවයක් මෙන්ම නව අත්දැකීම් රැස්කිරීමේ ස්වභාවයක් ඔහු සතුය.

ළමයා වෙනුවෙන් කතන්දරයක් නිර්මාණය කිරීමේදී සැලකිය යුතු කරුණු රැසක්ම තිබෙන බව කියන්නේ පස් වතාවක්ම ළමා සාහිත්‍ය වෙනුවෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත් තනුජා එන්. අයගමයි.

‘‘දරුවන්ට කතන්දරයක් නිර්මාණය කරද්දි සැලකිය යුතු කාරණා කිහිපයක්ම තියෙනවා. ඉදිරිපත් කිරීමේ විලාශය සිද්ධිය ගැළපීම දරුවන්ට සුදුසු වචන ක්‍රියා භාවිත කළ යුතු උපක්‍රම ආදී සියල්ල භාවිතයට ගෙනවිත් කතන්දරය ගෙතිය යුතු වන්නේ. ඒ වගේම ළමා සාහිත්‍ය කෘතියක ගුණාංග පිළිබඳවත් පුළුල් දැනුමක් නිර්මාණකරුවා වෙත තිබිය යුතු වෙනවා. එහිදී සාහිත්‍ය අංග, නිවැරදි භාෂා භාවිතය, පින්තූර සහ චිත්‍රවල යෙදීම, අන්තර්ගතය සහ පොතෙහි නිමාව ආදිය සිතා බැලිය යුතුයි’’

තනුජා සඳහන් කරන ආකාරයට වටිනා කතන්දරයක් නිර්මාණය කිරීමේදී සැලකිය යුතු කරුණු කිහිපයක්ම තිබේ. එහිදී සාහිත්‍යමය අංග, නිවැරදි භාෂා භාවිතය, පිංතූර සහ චිත්‍රවල යෙදීම, ප්‍රශස්ත අන්තර්ගතය සහ පොතෙහි නිමාව ආදිය පිළිබඳව සිතා බැලිය යුතුය. අපේ රටේ පොහොසත් ළමා සාහිත්‍යයක් වෙනුවෙන් ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය සුවිශේෂී කාර්යභාරයක නිරත වුණි. ඔවුන් ලේඛකාධාර වැඩපිළිවෙළ පවා ක්‍රියාත්මක කළේ උසස් ළමා සාහිත්‍ය කෘති ප්‍රමිතිගතව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙනි.

‘‘අපේ රටේ ළමා පත පොතට එවන් පොහොසත් වැඩපිළිවෙළක් ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයෙන් සිද්ධ වුණත් වර්තමානයේ අවර ගණයේ ළමා පතපොත බෙහෙවින් සමාජයේ සංසරණය වෙනව. ඒක වෙන්නෙ තුට්ටු දෙකට කසි කබල් ​ෙපාත් ලියන ලේඛකයො බිහි වෙලා ඉන්න නිසයි. ඒ නිසා ළමා සාහිත්‍යයේ පොහොසත් භාවය රකින්න නම් රාජ්‍ය මැදිහත් වීමෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් වෙන්න ඕන.’’

බිහිවෙමින් පවතින නිසරු ළමා සාහිත්‍ය සරු කරගත හැකි මගක් ගැන කීවේ ශ්‍රී ලංකා ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙක් වන ප්‍රවීණ ලේඛක ගුණසේන විතානයි. මිනිසත්කම සහ මානව භක්තිය ප්‍රගුණ කරගත් සමාජයක් ගොඩනැංවීම අපේ වගකීමකි. ඒ යුගයේ වගකීම හෙවත් මෙහෙවර නූතනයේ ලේඛකයා සතුය. ඔවුන් අතින් ශ්‍රී ලාංකේය සාහිත්‍යයක මුල්ගල වන ‘ළමා සාහිත්‍යය’ තුළින් ළමා මනස වඩ වඩාත් පෝෂණය විය යුතුය.

නිසි ප්‍රමිතියෙන් යුතු සාර්ථක ළමා සාහිත්‍ය කෘතියක් නිර්මාණය කිරීම සඳහා ලේඛකයා දැනුවත් විය යුතු කරුණු රාශියක් තිබේ. ඒවා මැනවින් අධ්‍යයනය කිරීම තුළින් ලේඛකයන්ට සිය ලේඛන කාර්යය සඳහා අත්දැකීම් රාශියක් ලබාගත හැකිය. නිර්මාණකරුවකුට සිය නිර්මාණ කෙසේ සකස්විය යුතුද යන්න පිළිබඳව සීමාවන් හෝ නීති පැනවිය නොහැකිය. නමුත් ළමා සාහිත්‍ය කෘති බිහි කරන්නේ මේ රටේ අනාගතය භාර ගැනීමට සිටින දරු පරපුර වෙනුවෙන් නිසා ඒ ගැන සැලකිලිමත් වීම බෙහෙවින් වටින්නේය.

ශ්‍රී ලංකාවේ ග්‍රන්ථ ප්‍රකාශන ක්‍ෂේත්‍රයේ ගුණාත්මක උන්නතිය වෙනුවෙන් සක්‍රීය දායකත්වය දක්වන ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කර විද්වතුන් රැසකගේ සම්පත්දායකත්වයෙන් ‘ළමා ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය’ නමින් අත්පොතක් සම්පාදනය කළ බව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජනරාල් ඩබ්. සුනිල් පවසයි.

‘‘ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් තොරව මේ බිහිවෙන ළමා කෘති දරුවන්ගේ ලෝකයට සිදු කරන්නේ විශාල හානියක්. ඒ නිසා දරුවන්ගේ කියවීම උදෙසා ඵලදායී ළමා සාහිත්‍යයක් ගොඩනැගීම සහ දරුවන් කියවීම වෙත නැඹුරු කිරීම යුගයේ අවශ්‍යතාවයක්. වර්තමානයේ බොහෝ ප්‍රකාශනවල ළමා ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කිරීමේදී අනුගමනය කළ යුතු ප්‍රමිති භාවිත කරන්නේ නෑ. ලේඛකයන් ප්‍රකාශකයන් අදාළ නිර්ණායක අනුව කටයුතු කරනවා නම් බාල පොත් බිහිවන එකක් නෑ.

යුනෙස්කෝ අන්තර්ජාතික ප්‍රමිතියට අනුව ළමා ග්‍රන්ථයක අවම පිටු ප්‍රමාණය 16 ක් විය යුතුයි. අපේ ලේඛකාධාර ව්‍යාපෘතිවලදී ළමා පොතක අවම පිටු 16 නැතිනම් අපි ප්‍රතික්‍ෂේප කරනවා’’.

ළමයින් කියවීම සඳහා හොඳ ළමා පොතක් තෝරා ගැනීමේදී දෙමව්පියන්ට සහ ගුරුවරයාටත් යම්කිසි වගකීමක් පැවරී තිබේ. දෙමව්පියන්ට මේ ගැන අවබෝධයක් නැත්නම් ගුරුවරයා ඒ සඳහා මැදිහත්විය යුතුය. මතුගම ඉගුරුදළුව කනිටු විදුහලේ ආචාර්ය, ලේඛක ලලිත් පුෂ්පකුමාර හොඳ පොත පත තෝරා ගැනීම සම්බන්ධයෙන් නිතර කතාබහ කරන ගුරුවරයෙකි.

‘‘දරුවන්ට හොඳ පොත පත හඳුන්වාදීමට දෙමව්පියන්ට වගකීමක් තියෙනවා. ලාබ බඩුවෙ හිලක් තියෙනවනෙ. ඒක නිසා ලාභය පිළිබඳව නොසලකා ගුණාත්මක පොත පත මිලදී ගන්න ඕනෙ. දරුවන්ගෙ මොළයෙ වම් පැත්ත විතරක් වර්ධනය වෙලා හරියන්නෙ නැහැ. දකුණත් වර්ධනය වෙන්න ඕනෙ. එහෙම වුණොත් තමයි නිර්මාණශීලීත්වය, පරිකල්පනය, සමස්ත සිතීම, රිද්මය, ලාලිත්‍යය, ආදරය, දයාව වැනි ගුණාංග පෝෂණය කළ හැකි වන්නේ. හොඳ පොතපත කියැවීම මේ සඳහා කදිම ප්‍රවේශයක්....’’

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ‘ළමා සාහිත්‍ය කෘති ඇගයීම - ජාතික පර්‌යේෂණ ව්‍යාපෘතිය’ මැයෙන් නිකුත් කරන ලද කෘතිය සම්පාදනය කරන ලද්දේ ‘ළමා කියවීම් ද්‍රව්‍ය සකස් කිරීමට අදාළ උපදෙස් සංග්‍රහයක් සකස් කිරීමේ ‘ව්‍යාපෘති කමිටුව’ මගිනි. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය, කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික පුස්තකාල හා තොරතුරු විද්‍යායතනය, ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය, ජාතික පුස්තකාලය, රූම් ටු රිඩ් ආයතනය සහ ළමා සාහිත්‍යය නිර්මාණකරණයේ නිරත ලේඛක/ලේඛිකාවන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙනි. එහි නියමුවාණන් වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික පුස්තකාල හා තොරතුරු විද්‍යායතනයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පී.ජී. ප්‍රේමදාසයි. ඔහු සඳහන් කරන්නේ නිසරු ළමා පොත් ලිවීම, මුද්‍රණය, ප්‍රකාශනය සහ අලෙවිය නතර කළ නොහැකි බවත් හොඳ පොත පත සමාජ ගත කළහොත් බාල පොතපත ඉබේම ප්‍රතික්‍ෂේප වන බවත්ය.

‘‘නමුත් අපට කළ හැකි දෙයක් තියෙනවා. වසර ගණනාවක් තිස්සේ අපි ජාතික මට්ටමේ පර්‌යේෂණ ගණනාවක් කරලා ළමා සාහිත්‍ය කෘති ඇගයීම සඳහා නිර්ණායක මාලාවක් සකස් කරල බලධාරීන්ට දීලා තියෙනවා. බලධාරීන් කළ යුතු වන්නේ ඒ නිර්ණායක මාලාව සමාජගත කිරීමයි. ප්‍රායෝගික වැඩපිළිවෙළක් සහිතව මෙය බිම් මට්ටමට යා යුතුයි. දෙමව්පියන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන්, පුස්තකාලයාධිපතිවරුන් දරුවන් පමණක් නෙමෙයි දරුවන් හා සහ සම්බන්ධ වන සියලුම දෙනාව දැනුවත් කළ යුතුයි.’’

සැබවින්ම එවැනි වැඩපිළිවෙළක් ඔස්සේ ළමයකුට කියැවීම සඳහා සුදුසු ළමා පොතක් දරුවා අතට පත්කළ හැකිය. එසේ වුවහොත් කසිකබල් පොත් ඉබේම සමාජයෙන් ප්‍රතික්ෂේප වනු ඇත. අපේ රටේ තවමත් හරි කියවීම් සංස්කෘතියක් නොමැත. දියුණු ළමා සාහිත්‍යයක් තිබෙන ජපානය, ජර්මනිය, රුසියාව, චීනය ආදි රටවල තිබෙන්නේ ඉතා දියුණු කියවීම් සංස්කෘතියකි. ඒ රටවල දෙමව්පියන් පමණක් නොව ළමයින්ටත් කියැවීමට හොඳ පොත් මොනවගේද යන්න අවබෝධයක් ඇත.

ප්‍රවීණ සාහිත්‍යවේදී බොබී බී. බොතේජු පවසන පරිදි රටක ළමා සාහිත්‍යයේ නිර්මාණකරුවෝ දෙමාපිය වැඩිහිටියෝ වෙති. දරුවන්ට සුදුසු කතා තේමා බේරාගෙන කියා- කියවා ළමා මනසට සෞන්දර්යයත්, විචක්‍ෂණයත්, සාරධර්මත් එන්නත් කරන වැඩිහිටියෝ එමගින් දරුවන් පුනරාලෝකය වෙත කැඳවාගෙන යති.

වර්තමානය වනවිට වෙළෙඳපොළේ අඩුමිලට පවතින සමහර ළමා සාහිත්‍ය පොතපතින් ළමයාගේ වර්තමානයට මෙන්ම අනාගතයට ද එතරම් යහපත් ඇති කරන්නේ නැත. යහපත් පුරවැසියෙක් බිහිකර ගැනීමට නම් යහපත් පොතපත පරිශීලනය කිරීමේ අවස්ථාව දරුවාට සලසාදිය යුතුය. එසේ නොවුණහොත් නිසරු ළමා සාහිත්‍යයක් තුළින් අප පියනගන්නේ කෙබඳු පරපුරක් වෙතට ද යන ප්‍රශ්නය අප හමුවේ මතුවනු ඒකාන්තය. මේ එළැඹ ඇත්තේ ළමා සාහිත්‍ය කෘති නිර්මාණකරුවන්, ප්‍රකාශකයන්, දෙමව්පියන්, වැඩිහිටියන්, ගුරුවරුන් මෙන්ම රාජ්‍ය බලධාරීන් ද ස්වකීය වගකීම මැනවින් තේරුම් ගනිමින් කටයුතු කළ යුතු කාලයයි.

ඉන්දික සංජීව විතාන


Share:

0 Comments:

Post a Comment

SLBookshop.lk

ඔබට අව්‍යශය ඕනෑම පොතක් ඔබගේගෙදරටම ගෙන්වා ගැනීම සදහා අපව අමතන්න
WhatsApp's -076 560 2235

Blog Archive